ජනපති සටනේදී මන්ත්‍රීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ  බලපෑම් කරන අය සොයන්න – වැඩ බලන ජනපතිගෙන් උපදෙස්

145

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහස් ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ද ඊට අදාළ වරප්‍රසාද පනත ද ඇතුළු අපරාධ නීති පනත් යටතේ අදාළ විමර්ශන පවත්වන ලෙස ද වැඩ බලන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ. මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව වෙත යෑමට හා ඒමට නිදහස තිබිය යුතු බවත් පාර්ලිමේන්තුව තුළදී ද නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු බවටත් සඳහන් වේ. ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවිමක් මෙන්ම තර්ජනයක් බවට ද වැඩ බලන ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන් වේ.

ප්‍රචණ්ඩත්වය පතුරුවන කැරලිකරුවන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අපේක්ෂකයන්ට ඡන්දය දී එන්න එපා යනුවෙන් ‘පෝස්ට්’ ප්‍රදර්ශනය කරමින් බලපෑම් කරන බවට වැඩබලන ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී ඇත. මීට පෙර ද මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තබා විනාශ කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්වූ බවත් වැඩ බලන ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත. කැරලිකරුවන් සිදුකරන තර්ජන ව්‍යංගයෙන් මරණ තර්ජන කිරීමක් වැනි බවට ද මන්ත්‍රීවරුන් වැඩ බලන ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස තර්ජන එල්ල කිරීම නිසා තමන්ට නිදහසේ ඡන්දය භාවිතා කිරිමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවට ද මන්ත්‍රීවරුන් විසින් වැඩ බලන ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශන පවත්වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා තේරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමේදී යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුව ද අනිසි බලපෑම් සහ තර්ජන කරන්නේ නම් රටේ නීතිය අනුව දැඩිව ක්‍රියා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ පළමු කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment