ජනපති මොනවා කීවත් සංග්‍රහයට කෝටි හත අටක්

409

රජයේ වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට පැහැදිලිව උපදෙස් දී තිබියදී රාජ්‍ය අමාත්‍යංශවල එක් එක් අංශ මට්ටමින් පැවත්වෙන රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන්ගේ සංග්‍රහ වියදම් ලෙසින් මසකට රුපියල් කෝටි හත අටක මුදලක් වැය කරන බව වර්තා වෙයි.

එකී රැස්වීම් අතරවාරයේ සහභාගි වන රාජ්‍ය නිලධාරීන්ට කෙටි ආහාර සහ තේ හෝ සිසිල් බීම ලබාදීම වෙනුවෙන් මෙම මුදල් වැය කෙරේ. මෙහිදී අදාළ නිලධාරීන්ට ලබාදීම සඳහා තේ සකසමින් එක් එක් අය අසුන්ගෙන සිටින ස්ථානවලටම ඒවා ගෙන ගොස් පිරිනැමීමට සිදුවීමෙන් කාර්යාල කාර්ය සහායකයෝ ද පීඩාවට පත්ව සිටිති.

එක් රාජ්‍ය අමාත්‍යාංශයක අභ්‍යන්තර අංශවල රැස්වීම් දහයක් පමණ මේ අන්දමට සතිපතා පැවැත්වෙන අතර ඇතැම් ඒවා පැයකටත් අඩු කාලයකට සීමා වුවද සහභාගි වන නිලධාරීන්ට සංග්‍රහ කිරීම අනිවාර්ය කටයුත්තක් කරගෙන ඇත.

මෙම අභ්‍යන්තර රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන්ට ලබාදීම සඳහා විෂයානුබද්ධ ලිපි ගොනු සකස් කිරීම වෙනුවෙන් ඡායා පිටපත් යන්ත්‍ර මගින් විශාල වශයෙන් පිටපත් ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට ද පත්ව තිබේ.

අදාළ රැස්වීම්වලට සහභාගි වීම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරීන් කිලෝ මීටර් 100-200 ආදී වශයෙන් දුරබැහැර ප්‍රදේශවලට සිට ඉන්ධන පුළුස්සා දමමින් කොළඹට පැමිණෙන්නේ රජයේ වාහනවලිනි. මේ අකාරයට රාජ්‍ය අමාත්‍යංශවල පැවැත්වෙන ඇතැම් ව්‍යාපෘති සඳහා විවිධ පොත්පත් මුද්‍රණය කිරීම ද කලක සිට සිදුවන අතර එසේ මුද්‍රණය කර ඉතිරි වූ පොත්පත් ලක්‍ෂ ගණනින් අමාත්‍යාංශ ගබඩාවල දිරාපත් වෙමින් ඇත.

රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් අභ්‍යන්තර අංශ යටතේ වන ආයතනවල ප්‍රධානීන් අමාත්‍යාංශය වෙත කැඳවමින් මෙම රැස්වීම් සංවිධානය කෙරෙන අතර ඒ සඳහා අන්තර්ජාල තාක්‍ෂණය භාවිත කිරීමට අවස්ථාව තිබියදීත් මෙසේ කටයුතු කිරීමෙන් මුදල් ඉතිරි කිරීම වෙනුවට අති විශාල මුදලක් වැය කරන බව රජයේම ආරංචි මාර්ග සඳහන් කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment