ජනපති මැඳුරෙන් හමු වූ මුදල් කෝ?

264

උසාවියට ඉදිරිපත් නොකළ කොටුව ඕ. අයි. සීට සිතාසි

කොටුව ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් විසින් සොයාගෙන පසුගිය 9 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂ පනස්දහස මෙතෙක් අධිකරණයට භාර නොදීම හා ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) නියෝග කළේය.

එකී මුදල වහාම තම අධිකරණයට භාරදීමට පියවර ගන්නා ලෙසටද මහෙස්ත්‍රාත්වරයා එහිදී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම හා සාවi මුදල් පරිහරණය යන චෝදනා යටතේ ජනාධිපති මන්දිරයේ තිබියදී සොයාගත් එම මුදල කොටුව පොලිසියට භාරදුන් කුසල් දිවුල්ගස්තැන්න නමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (28දා) කැඳවූ අවස්ථාවේදී ඔහු ඇතුළු අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සිය සේවාදායකයා ඇතුළු අරගලකරුවන් විසින් සොයාගත් එකී මුදල කොටුව පොලිසියට ලිඛිතව භාරදී මේ වන විට සති තුනක් ගතවී ඇතත් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කිරීමට හෝ එකී මුදල අධිකරණයට භාරදීමට පොලිසිය අසමත්වී ඇති බවත් අන්සතු මුදලක් භාරයට ගත් විගස ඒ පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමට පොලිසිය නීතිය අනුව බැඳී ඇති බවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණයට පැවසීය.

එකී මුදල වංචා කිරීමේ චේතනාවක් අරගලකරුවන්ට නොතිබූ බවත් එලෙස වංචා කිරීමට උවමනාවක් තිබුණේ නම් මුදල් පොලිසියට භාර නොදෙන බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා මුදල් සාවi පරිහරණය කර ඇත්තේ සිය සේවාදායකයා නොව මුදල් භාරගත් පොලිසිය බව කාහට වුවත් අවබෝධ වන්නේ යැයිද අධිකරණයට කීවේය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා එකී මුදල් පොලිසියට භාරදීමට පියවර ගත් සැකකරු හා ඔහුට ඒ සඳහා සහාය දුන් සෙසු සැකකරුවන් තිදෙනා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුල්වීම හා අයුතු ලෙස එහි රැඳී සිටීම යන චෝදනාද අබ්දුල් කාදර් අබ්දුල් සලීම්, ජෙරාම් උදය කුමාර්, ජෙරාම් ජයරාජා යන සෙසු සැකකරුවන් තිදෙනාට එල්ල කර තිබිණි.

එහිදී උදාර මුහන්දිරම්ගේ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා එම සැකකරුවන් සිවුදෙනා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment