ජනපති මැඳුරේ සල්ලි: දේශබන්දුට සිතාසි

202

අරගලකරුවන් ජනාධිපති මන්දිරය සිය ග්‍රහණයට ගත් පසුගිය ජුලි 9 වැනිදා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාවිත කළ කාමරයක තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්‍ෂ පනස් දහසක මුදල් අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කිරීමෙන් එම මුදල සාපරාධී විශ්වාසය කඩකිරීමට අනුබල දුන්නේ චෝදනා එල්ලවී ඇති බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26දා) නියෝග කළේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් නීතිඥ උදාර මුහම්දිරම් මහතා මගින් ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. පැමිණිලිකරු තම අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ හා ලේඛන සලකා බැලීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති එම නියෝගය අනුව මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩවී නැතත් එකී නියෝගය කිරීමෙන්ම සාපරාධී විශ්වාසය කඩකිරීමට අනුබලදීමක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේ යැයි නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. නීතිඥ උදාර මුහම්දිරම්ගේ, නීතිඥ තිළිණ පුංචිහේවා යන මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment