ජනපති මැතිවරණ සිතියම හැකිළීම අරඹලා – ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන්ද ඊට වගකිව යුතුයි

89

ජයන්ත සමරවීර (ජානිපෙ)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම මාමා වූ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගිය පාරේම යමින් ලංකාවේ මැතිවරණ සිතියම හැකිළීම අරඹා ඇති බවත් ඊට ඔහුට ජනාධිපති පුටුවට පැමිණීමට පාර කැපූ ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන්, බටහිර තානාපති කාර්යාලවල ලගින දේශපාලන පක්ෂ මෙන්ම ඔහු අනුප්‍රාප්තික ජනාධිපති කිරීමට ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනා දැඩි ලෙස වගකිව යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

ඊයේ (15 වැනිදා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජානිපෙ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය. මේ වන විට අලි – පොහොට්ටු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට, නහුතයක් උප්පරවැට්ටි දමමින්, දීන, තුච්ඡ ප්‍රයත්නයක නිරතව සිටිනවා. එම ජනතා ද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රයත්නය ජාතික නිදහස් පෙරමුණ ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට වසරකට පෙරයි. පළාත් පාලන ඇමතිවරයාට තිබෙන බලතල පාවිච්චි කරලා පොහොට්ටු ආණ්ඩුව ඒක කල් දමාගත්තා. එම මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය විසිඑක් වැනිදා නිකුත් කළත් ඉන් පසුව සිදු වන්නේ අලි – පොහොට්ටු ආණ්ඩුවේ උප්පරවැට්ටි මත මැතිවරණය කල් දමා ගැනීමයි. මැතිවරණ සිතියම හැකිළීම ඇතුළු රනිල් වික්‍රමසිංහගේ මේ ජනතා ද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට වගකිව යුත්තේ කවුද? ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර්වලින් ඊනියා ගෝල්ෆේස් අරගලයක් හදලා, රනිල් වික්‍රමසිංහට ජනාධිපති පුටුවට යන්න පාර කපපු ඊනියා අරගලකරුවෝ, බටහිර තානාපති කාර්යාලවල ලැඟගෙන සිටින දේශපාලන තැරැව්කරුවෝ වගේම රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවට වඩම්මවා ගෙන ආපු පොහොට්ටුවේ මන්ත්‍රී ගොබිලෝ 134 දෙනා තමයි මීට වගකිව යුත්තේ.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment