ජනපති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමග යුගදනවි සාකච්ඡා බිඳවැටේ

293

එල්. එන්. ජී. බලාගාර පද්ධතිය ඇමෙරිකාවට පැවරීම තුළින් රටට වන අනර්ථකාරී තත්ත්වය ගැන කරුණු සාකච්ඡුා කිරීමට ඊයේ (28 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් සමඟ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

මෙම බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම තුළින් රටට වන අනතුර පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ විසින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට දැඩි ලෙස කරුණු දක්වා තිබේ. ගෑස් සැපයීම ඇමෙරිකාවට ලබාදීමට පියවර ගතහොත් ලංකාවේ ගෑස් වෙළෙඳපොළට අත්විය හැකි ඛේදනීය තත්ත්වය ද හවුල්කාර පක්‍ෂ විසින් මෙහිදී පෙන්වා දී තිබේ. ලංකාවේ ගෑස් ගැනීම තුළින් අප රටට ලබා ගත හැකි වාසිදායක තත්ත්වය පවා මේ නිසා අහිමි වන බව ද හවුල්කාර පක්‍ෂ විසින් මෙහිදී පෙන්වා දී ඇත. ලංකාවේ ගෑස් හා බලශක්තිය සම්බන්ධයෙන් අපට ඇති ආයෝජන අවස්ථා මේ නිසා අහිමි විය හැකි බව ද ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පෙන්වා දී තිබිණි. නමුත් මුදල් අමාත්‍යවරයාගෙන් ලැබුණේ ආවේගශීලී පිළිතුරු මිස යහපත් ප‍්‍රතිචාර නොවේ යැයි පක්‍ෂයක නායකයෙක් ‘දිවයින’ට සඳහන් කළේය.

කලකට පෙර පේසාලේ තෙල් හමු වූ බවට පැතිර ගිය කාරණා පරිද්දෙන් මෙවැනි ගෑස් කැණීම් පිළිබඳ සිහිනද බොඳවී යා හැකි බව මෙහිදී මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ මෙවැනි කාරණා ආණ්ඩුව ඇතුලේම සාකච්ඡුාකර විසඳා ගත යුතු බවයි. එහිදී ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත්තේ මෙවැනි බලාගාර ඇමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් පවතින ජනතා විරෝධයන් හමුවේ හවුල්කාර පක්‍ෂවලට එවැනි අවස්ථාවක් නොලැබුණු බවයි. මෙහිදී තවත් පක්‍ෂ නායකයකු සඳහන් කර ඇත්තේ අවසානයේ ජනතාව හමුවට ගොස් මෙම ප‍්‍රශ්නය සංවාදයට ලක්කිරීමට කණගාටුවෙන් වුවද සිදුව ඇති බවයි. වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ඒ. එල්. එම්. අතාවුල්ලා, දයාසිරි ජයසේකර, වීරසුමන දිසානායක, ගෙවිඳු කුමාරතුංග යන පිරිස ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සමඟ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් මෙන්ම ඇමැතිවරුන් වන ප‍්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, බන්ධුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්‍ෂ යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

චමින්ද සිල්වා,සමන් ගමගේ සහ සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment