ජනපති සටනට තරගය තියුණුයි: තීන්දුව 20 දා මැතිසබේදී

632

පාර්ලිමේන්තුවේ ලබන 20 වැනිදා පැවැත්වෙන ජනාධිපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමට තියුණු තරගයක් ඇතිවී තිබේ. මෙම ජනපති තරගයට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතර මෙම සටන ඇතිව තිබේ. එම තරගකරුවෝ තිදෙනාම තම ජයග්‍රහණය උදෙසා මන්ත්‍රීවරුන් එකතුකර ගැනීමේ දැඩි පරිශ්‍රමයක මේ වනවිට නිරතව සිටිති.

ඩලස් අලහප්පෙරුම මහතා සිකුරාදා තමා ජනපති සටනට පිවිසෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඊට පෙර සජිත් ප්‍රේමදාස මහතා ජනපති සටනට ඉදිරිපත් කිරීමට එම පක්‍ෂය ඒකමතිකව තීරණය කරනු ලැබීය. අලහප්පෙරුම මහතාට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් සහය දෙන බවද දේශපාලන අංශ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ සිකුරාදා වනතුරුත් තම පක්‍ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොතිබූ අතර ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ බලය පාර්ලිමේන්තුවට ඇති බවත්, මාස තුනකට කථානායකවරයා ජනපති වී අන්තර් පාලනයක් පිහිටුවීම තම ස්ථාවරය බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

යම් හෙයකින් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වුවහොත් එවන් ආණ්ඩුවක තමා අගමැතිවීමට සූදානම් නැති බව මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර තිබුණි. එක් එක් පාර්ශ්ව මන්ත්‍රීවරුන් බිළිබා ගැනීම් ගැන විවිධ රහසිගත සාකච්ඡා පක්‍ෂ අතර සිදුවන බවට වාර්තා වෙයි. මේ නිසා මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් ඇති කළ යුතු බවට වැඩබලන ජනපතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ලබන 19 වැනිදා නාම යෝජනා කැඳවීම පාර්ලිමේන්තුවේදී සිදුකිරීමෙන් අනතුරුව 20 වැනිදා නව ජනපතිවරයා තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තුව මේ වනවිට සියල්ල සැලසුම් කර ඇත.

මේ අතර විපක්‍ෂ නායකවරයා ජනපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණද විපක්‍ෂයෙන් පොදුවේ අපේක්‍ෂකයකු ඉවත් කිරීමට සාකච්ඡාවක් පැවැත්වෙයි. එහෙත් එවැනි තීරණයක් එන තෙක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සැලසුම් දියත් කිරීමට එම පක්‍ෂය සිකුරාදා තීරණය කර තිබේ.

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමට අදාළ නාම යෝජනා මෙම මස 19 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදිය යුතුය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය ලබාදෙන බවට එහි මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ජනාධිපති සටනේදී තම සහාය ලබාදෙන්නේ කාටදැයි කියා මෙතෙක් නිශ්චිතවම ප්‍රකාශ කර නැත.

මේ අතර සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ සමගි ජනබල පක්‍ෂය ඇතුළුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ජනාධිපති ධුරය භාර ගැනීමට ආරාධනා කළහොත් තමා ඒ සඳහා සූදානම් බවය.

එසේම අගමැති ධුරය භාර ගැනීම සඳහා ද විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවත් ගාලුමුවදොර අරගලයේ නිරත තරුණයන්ගේ අපේක්‍ෂාවන් ඉටුකිරීම සඳහා ඒ සම්බන්ධවද තම අවධානය යොමුව ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

නව ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පැවැත්වේ. අගමැතිවරයා පත්කර ගැනීම ඉන්පසු සිදු කිරීමට නියමිතය.

උපාලි ද සේරම්, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment