ජනපති සිංගප්පූරු අගමැති සහ ජපාන විදේශ ඇමැති හමුවෙයි

103

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) ටෝකියෝ නුවර දී ජපාන විදේශ ඇමැති යොෂිමසා හයාෂි සහ සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන් යන මහත්වරුන් වෙන් වෙන්ව හමුවූහ.

ජපාන විදේශ ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය ලබාදුන් ආයතන සමඟ එක්ව ප්‍රමුඛතාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත.

ඉන්පසු සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී සිංගප්පූරුව සමඟ ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට රජයේ ප්‍රමුඛ කාර්යයක් කර ගන්නා බව ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා සිංගප්පූරු අගමැතිවරයාට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සිංගප්පූරු අගමැතිවරයා සිය ප්‍රසාදය පළකර තිබේ.

ලබන වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සිංගප්පූරු අගමැතිවරයාට ආරාධනාවක් ද කර ඇත.

මෙම හමුවීම්වලින් පසු ජනාධිපතිවරයා ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේ මහතාගේ රාජකීය අවමඟුල් උත්සවයට ද සහභාගි විය.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරයේදී අද (28 දා) එරට අගමැතිවරයා සහ ජපාන අධිරාජ්‍යයා ද හමුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment