ජනපති මැදුරෙන් හමුවූ සල්ලි; ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න උසාවියෙන් අවසර

128

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිදන කාමරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි අසු ලක්‍ෂයකට අධික මුදල ජනාධිපති මන්දිරයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා (11දා) කොටුව පොලිසියට නියෝග කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයෙන් සොයාගනු ලැබූ එම මුදල් ඔහුට අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ දැයි විමර්ශනය කළ යුතුව ඇතැයි පවසමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත් වරයා එම නියෝගය කළේය.

මේ වනවිට හිටපු ජනාධිපතිවරයා මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ නොමැති බව දැනගන්නට ලැබී ඇතැයි පොලිසිය එහිදී අධිකරණයට දන්වා සිටි අතර එම නිවසේ නොමැති නම් ඔහු සිටින නිවසකට ගොස් හෝ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේය. අරගලකරුවන් විසින් පසුගිය ජූලි 09 දා සොයාගෙන කොටුව පොලිසියට භාරදී තිබූ එම මුදල් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත භාරදෙන ලෙසට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතාට දුරකථන මගින් දන්වා තිබූ බව එකී විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා එහිදී අධිකරණයට පැවසීය. එකී දුරකථන ඇමතුම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහිදී වැඩිදුටත් අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment