ජනපති යනතුරුම ගෝඨා ගෝ හෝම් මැති සබයේ රැව්දෙයි!

223

සභාව කල් තබයි: ජනපති පිටව යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදීම ඔහුගේ මුහුණටම සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් සභා ගැබේදී ඊයේ (05දා) පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගෝඨා ගෝ හෝම්, වැඩ බැරි නම් ගෙදර යන්න කියමින් සහ හූ හඬ නැඟීම නිසා කථානායකවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට සිදු විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේදී රටේ ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටි අවස්ථාවේ මෙම උද්ඝෝෂණය සිදුවිය. අගමැතිවරයාගේ අදහස් දැක්වීම අවසන් කළ වහාම කථානායකවරයා සභාව විනාඩි 10 කට අවසන් කරන බව කියමින් අසුනින් නැඟිට පිටත්ව ගියේය.

ජනපති යනතුරුම ගෝඨා ගෝ හෝම් මැති සබයේ රැව්දෙයි!

ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී සුළු මොහොතකට පසු ජනාධිපතිවරයා සභාවට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය සාවධානව අසා සිටියේය. අගමැතිවරයා සිය කතාව අවසන් කිරීමට සුළු මොහොතකට පෙර විපක්ෂයේ සමගි ජනබලවේගය මන්ත්‍රීවරු අසුන්වලින් නැඟිට පොස්ටර් ප්‍රදර්ශනය කරමින්, කෑකෝ ගසමින් ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණය ආරම්භ කළහ.

ඒ වන විට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සභාවේ රැඳී සිටි අතර උද්ඝෝෂණය ආරම්භ වූ සැණින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ද, එස්. බී. දිසානායක, තේනුක විදානගමගේ, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද ඔහු අසලට පැමිණියහ.

ජනපති යනතුරුම ගෝඨා ගෝ හෝම් මැති සබයේ රැව්දෙයි!

අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය අවසන් කරනවාත් සමගම පෙරවරු 10.40ට පමණ සභාව විනාඩි 10 කට කල් තබන බව නිවේදනය කරමින් කථානායකවරයා සභාවේ කටයුතු අත්හිටුවීය. ඉන් පසුවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑ ගසමින් ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විපක්ෂයේ මන්ත්‍රීන් දෙස බලමින් සිය අසුනින් නැඟිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග කතාබහ කරමින් සභාවෙන් නික්ම ගියේය.

දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මැද පෙරවරු 11.00 ට පමණ සභාවේ කටයුතු නැවත ආරම්භ කෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment