ජනපති බලය බෙදන්න කතා කරද්දී රටේ ඒකීයභාවය රකින්න අගමැතිගෙන් ප්‍රතිඥාවක්…

450

පසුගිය සතිය දේශපාලනඥයෝ කොයි කාටත් කාර්යබහුල සතියක් විය. ආණ්ඩු පක්ෂයේ මෙහෙයුම් මෙන්ම ආණ්ඩු පක්ෂයට එරෙහි මෙහෙයුම් ද ගණනාවකි. ආණ්ඩු පක්ෂයට එරෙහි මෙහෙයුම්වලදී කැපී පෙනුනේ විපක්ෂය එකමුතු කිරීමට දේශපාලනඥයෝ පිරිසක් එකතු වී සංවිධානය කරමින් පවතින ව්‍යාපෘතියකි. ඔවුන්ගේ මතය වූයේ ඉදිරියේදී එන මැතිවරණයකදී රනිල් – රාජපක්ෂ එකමුතු ආණ්ඩුව පරාජය කර ඔවුන් ගරු කරන සාම්පලයේ මහජන ආණ්ඩුවක් ගොඩනැඟීමට නම් විපක්ෂය එකමුතු විය යුතු බවකි. ඒ සඳහා පසුගිය සතිය තුළ කැපී පෙනුණු සාකච්ඡා කීපයක්ම සිදුවිය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් සති කීපයක සිටම වෙනම නිහඬ මෙහෙයුමක සිටින බව පැහැදිලි විය. ඔහුගේ අවශ්‍යතාවය වූයේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න බරපතළ වන්නට නොදී කාලයාට ඉඩදී විසඳුමක් සෙවීමට ය. යම් ආර්ථික ස්ථාවරත්වයකට එන තුරු රටේ මැතිවරණ නොපැවැත්වීම ද ඔහුගේ එක් උපායමාර්ගයක් වන්නට ඇත.

ජනපති රනිල් නැගෙනහිර විමසුමක

ඒ අතර ඔහු දේශපාලන ස්ථාවරත්වයක් ද බලාපොරොත්තු විය. ඒ සඳහා රජය සමඟ සිටින ලොකු කුඩා දේශපාලන පක්ෂ සමග පමණක් නොව, උතුරු නැගෙනහිරට හා වතුකරයට බලපාන දෙමළ මුස්ලිම් පක්ෂ සමඟ ද යම් දේශපාලන සංහිඳියාවක් ඇති කර ගත යුතුය. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් තෝරා ගත්තේ උතුරු නැගෙනහිර හා වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ආකාරයේ විසඳුමක් සාකච්ඡාවට ගැනීමය. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාව ගැන ඔහු වඩාත් උනන්දු වන්නේ ඒ අනුවය. දහතුන් වන සංශෝධනය බලාත්මක කිරීම, බලය බෙදීම යන කාරණා උතුරු නැගෙනහිර ප්‍රමුඛ පොදු සමාජය තුළ සාකච්ඡා වන්නට ඉඩ හැර ඔහු පුදුමාකාර ඉවසිල්ලකින් යුතුව බලා සිටියේ ය.

ඒ අතර බලය බෙදීමේ ප්‍රශ්නය ඇතුළාන්තයේ ඇති ඉඩම් බලතල පොලිස් බලතල වැනි කාරණා මත ප්‍රායෝගිකව ජන කොටස් අතර ඇතිවන වාද විවාද හා විවිධාකාරයේ ගැටුම් දෙස ද ඔහු නිරීක්ෂණයේ සිටියේය. ඒ සඳහා ඔවුහු විවිධ පළාත්වල යමින් ප්‍රශ්න ඉතා සමීපව වටහා ගන්නට ද උත්සාහ කළේය. පසුගිය සති අන්තයේ ඔහු නැගෙනහිර පළාතේ කරන ලද සංචාරයද එබඳුය. විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර මෙන්ම ආගමික සංස්ථාවන් අතරද ඉඩම් ප්‍රශ්නය ආදී වූ කාරණා මත ඇතිවන විවිධාකාරයේ ගැටලු කෙරෙහි ඔහුගේ අවධානය යොමුවිය. ඒ එක පැත්තකි.

අනිත් අතට ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ක්‍රියාකාරකම් දෙස දැඩි උනන්දුවකින් බලා සිටියේය. නැගෙනහිර සංචාරයෙන් පසුව කොළඹ පැමිණි ජනාධිපති පහුගිය ඉරිදා දවසම ගත කළේ මෙවර කැබිනට් මණ්ඩලය රැස්වීම සඳහා ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල සංදේශ අධ්‍යයනය කිරීමට ය.

කතා කරන කාලය ගැන මන්ත්‍රීවරුන්ගෙන් නඩු

සඳුදා පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණි. ඒ වන විට රට පුරාම ලොකු ගැටලුවක්ව පැවති අස්වැසුම ගැන එහිදී ලොකු සාකච්ඡාවක් ඇති විය. අස්වැසුම වැඩකටයුතු අවුල් වීම හා එහි ප්‍රධානියා තනතුර හැර යෑම අතර ලොකු සම්බන්ධයක් තිබුණි. ජනාධිපතිවරයාගේ උපදේශය වූයේ මේ නිසා පසුගිය කාලයේ ගෙවීම් කරන්නට නොහැකි වූ සියලු ප්‍රතිලාභ ලාභීන්ගේ මුදල් ගෙවා අවසන් කළ යුතු බවයි. කැබිනට් සාකච්ඡාවේදී ආර්ථිකය ගැන ද වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට ලක්විය. විදේශීය සම්බන්ධතා ගොඩනඟා ගනිමින් හා තරකර ගනිමින් දේශීය ආර්ථිකය නඟාසිටුවීම තම අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

කැබිනට් රැස්වීම අවසන් වී ජනාධිපතිවරයා එන විට ඔහු ඉදිරියට ගිය ආශු මාරසිංහ පණිවිඩයක් කීවේය…

“ඔබතුමාට පැමිණිල්ලක් කරන්න මේ අපේ මන්ත්‍රීතුමා ලා පිරිසක් ඇවිත් ඉන්නවා…” ආශු එසේ කීවේ ප්‍රේමනාත් සී. දොලවත්ත, මධුර විතානගේ, ජගත් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරු කීප දෙනෙක් පෙන්වමිනි.

“මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න පාර්ලිමේන්තුවේ උදේ පැයක් වෙන් වෙනවා. විපක්ෂ නායකතුමා කරන්නේ එයයි එයාගේ කට්ටියකුයි ඇවිල්ලා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා කියලා ඒ පැය මොනවා හරි දොඩවලා විනාශ කරන එක.” ප්‍රේමනාත් සී දොලවත්ත කීවේය.

“විපක්ෂ නායකවරයා පුරුද්දක් හැටියට හැමදාම කරන මේ විගඩම හින්දා පසුපෙළ මන්ත්‍රීවරු වන අපි කාටවත් කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ. මේක ලොකු අසාධාරණයක්. ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ටයි මේ අසාධාරණයට මුහුණපාන්න වෙලා තියෙන්නේ.

“එතකොට අපිට දැන් විවාදයේදී ලැබෙන්නේ විනාඩි 4යි. ඒකෙ මොනවා කතා කරන්නද…” ජගත් සමරවික්‍රම කීවේය.

“විපක්ෂ නායකතුමා අවශ්‍ය දේයි අනවශ්‍ය දේයි ඉංග්‍රීසි පාඩමුයි මේ ඔක්කොම ඒ කතාව අස්සේ කරන නිසා විශාල මහජන මුදලක් නාස්ති වෙනවා. පොඩ්ඩක් නෙවෙයි දිනකට ලක්ෂ හතළිහක්…” මධුර විතානගේ පෙන්වා දුන්නේ ය.

“ඇයි ඔයගොල්ලෝ පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන කතා කරලා විසඳුමකට එන්නේ නැත්තේ…” ජනාධිපති ඇසීය. ඒ මොහොතේ එතනට ආ ප්‍රසන්න රණතුංග ඊට උත්තර දුන්නේ මෙසේය..

“අපි එතනදි කතා කරනවා. කාලය කළමනාකරණය කරගන්න එතෙන්දි එකඟ වෙලා ඇවිල්ලා හැමදාම කරන්නේ ප්‍රශ්න තව පැය දෙක තුනක් අදින එක.”

“අපි මේ ගැන කථානායකතුමා එක්ක කතා කරලා බලමු…” ජනාධිපතිවරයා එසේ කීවේ එතනට ආ අගමැති දිනේෂ් ගුණවර්ධන ලෙස බලමින් ඔහුගේ ද එකඟත්වය ඇතිවය.

ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයිද?

ජනාධිපතිවරයා මේ දිනවල නිතර කතා කරන්නේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම ගැන වුවත් අගමැති දිනේෂ් ගුණවර්ධන පසුගිය සති අන්තයේ කතරගම ගියේ ඊට ඉඳුරාම වෙනස් කටයුත්තකට සහභාගි වීම සඳහා ය.

මහජන එක්සත් පෙරමුණ මේ රටේ ජාතික සංවිධාන එකමුතුවේ ද සහයෝගය ඇතිව රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම නිමිතිකොටගෙන කතරගම කිරිවෙහෙර අභියස අධිෂ්ඨාන පූජාවක් හා සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබුණි. ඔවුන් මෙවර මෙම උත්සවය සංවිධානය කර තිබුණේ 29 වැනි වතාවටය.

අවුරුදු විසි නවයක් තිස්සේ අඛණ්ඩව පැවති මෙම සත්‍යග්‍රහයට දිනේෂ් ගුණවර්ධන වෙනදා සහභාගි වූයේ මහජන පක්ෂයේ නායකයා, ආණ්ඩු පක්ෂය නියෝජිතයකු හෝ විපක්ෂයේ නියෝජිතයෙකු ලෙස ය. එහෙත් මෙවර පළමු වතාවට ඔහු අගමැතිවරයා ලෙස ඊට සහභාගි විය.

සෙනසුරාදා හවස 4.00 වන විට අගමැති දිනේෂ් උත්සවයට සහභාගි විය. ඔහු සමග නියෝජ්‍ය කථානායක ්අජිත් රාජපක්‍ෂ, රාජ්‍ය ඇමැතිවරු වන චානක වක්කුඹුර, අනුප පැස්කුවල්, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පියල් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක් ද මීට සහභාගි වී සිටියහ.

සහභාගි වී සිටි සියල්ලෝම පාහේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ය. එහෙත් ඒ අතර විපක්ෂය නියෝජනය කරමින් ද මන්ත්‍රීවරයකු සිටියේය. ඔහු ගෙවිඳු කුමාරතුංගයි. එතනට පැමිණ සිටි මාධ්‍යවේදීන් ගෙවිඳුගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නට වූහ…

“මේ සත්‍යග්‍රහය අඛණ්ඩව අවුරුදු ගණනාවක් තිස්සේ පැවැත්තුවේ මව්බිමේ ඒකීයභාවය ආරක්ෂා කර කරගැනීම වෙනුවෙන්. එතුමා අගමැතිතුමා හැටියට අදත් මේ සත්‍යග්‍රහයට ආවයි කියලා කියන්නේ අදත් ඒකීයභාවය බිඳ වැටීමේ අවදානම මේ රට ජාතිය ඉදිරියේ තියෙනවයි කියන එක. මම ආවේ ඒ අවදානම ඉදිරියේ රටේ ඒකීයභාවය ගරු කරන පුද්ගලයෙක් හැටියටයි.

අද මේ දේශපාලනය තුළ පේන්න තියෙන ව්‍යාජ පක්ෂ විපක්ෂ බේදය සාකච්ඡා වෙන බරපතළ මාතෘකාවක්නෙ බලය බෙදීම. ඒක දෙමළ සන්ධානය ඇතුළු කීපදෙනකුගේ යෝජනාවක් වුණාට බහුතර පොදු විපක්ෂයේ යෝජනාවකුත් නෙවෙයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යෝජනාවක් හැටියට ගෙනාවට පහුගිය දවසක විජයදාස රාජපක්ෂ මහතා සලකුණ වැඩසටහන කරපු ප්‍රකාශයක හැටියට ඒක මේ ආණ්ඩුවේ යෝජනාවකුත් නෙමෙයි. ජනාධිපතිතුමාගේ යෝජනාවක් විතරයි. ඒක දැන් සාකච්ඡා වෙනවා. මේ සාකච්ඡාව ඇතුළේ අපි අපේ මතය ඉදිරිපත් කිරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම තමයි මේ කරන්නේ…” ගෙවිඳු කීවේය.

රටේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකළ අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාවට මහ පිරිසක් එක්ව සිටියහ. මව්බිමේ ඒකීය භාවයත් භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීත්වයත් සුරැකීමට දිවිහිමියෙන් කැපවන බවට මෙහිදී අග්‍රාමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාව කාගේත් අවධානයට ලක් විය.

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින්වහන්සේගේ ආශිර්වාදයෙන් අධිෂ්ඨාන පූජාව සහ සත්‍යග්‍රහයේ වැඩකටයුතු සිදුවූහ. උත්සවයෙන් අනතුරුව කතරගම භෞතික සැලසුම් විශ්‍රාම ශාලාව නැවත කිරි වෙහෙරට පූජා කිරීම අගමැතිවරයා අතින් නිල වශයෙන් සිදුවිය.

එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිමින් ආරම්භ කළ සත්‍යග්‍රහය හා අධිෂ්ඨාන පූජාව අවුරුදු විසි නවයක් ගත වූවාට පසුව මේ රටේ අගමැතිවරයා ලෙසත් කරන්නට සිදුවීම ගැන මැති ඇමැතිවරුන්ගේ කතාබහට ලක්විය.

ඔබතුමා අගමැති වෙලා තවම සටන අතඇරලා නෑ… හැබැයි ඉතින් දැන් ඉන්නේ සටන් කරන තැනක නෙවෙයි. තීන්දු ගන්න තැනක.

මන්ත්‍රීවරු අතර සිටි එක් අයෙක් එය කීවේ අගමැතිවරයාට ඇහෙන නෑහෙන දුරක සිට ය.

සෙනසුරාදා එසේ කතරගමෙන් සිය මෙහෙවර අවසන් කළ අගමැතිවරයා පසුදා, එනම් ඉරිදා තවත් විප්ලවීය දේශපාලනඥයකුගේ සැමරුම් උත්සවයකට සහභාගි වන්නට මතුගම බලා පිටත්ව ගියේය.

මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ උත්සවය පැවැත්විණි. කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම සමාජ සේවකයකු වන අනිල් මුණසිංහ මහතාගේ චරිතාපදානය එළිදැක්වීම වෙනුවෙන් එම උත්සවය පැවැත්විණි. පොතේ කර්තෘ මහින්ද ආරියවංශ මෙම උත්සවයට මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ වත්මන් නායකයන් රැසකටම ආරාධනා කර තිබිණි. අගමැති දිනේෂ් ප්‍රධාන අමුත්තා විය. සමසමාජ පක්ෂය වෙනුවෙන් පැමිණි තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පැමිණි ඩියු ගුණසේකර වැනි වාමාංශික නායකයන් අතර අගමැති දිනේෂ් ද එක පෙළට එකට සිටගෙන සිටීම කලකට පසු දුටු විශේෂ දර්ශනයක් වූහ.

රනිල් පරදන්න නම් විපක්ෂය බෙදිලා බෑ

පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය තුළ වඩාත්ම කතාබහට ලක්වූ කාරණය වූයේ අනුරලා හා ඩයස්ලා අතර ඇතිවූ සාකච්ඡාවයි. මේ සාකච්ඡාව සමාජ මාධ්‍යවල ද බොහෝ සෙයින් කතාබහට ලක්වූ කාරණාවක් ලෙස කැපී පෙනුණි.

සාමාන්‍යයෙන් අපේ දේශපාලන කරළියේ පසුගිය මාස හත අටක කාලයක් තුළ වඩාත් ආඩම්බරයෙන් සහ තමන් ගැන ඉහළ තක්සේරුවකින් කටයුතු කළ දේශපාලන බලවේගය ජාතික ජන බලවේගයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලය හැරදමා ගිය අලුත බහුතරයකගේ විශ්වාසය වූයේ ජාතික ජන බලවේගය මේ රටේ පාලන බලය අත්පත් කරගනී කියාය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර මගකින් නොව, ඒ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් තිබුණේ නම් අරගලයේ සක්‍රීයව සිටි සැබෑ පාර්ශ්වයන් ගැන නොදැන සිටි බොහෝ දෙනා සිතුවේ ජාතික ජන බලවේගය දිනනු ඇතැයි කියාය.

එහෙත් ජනාධිපති තනතුරට රනිල් වික්‍රමසිංහ පත් වී කාලයාගේ ඇවෑමෙන් ඒ මතය පුළුල් පරිවර්තනයකට ලක්විය. ජාතික ජන බලවේගයට මහ පොළොවේ ඇති ස්ථානය පළමු තැන හෝ දෙවන තැන නොවන බව පසුව හෙළිදරව් විය.

පසුගිය දිනවල විපක්ෂයේ යම් යම් පක්ෂ එකට එකතු වී මේ පිළිබඳ සාකච්ඡා කරන්නට පටන් ගත්හ. මැතිවරණ නොපවත්වා කාලයට ඉඩදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ කුමක්දැයි කියා බොහෝ දෙනා තේරුම් ගත්හ. කාලයට ඉඩදී, විපක්ෂය තව තවත් කැඩෙන්නට බෙදෙන්නට ඉඩ හැර රටේ පවතින බලය බෙදීම වැනි සංවේදී ප්‍රශ්න කරලියට ගෙන රනිල් වික්‍රමසිංහ මේ කරමින් සිටින්නේ කුමන අන්දමේ අත්හදාබැලීමක් දැයි දේශපාලන පක්ෂ ගැඹුරින් කල්පනා කරන්නට වූහ.

“රනිල් මේ කරන්නේ උතුරු නැඟෙනහිර ඉඩම් ප්‍රශ්න, බලය බෙදීම, ජාතික සම්පත් විකිණීම වගේ එක තුරුම්පු පිටියට දාලා බලා ඉන්න එක. ඒකෙන් විපක්ෂයේ සමගිය නැති වෙනවා. තමන්ගේ ගෙඩි ටික ටික ලොකු වෙනවා. එහෙම වුණාම ලබන අවුරුද්දේ ඡන්දයක් පවත්වන්න වුණත් රනිල්ට බයක් නෑ. ඒත් තවම ආණ්ඩුවට තියෙන්නෙ මේ රටේ සියයට තිහට අඩු බලයක්. සියයට හැත්තෑවක් ඉන්නේ විපක්ෂයේ. විපක්ෂය බෙදෙන තරමට රනිල් දිනුම්. හැබැයි විපක්ෂය එක් වුණොත් රනිලුත් ඉවරයි මේ ආණ්ඩුවත් ඉවරයි. එහෙමනම් අපි එකතුවෙලා කරන්න ඕන විපක්ෂය එකතු කරන එක නෙවෙයිද…”

එසේ මෙම යථාර්ථය පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කළ පක්ෂයක් වූයේ නිදහස ජාතික සභාවයි. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම ඇතුළාන්තයේ සාකච්ඡා කළ අතර අවසානයේ තීරණයක් ගත්හ…

“හරි අපි එහෙනම් විපක්ෂය එකතු කිරීමේ කාර්යභාරය භාරගමු.”

ඔවුන් මේ සඳහා මුලින්ම සාකච්ඡා කරනු ලැබුවේ සමගි ජන බලවේගය සමඟය. ආරම්භයේ පටන්ම සමගි ජන බලවේගය සමග ඔවුන්ට එකඟතාවයක් තිබිණි. ඉන් අනතුරුව පසුගිය මාස දෙක ඇතුළත ඔවුන් කීප වරක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා උත්තර ලංකා සභාගය සමග ද සාකච්ඡා වට කීපයක් පවත්වනු ලැබීය. සාකච්ඡා සියල්ලම සතුටුදායක අන්දමින් අවසන් විය. එහෙත් ඔවුන්ට ලොකුම ගැටලුව වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් යුතු ජාතික ජන බලවේගය සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමයි. මන්දයත් ජාතික ජනබලවේගයේ ඔවුන් පැහැදිලිවම කිසිදු දේශපාලන පක්ෂයක් සමග දේශපාලනිකව බැඳී කටයුතු කිරීමට නොයන බවට පැහැදිලි ස්ථාවරයක සිටියහ.

නිදහසේ යෝජනාවට ජන බලවේගයේ ප්‍රතිචාර

එහෙත් නිදහස ජාතික සභාවේ කණ්ඩායම ජාතික ජන බලවේගය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ. ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ පසුගිය සති අන්තයේය.

සාකච්ඡාවට නිදහස ජාතික සභාවෙන් ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, චරිත හේරත්, රත්නසේකර, එල්ලාවල, වසන්ත යාපා සහභාගි වන්නට’ තලවතුගොඩ පිහිටි ජවිපෙ කාර්යාලයට ගොස් සිටියහ. ජවිපෙ ඔවුන්ව ඉතා උණුසුමින් පිළිගත් අතර සාකච්ඡාව කඩිනමින් ආරම්භ විය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක සමග විජිත හේරත් හා ලාල් කාන්ත සාකච්ඡා මේසයේ වාඩි වූහ.

ඩලස් මුලින්ම මෙම සාකච්ඡාවට පැමිණෙන්නට හේතුවූ පසුබිම පැහැදිලි කළේය. රනිල් වික්‍රමසිංහ හා රාජපක්ෂ එකමුතුව නම් වූ මේ පොදු සතුරා පරාජය කිරීමට නම් විපක්ෂය ඒකරාශී විය යුතු බව නිදහස් ජාතික සභාව පැත්තෙන් යෝජනා ඉදිරිපත් විය.

ජාතික ජන බලවේගය වෙනුවෙන් අදහස් දැක්වූ අනුර කුමාර පැහැදිලිවම කිව්වේ දේශපාලනිකව පොදු සතුරා පරාජය කිරීමට තමන් සමඟ ඕනෑම බලවේගයකට එකතු විය හැකි බවයි. එහෙත් තමන් ඉදිරි මැතිවරණවලදී ජාතික ජන බලවේගය තුළින් තරග වදිනවා මිස වෙනත් කිසිදු බලවේගයක් පක්ෂයක් හෝ කණ්ඩායමක් සමග එක්ව කටයුතු කරන්නට අදහසක් නැති බව හේ පෙන්වා දුන්නේය.

“නැහැ එහෙම නෙමෙයි… රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව දැන් පැහැදිලිවම පළාත් පාලන මැතිවරණය කල් දාලා ඉවරයි. අන්න ඒ වගේ ඉදිරියට එන ඕනෑම මැතිවරණයක් කල්දාන්න ඔවුන්ට පුළුවන් දිනන්න බැරි නම්. අපි කියන්නේ විපක්ෂය හැටියට අපි මැතිවරණය දිනන්න නෙවෙයි, මැතිවරණය පැවැත්වීම කියන කාරණාව දිනාගන්න එකතු වෙන එක නරකද. මැතිවරණයක් දිනන්න මැතිවරණ තියෙන්න එපායැ. ඉතින් අපි පොදුවේ මැතිවරණ පැවැත්වීම දිනාගන්න එකතු වෙමු…” ඩිලාන්ගේ එම විග්‍රහය ජා. ජ. බලවේගය පිළිගත්තේය. එහෙත් එතන ද ඔවුන්ට කොන්දේසියක් විය.

“අපිත් එක්ක සාකච්ඡා කරන්න විවිධ දේශපාලනික කණ්ඩායම් අවස්ථාවක් ඉල්ලුවා. හැබැයි අපි ඔවුන් කාටවත් දුන්නේ නෑ. ඒත් නිදහස ජාතික සභාවට අපි ඉතා කැමැත්තෙන් දුන්නෙ ඔබල කණ්ඩායමක් හැටියට අපට විශ්වාස කළ හැකි නිසා. හැබැයි ඉතින් ඔය කණ්ඩායමේම ඉන්න සමහර පුද්ගලයෝ ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒක නිසා වෙනත් කණ්ඩායම් සමග එකතු වීමේදී අපි පරිස්සම්.”

“මැතිවරණවලදී එක්ව තරග කිරීම නෙවෙයි. වෙන් වෙන්ව තරග කරලා අපට අවශ්‍ය නම් අවසානයේ ආණ්ඩුවක් හදන්න තීරණාත්මක වෙලාවක එකතු වෙන්න පුළුවන්. හැබැයි පුළුල් එකඟතාවක් සහිතව.” සාකච්ඡාවේදී ජාතික ජාතික ජන බලවේගයේ එබඳු අදහසක් ද එළියට ආවේය.

“මහ මැතිවරණයකදී එහෙම වෙන් වෙලා තරග කරලා වෙන වෙනම දිනන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයකදී දිනන්න වෙන්න එක්කෙනාටයි. එතනදී වත් අපට බැරිද පොදු අරමුණක් වෙනුවෙන් එක පුද්ගලයෙක් වටා ගොනුවෙන්න.” ඩිලාන් එසේ ඉදිරිපත් කළේ ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනාවක් බව පෙනේ. ඒත් ඊට ජාතික ජනබලවේගයෙන් ප්‍රතිචාරයක් නොවීය. සාකච්ඡාව ශුභවාදී විය. එහෙත් රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කළ යුතුය යන පොදු එකඟතාව මිස එය කරන්නේ කවර ආකාරයකටද යන විසඳුමකට එකඟතාවක් නොවීය.

රනිල්ව පරදන ගේම ඩිලාන් හෙළි කරයි

නිදහස ජාතික සභාව මෙම සාකච්ඡාව නිමවන තුරු මාධ්‍ය නොඉවසිල්ලෙන් බලා සිටියහ. එහෙත් අවසානයේ ඔවුන්ටත් ප්‍රශ්නයක් වූයේ “පොදු සතුරා” පරාජය කිරීම පිළිබඳ එකඟතාවක් නොවීම තුළ ය. ඔවුන්ට අනුව පොදු සතුරා රනිල් ප්‍රමුඛ ආණ්ඩුවය.

කෙසේ වෙතත් මේ සාකච්ඡාව තුළින් සමාජයට ලොකු’ පණිවිඩයක් ලැබිණි. එය නම් පුළුල් එකඟතාවක් ඇතිව අවශ්‍ය නම් ජනාධිපතිවරණයකදී රනිල් හා ආණ්ඩුව පරාජය කිරීමට පොදු විපක්ෂය එක් වුවහොත් අපහසු නොවන බවකි. එහෙත් ඒ පොදු අපේක්ෂකයා කවුද යන ප්‍රශ්නය සමාජය තුළ විය.

පසුගිය සති දෙක තුනක සිට ඒ පිළිබඳ සාකච්ඡා කළ සමාජ මාධ්‍ය ඒ සඳහා නමක් ද යෝජනා කර තිබිණි. ඔවුන් යෝජනා කළේ අන් කවුරුවත් නොව, ජාතික ජන බලවේගයේ හරිනි අමරසේකරයි.

මේ පසුබිම තුළ ජාතික ජන බලවේගය ඇතුළාන්තයේ ද ලොකු සාකච්ඡාවක් ඇති වූවා නිසැකය. අවසානයේ නිදහස ජාතික සභාව හා සාකච්ඡා කර දෙදිනකට පසු ජාතික ජන බලවේගය තීන්දුවක් ගෙන ප්‍රසිද්ධ කළේය. ඒ නම් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා අන් කවුරුවත් නොව, පක්ෂ නායක අනුර කුමාර දිසානායකම බවය.

කෙසේ වෙතත් පසුගිය සතියේ ජාතික ජන බලවේගය සමග සාකච්ඡා කිරීමෙන් පසු නිදහස ජාතික සභාවේ සාමාජිකයන්ට ද නිදහසක් ලැබුණේ නැත. මාධ්‍ය නිතර නිතර ඔවුන්ට කතා කරන්නට වූහ.

විශේෂයෙන් ඩිලාන් පෙරේරාට වද කරමින් මාධ්‍ය ප්‍රශ්න අහන්නට පටන් ගත්හ. ඔවුන් යෝජනා කරන්නේ අනුර ජනාධිපති වන ඩලස් අගමැති වන විසඳුමක් දැයි මාධ්‍ය විමසනු ලැබූ හ.

“එදා ඩලස් ජනාධිපති වුණානම් සජිත්ට තිබුණා අගමැති වෙන්න. හැබැයි ඉතින් අපි යෝජනා කරන්නේ මේ වෙලාවේ ඒක නෙවෙයි. එක්කෝ අනුර අගමැති සජිත් ජනාධිපති. නැත්තං අනුර ජනාධිපති සජිත් අගමැති. මේක තමයි මේ වෙලාවේ රනිල් පරද්දන්න නම් ගේන්න පුළුවන් හොඳම විසඳුම…”

මාධ්‍යවේදීන් විමසුවේ එය කිසිදාකවත් සිදුවිය හැකි දෙයක් ද කියාය. යථාර්ථයක් විය හැකිද කියාය. සජිත්ට හා අනුරට එකතු විය හැකිද කියාය.

“එහෙම නම් ඉතින් ඔය මහින්දයි රනිලුයි එකතුවෙලා ඉන්නේ. කවුද හිතුවේ එහෙම දෙයක් වෙයි කියලා”

අනුර ප්‍රියදර්ශනටත් ලාන්සාගෙන් තනතුරක්

මේ අතර නව සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී සිදුවූ විශේෂත්වය වන්නේ නව සන්ධානයේ පක්ෂ කටයුතු සහ ප්‍රධාන බලධාරා සමග සාකච්ඡා කිරීමේ වගකීම සහ එහි නායකත්වයට ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කිරීමයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ නිමල් ලන්සා මහතා විසින් මෙම යෝජනාව සිදුවූ අතර එය සෙසු පිරිසද අනුමත කර තිබේ. අනතුරුව අනුර යාපා මන්ත්‍රීවරයාට සියලු දෙනාගේ සුභ පැතුම් ලැබුණි.

“නව සන්ධානයේ නායකත්වයත් වයඹට ගියා එහෙනං” නලින් ප්‍රනාන්දු සිනා සෙමින් කීවේය.

“හුඟක් අය මතුකරන්න හදන්නේ අපිත් රාජපක්ෂ කඳවුරේ කියල හංවඩු ගහන්න” ප්‍රියංකර ආයේ කවදාවත් රාජපක්ෂලාට කඩේ යන අය අපේ කණ්ඩායමේ නෑ. අපි මේ හදන්නේ රාජපක්ෂ විරෝධී කඳවුරක්” අනුර යාපා කීවේ පිරිස දෙස බලමිනි.

“අපි ජනතාවට මේ ගැන පැහැදිලි කරලා දෙන්න ඕනා, දැන් පළාත් පාලන ආයතනවල හුඟක් සභාපතිවරු අපේ සන්ධානය ගැන බොහොම හොඳ පැහැදීමක ඉන්නේ. ඒ අය බිම් මට්ටමේ ජනතාවට මේ ගැන කියයි” නිමල් ලන්සා කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment