ජනපති මැඳුරේ පැවැත්වූ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ගාලගෝට්ටි

721

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28 දා) සවස ජනපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මැඳුරේදී පැවැත්වූ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වී ඇති බව වාර්තා වේ.

මෙහිදී පළමුවෙන්ම රටේ දැනට මතුව පවතින භාණ්ඩ හිඟය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා වී ඇති අතර පසුව අන්තර්වාර ආණ්ඩුව පිළිබඳව මුලින්ම අදහස් දැක්වීම ආරම්භ කොට ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය.

අරුන්දිකගේ අන්තර්කාලීන ආණ්ඩු දැක්මට තිස්ස කුට්ටිගෙන් බාල්දියක්

ඒ සමගම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අරුන්දික ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය විවේචනය කරමින් ජනවරම දුන්නේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, ජනවරම දුන්නේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවත් පෙන්වා දී ඇත.

තිස්ස කුට්ටිගේ අගමැති කුමන්ත්‍රණයෙන් ඩලස් කෝපවෙලා

එමෙන්ම අගමැතිකම ගැනීමට ඩලස් අලහප්පෙරුම මහතා කුමන්ත්‍රණය කරන බවට කියමින් කුට්ටිආරච්චි මහතා අලහප්පෙරුම මහතාටද දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.

ඒ සමගම අදහස් ප්‍රකාශ කිරීමට නැඟී සිටි අලහප්පෙරුම මහතා තමන් ශරීරයෙන් මිටි වුවද කන්දක් මෙන් ශක්තිමත් පුද්ගලයකු බවත්, තමන් අගමැතිකම ලබා ගැනීමට කුමන්ත්‍රණය නොකරන බවත් කෝපයෙන් යුතුව සඳහන් කොට තිබේ.

පවුල් ප්‍රශ්නයක් යැයි කියූ අරුන්දිකට නාමල්ගෙන් දෝස්මුරයක්

ඉන් අනතුරුව නැවතත් කතා කොට ඇති අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් බවත්, එය පවුල තුළම විසඳාගත යුතු බවත් සඳහන් කොට ඇත.

අරුන්ධිකගේ එම ප්‍රකාශයෙන් කෝපයට පත්ව ඇති නාමල් රාජපක්ෂ මහතා මෙතැන පවුල් කතා අනවශ්‍ය බවත්, අරුන්දික තමන් සමග එකක් පවසා මෙතැන ඇවිත් තවත් එකක් කියන බවද සඳහන් කොට ඇත.

ඩලස් පිටුපස්සේ ඉඳන් පිහියෙන් අනින්නේ නෑ අගමැති කියයි

අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කොට ඇත්තේ අගමැතිවරයාය. ඩලස් පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා කියා ඇත්තේ ඩලස් කියන්නේ මම එදා ඉඳන්ම දන්න කෙනෙක්. එයා අපිට එහෙම කරන කෙනෙක් නෙමෙයි. මමයි ඩලස්ව දේශපාලනයට අරගෙන ආවේ. ඒ හින්දා ඩලස් කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින කෙනෙක් කියලා මම හිතන්නේ නෑ යනුවෙනි.

අන්තර්වාර ආණ්ඩුවට පවිත්‍රාගෙන් දැඩි ප්‍රහාර

මේ පිරිසට අමතරව අගමැතිවරයාට හිතවත් ලෙස සැලකෙන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු කණ්ඩායමක්ද අන්තර්වාර ආණ්ඩුවට එරෙහිව මෙහිදී දැඩිව අදහස් දැක්වීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් කිසිවිටෙක අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දී නොමැති බව සඳහන් කොට තිබේ.

මම කොයිවෙලාවකවත් අගමැතිතුමාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා නෑ. මේ ඔක්කොටම වඩා මට මගේ සහෝදරයා ලොකුයි. ඒ නිසා 113 ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් 113 අරන් එන ඕන කෙනකුට අගමැතිකම දෙන්න මට සිද්ධ වෙනවා යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී අගමැතිවරයාද පවසා ඇත්තේ තමන්ට 113ක මන්ත්‍රී බහුතරයක් ඇතැයි කියාය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයෙන් අනතුරුව විවිධ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට යෑම හේතුවෙන් නැවත වතාවක් රැස්වීම උණුසුම් වී ඇති අතර පසුව අගමැතිවරයා මැදිහත්ව සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment