ජනපති රුවක් ගොම හා ගව මූත්‍ර වලින් නහවා විරෝධතාවක්!

533

වසර 5000 කට වඩා පැරණි ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ඨාචාරයක ගොවි බිම් අද වෙන කොට විනාශ කළා. වගා කරගෙන කාපු අවුරුදු 5000ක ගොවි බිම් ටික පුරං කරලා හමාරයි කියමින් පැරණි පුස් කොළ පොත්වල තිබෙන පැරැන්නන් විසින් සිදු කළා යැයි පැවසෙන “ගොම සාත්තුව” ජනාධිපතිවරයාගේ අනුරුවක හිසට ගව මූත්‍ර හා ගොම දියකර වත්කරමින්, ජනාධිපතිවරයාගේ මොළය පෑදේවි යැයි අපේක්ෂා කරන බව පවසමින් මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක් ගිරාදුරුකෝටේ, හොඹරව වෙල් යායේදී මෙම විශේෂ සාත්තුව සිදු කරනු ලැබූහ.

100% කාබනික වගාව හඳුන්වා දෙනවා කියා රටේ සමස්ත ගොවි තැන විනාශ කළ ජනාධිපතිවරයාගේ අදූරදර්ශී ක්‍රියා කලාපයට විරෝධතාව දක්වමින් විශේෂ සාත්තුවෙන් අනතුරුව ජනාධිපති අනුරුවට “බෝලතු” වලින් පහර දී ගිනි තබා ගොවි ජනතාව විරෝධතාවය දැක්වූහ. මෙම අවස්ථාව සඳහා ගොවි සංවිධාන 08ක ගොවීන් 500 කට අධික පිරිසක් එක්ව සිටියහ. හෙඹරව මංසන්දියේ විරෝධතාවයේ යෙදී සිටි ගොවීන් පිරිසක් හා එක්වීමට ගින්නෝරුව ගම්මානයේ සිට වියගහක බැඳි ගවයන් දෙදෙනකු දක්කා ගෙන එමින් තවත් ගොවීන් පිරිසක් විරෝධතාවට එක්වූහ. එම ගවයන් දෙදෙනාට මැදිව ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූප සහිත පින්තූරයක් බැඳ තිබුණි.

ජනපති රුවක් ගොම හා ගව මූත්‍ර වලින් නහවා විරෝධතාවක්!

මහියංගණය -රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment