ජනපති වැය ශීර්ෂය බිංදුවටම කපන්න… මාස 3 කට වැඩ. බ. ජනපති ලෙස අගවිනිසුරු පත් කරන්න

414

අයියාගේ පිහිටෙන් පාර දෙපැත්තේ මල් හිටවන කෙනෙකු ජනපති කරගන්න එපා කියා එදා මං කිව්වා

කුමාර වෙල්ගම කථානායකට ලියයි

මීළඟ පාර්ලිමේන්තු වාරයේදීම ජනපති වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වාම කපාහැර ජනපතිට ඉල්ලා අස්වීමට සලස්වා මාස 03කට වැඩ බලන ජනපති ලෙස අගවිනිසුරුවරයා පත් කළ යුතු බවට නවලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කථානාකයවරයාට ලිපියකින් දැනුම් දී ඇත.

යෝජිත විශ්වාසභංග හා අන්තර්පාලන යෝජනා පිළිබඳව තම ස්ථාවරය දැනුම් දෙමින් කථානායකවරයා වෙත ලිපියක් යවා ඇති මන්ත්‍රීවරයා රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට නම් දේශපාලන පක්‍ෂවල ජාතික ලැයිස්තුවලින් පත්කළ මන්ත්‍රීවරු ඉවත්කර හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වත්මන් අධිපති නන්දලාල් වීරසිංහ, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැනි ප්‍රවීණයන් පාර්ලිමේන්තුට පත් කළ යුතු බවත් යෝජනාකර ඇත. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද පිටපතක් යවමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කථානායකවරයා වෙත යවා ඇති ලිපිය මෙසේය.

දේශයේ මුළු මහත් ජනතාවට නීත්‍යනුකූලව හිමි සියලු දේ අහිමිව යමින් තිබෙන පසුබිමක කිරිපිටි, බෙහෙත්, අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, ගෑස්, භූමිතෙල්, පෙට්‍රල් හා ඩීසල්, පොහොර, කඩදාසි මෙන්ම ආර්ථිකය පවත්වාගෙන යෑමට ඩොලර් නැත. එහෙත් ජනාධිපතිවරයෙක් අගමැති වරයෙක් පාලන තන්ත්‍රයේ සිටිය ද ජනතාවට මෙන්ම රටට ද අනාගතයක් නැත.

රටපුරා ජනතාව අරගල කරති. ජනපතිට ගෙදර යන්නැයි කියති. අගමැතිට බැණ වදිති. මැති ඇමැති නිවෙස් වටලති. ජනතාව විසින්ම පත්කළ ජනතා නියෝජිතයින් බහුතරයක්ම මේ වන විටත් ජනතාව විසින්ම නිවාස අඩස්සියට පත් කර ඇත. කොකුන්ගේ වාරය අවසන් වෙමින් තිත්තයන්ගේ වාරය එළඹෙමින් තිබෙන බව පෙනෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කරද්දීම රටට මේ විපත වන බව මම අනතුරු ඇඟෙව්වෙමි. ඒ බව ප්‍රසිද්ධියේ පැවසුවෙමි. පරිපාලනය පිළිබඳව හෝ මහජන සම්බන්ධතාවය පිළිබඳව හෝ දේශපාලනය පිළිබඳ හෝ අබමල් රේණුවක තරමවත් දැනුමක් නැති, තම අයියාගේ පිහිටෙන් පාරවල් දෙපස මල් හිටවන්නට පමණක් දන්නා අයෙකු රටේ නායකයා ලෙස පත්කර නොගන්නා මෙන් මම ජනතාවගෙන් ද ඉල්ලුවෙමි.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, මාගේ මෙන්ම රටේ ජනතාවගේද ගෞරවයට භාජනය වූයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම හේතුවෙනි. එයම හේතුවක් කර ගනිමින් දිගින් දිගටම බලයේ සිටීම සඳහා ජනතාව මුළා කිරීම වරදකි. එම වරදේ ප්‍රථිවිපාක ජනතාව භුක්ති විදිමින් සිටිති.

ගරු කථානායකතුමනි, රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව පිළිබඳව ද මේ වන විටත් ජනතා විශ්වාසය නැතිවෙමින් තිබේ. රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව, ජීවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සිදුකර ඇති කාර්යභාරය කුමක්ද? එය ජනතාවද අසන ප්‍රධාන ගැටලුවකි. අද අපි රජයට විශ්වාසභංග ගෙනෙමින් සිටිමු.

වසර දෙකක් තිස්සේ රට අගාධයට ඇදගෙන ගිය කැබිනට් ඇමතිවරු මන්ත්‍රීවරු අද ආණ්ඩු පක්‍ෂයේම සිටිම්න් ස්වාධීනව වීරයන් වන්නට සූදානම් වෙති. රු. 225කටත් හාල් කිලෝවක් ගන්නට බැරි රටක, “පාර්ලිමේන්තුවේ 225 ම එපා” යැයි ජනතාව අරගල කරද්දී 225න් මෙපමණ ප්‍රමාණයක් අත්සන් අපට තිබේ යැයි ඔවුහු ජනතාවට කියති. අහිංසක ජනතාව මුළා කරමින් කමන්ගේ බඩගෝස්තරය සවි කරගෙන වින්දනයක් ලබන්නට අන්තර්වාර ආණ්ඩු ගැන ජනතාවට “අන්දන – වින්දන” ප්‍රසංග පෙන්වති.

ගරු කථානායකතුමනි, මේ විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු හෝ පිළිබඳව ගෙනෙන යෝජනා කිසිවකට මම අත්සන් නොකරමි. ඒ කිසිවකට පක්‍ෂව හෝ විපක්‍ෂව මාගේ ඡන්දය ද පාවිච්චි නොකරමි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තප්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකටද මම සහාය නොදෙමි.

ගරු කථානායකතුමනි, අවසන් වශයෙන් රටත් ජනතාවත් ඇද දමා ඇති මේ දරුණු අගාදයෙන් ගොඩ ගැනීමට නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැද පාර්ලිමේන්තුව මැදිහත්ව කළ යුතු යැයි මා අදහස් කරන යෝජනා කීපයක්ද පහතින් ඉදිරිපත් කරමි.

i මීලළග පාර්ලිමේන්තු වාරයේදීම ජනාධිපති වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරීම (එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවෙයි)

ii පුරප්පාඩු ජනාධිපති ධුරයට මාස 3ක කාලයක් සඳහා වැඩ බලන ජනාධිපති ලෙස අගවිනිසුරුතුමා පත්කර ගැනීම

iii එකී මාස 3 ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු නාමික ජනාධිපති පදවියට පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම

iv ඒ අතරතුර දේශපාලන පක්‍ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉවත් කර හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, වත්මන් මහ බැංකු අධිපති නනදලාල් වීරසිංහ වැනි රටට ආදරය කරන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් පාර්ලිමේන්තුවට පත් කර ගැනීම.

v ඉහත පිරිස සහ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින දූෂිත නොවන විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයින්ද ඇතුළත්ව 20 දෙනෙකුට නොවැඩි, එක් වසරක කාලයක් නොයික්මවන අන්තර්පාලන කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීම

vi අන්තර්පාලන ආණ්ඩුව පිහිටුවා දෙසතියක් ඇතුළත එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට පියවර ගැනීම සහ කඩිනමින්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, තරුණ කටයුතු හා ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා ජාතික ප්‍රතිපත්ති සම්මත කර ගැනීම

vii අන්තර්පාලන ආණ්ඩුවට වසරක් ගතවීමට පෙර පාලර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම

GOTA GO HOME පොදු ජන අරගලයට ජය වේව!!!

advertistmentadvertistment
advertistmentadvertistment