ජනපති සමාව දුන් ගෝඨාභයත් වගඋත්තරකරුවෙක්

235

ජනාධිපති නීතිඥ සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාවක් ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (17දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳවන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පාර්ශ්ව තුනක්

ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ජනාධිපති ධුරය නොදරන බැවින් ඔහුට හිමිව තිබූ ජනාධිපති මුක්තිය අහෝසි වී ඇති බවත් ඒ අනුව ඔහුව වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණයට පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී කරුණු දැක්වීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල ලබන 24 වැනිදා එම නඩුව යළි කැඳවීමට දින නියම කළේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කිරීම නිසා ඔහු වෙනුවට නීතිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කොට තිබිණි. එයට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම ආර්. දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් ද එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි. මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට නියම කළ මරණීය දණ්ඩන නියෝග පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින්ද ඒකමතිකව සම්මත කොට තිබියදීත් එලෙස ඔහු නිදහස් කර ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ආර්. දුමින්ද සිල්වා මහතා වහාම යළි අත්අඩංගුවට

ගන්නා ලෙසට පොලිස්පතිවරයාට මින් පෙර නියෝග කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment