ජනපති හදන්නේ මැතිවරණය කල්දාන්නයි:

67

අධිකරණයටත් ජාත්‍යන්තරයටත් ගිහින් ජනතාවගේ මැතිවරණ අයිතිය ආරක්ෂා කර ගැනීමට අපි සූදානම්
– සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
ගජමිතුරන් සොරකම් කරපු සල්ලි ගන්න ජනතාවට බදු ගහනවා

රටේ ආර්ථිකය විනාශ කරපු කණ්ඩායමත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළාත්පාලන මැතිවරණය කල් දාන්න හදනවා යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (13දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

දැනටමත් පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දාලා තියෙන්නේ. මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 20 ඉඳලා මැතිවරණ පැවැත්වීමේ බලය ලැබී තියෙනවා. එසේ තිබියදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු 4000ක් දක්වා අඩු කර මැතිවරණය පවත්වනවා කියලා. ඒ කියන්නේ මැතිවරණය කල් දැමීමේ තිත්ත බෙහෙත් ගුලිය මන්ත්‍රීවරු අඩු කරනවා කියලා පැණි රස තවරලා උගුලන්න යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න යන්නේ ජනාධිපතිවරයා 8000 සංඛ්‍යාව 4000 කරනවා කියලා. අපි දන්නවා එතුමා ජනාධිපති පදවිය භාර ගන්න ඡන්ද 134ක් ගන්නකොට පොදුජන පෙරමුණේ ඒ මන්ත්‍රීවරුන්ට දුන්න පොරොන්දුව තමයි මැතිවරණය පවත් වන්නේ නැහැ කියලා. මේ රටේ ඉතිහාසයේ මීට පෙර මැතිවරණ කල් දාලා ජනතාව ඒකට පාඩම් උගන්නලා තියෙනවා. 1975 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවුරුදු දෙකකින් මැතිවරණ නොපවත්වා කාලය දිගු කර ගත්තා. අපිත් එදා දිනන්න තිබුණ මැතිවරණයක් 1982 ජනමත විචාරණයක් පවත්වා අත්හිටවූවා. මේවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්වලට විරුද්ධයි. මේ අතීතය තේරුම් අරන් මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. විරුද්ධ පක්ෂයේ සියළුම පක්ෂ එකතු වෙලා අපි තීරණයක් ගත්තා නියමිත දිනට මැතිවරණ පවත්වන්න අපිට පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගිහින් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය විදිහට සමගි ජන බලවේගය එයට නායකත්වය දී මෙහෙයවන්න සූදානම්. ඒ සඳහා සියලු දෙනා එකතු කරගෙන මේ කටයුත්ත කරන්න,පොදු වේදිකාවකට ගෙන්න දැනට තීරණය කර හමාරයි.

ජනතාවගේ මුදල් ගසා කාලා හොරාකාලා රටේ ආදායම් වැඩිකර ගන්න ජනතාවගෙන් බදු ගන්න යනවා. දැන් බදු මුදල වැඩි කර තියෙනවා. වැඩිය සල්ලි තියෙන පුද්ගලයාටත් අඩු ආදායම් තියෙන පුද්ගලයාටත් එකම බද්ද අය කරන්න ආණ්ඩුව කටයුතු කරලා. රුපියල් ලක්ෂයකට වැඩිය පඩිගන්න හැමෝගෙන්ම බද්දක් ගන්න යනවා. වත්මන් පාලනය දූෂණය අන්තයටම ගිහිල්ලා. ජනතාවගේ මුදල් හොරකම් කරලා රට බංකොළොත් වෙනකොට, රට කඩා වැටෙන කොට ඒ අය තීරණය කරලා තියෙන්නේ ජනතාවගෙන් ඒ මුදල් ගන්න. ජනතාවට අද පාන් කියාගන්න බැරි ඉන්නේ. තමන්ගේ ජීවන වියදම තුන් ගුණයකින් වැඩිවෙලා. ප්‍රවාහන වියදම 4 පස් ගුණයකින් වැඩිවෙලා. තුන්වේල කාපු මිනිහා දෙවේලක් කන්න. දෙවේල කාපු මිනිහා එක වේලයි කන්නේ.

රෝගීන්ට බෙහෙත් නෑ. ළමයින්ට අධ්‍යාපනය නැහැ. රැකියා ලක්ෂ විස්සක් පමණ අහිමි වෙලා. මන්දපෝෂණයෙන් පෙළෙන රටක ආර්ථිකය කඩාවැටෙන රටක බංකොළොත් වෙච්ච රටක මේ ජනතාවගෙන් බදු ගන්න ආණ්ඩුව අද කටයුතු කරනවා. හැබැයි අද ලක්ෂ තුනහමාරක් ආදායම් ලබන කෙනෙක්ගෙන් 36% ක බද්දක් ගන්නවා. කෝටි 100 ක් ආදායම ලබන කෙනාගෙන් 36% එක සාධාරණද. බදු කියන්නේ සාමාන්‍යයෙන් මී මැස්සෙක් මලක පැණි ගන්නවා වගේ මල නොතලා පැණි ගන්නවා. ආණ්ඩුව දොවාගෙන ඉන්න හරකගෙ තනපුඩුව කපාගෙන කන තත්ත්වයට පත්වෙලා. ජනතාව අන්තිමටම අමාරුවට වැටිල තියෙන වෙලාවක ව්‍යාපාර වැහිලා තියෙන වෙලාවක රටේ සංවර්ධනය නැවතිලා තියන වෙලාවක ජනතාවගේ බදු ගන්නේ කොහොමද. අද රජයේ සේවකයෙකගෙන් බදු ගන්නවා. රජයේ සේවකයා අද අන්තිම අමාරුවට වැටිලා. රජය එක පැත්තකින් පොලිය වැඩි කරලා. අනිත් පැත්තෙන් බදු වැඩි කරලා. රටේ සියල්ල අමාරුවෙ දාලා.

රට ගොඩගන්න නම් රටේ සාමාන්‍ය පොඩි ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕන. මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් නිෂ්පාදකයා ආරක්ෂා කරන්න ඕන. අද ඒ සියල්ල කඩා වට්ටන තත්ත්වයට පත් වෙලා. මේ බදු ගන්නේ එක කොටසක්. එක පවුලක් එක කණ්ඩායමක්.

ගජමිතුරන් ටික මේ රටේ හොරකම් කරපු සල්ලි වෙනුවට ජනතාට බදු ගහනවා. තවම හොරකම නැති වෙලා නෑ. මේ රටේ විගණකාධිපති වාර්තාවක කියනවා ඩොලර් 179ට ගන්න තිබුණ ගල් අඟුරු ටොන් එක 284 කට අරන් තියෙනවා කියලා. අර පැත්තෙන් හොරකම් කරනවා. මේ පැත්තෙන් අන්තිම අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න ජනතාවගෙන් බදු අය කරනවා.

රුපියල් බිලියන 45 ක් අහිමි වෙච්ච සීනි වංචාවට ගත්ත පියවර මොකක්ද. ඒ වගේම පොල් තෙල් වංචාවට ගත්ත පියවර මොකක්ද. සුදුලූනු ගෙනල්ලා රජයේ ප්‍රධානීන්ගේ ඥාතීන් කරපු වංචාවට ගන්න ඕන පියවර මොකක්ද කියලා අපි අහනවා. ජනාධිපතිවරයා කියනවා ළමයි පලිහක් කරගන්න එපාලු. ප්‍රභාකරන් කරෙත් මේකලු. එහෙනම් අය මේ උත්සාහ කරන්නේ මේ රටේ අරගලය කරපු උදවිය ප්‍රභාකරන් වගේ ත්‍රස්තවාදියෙක්ගේ තත්ත්වයට දාන්න. ඒක නිසා තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ව, මේ රට වෙනුවෙන් සටන් කරපු ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු උදවිය අද අත්අඩංගුවට අරන් තියෙන්නේ. මම අහන්නේ බෝම්බ අරන් ටී56 අරන් මේ රට විනාස කරපු ත්‍රස්තවාදීන් ගණනට මේ අය දානවාද කියලයි.

අපේ රට දුප්පත් රටක් විදියට වර්ගීකරණය කරන්න ඒගොල්ලො කටයුතු කළානම් කරුණාකරලා ඒ තත්ත්වයට මේ රට පත් කරපු එම කණ්ඩායම ඉල්ලා අස්වෙන්න. කිසිම ලැජ්ජාවක් නැතිව රටක් දුප්පත් කරලා බංකොළොත් කරලා තවදුරටත් කයිවාරු ගහනවා නම් මම අහන්නේ ජනතාව ගන්න ඕන තීරණය මොකක්ද? ජනතාව ඊළඟ සැරේ එළියට බහින්නේ මේ සියල්ල එලවලා අලුත් තැනකට යන්න කියලා.

සමගි ජන බලවේගය මෙහෙයුම ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා :

රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ ආණ්ඩුව විසින් උද්ඝෝෂණ රැලි විරෝධතාවලට ත්‍රස්තවාදී ලේබලය ගහන්න උත්සාහ කළා. වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත්තාම ඔහුව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන තියෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාප ගැසට්ටුවත් පහුගිය කාලය අරගෙන ආවා. අපි දැක්කා පුනරුත්ථාපන පනතක් ගේන්න කටයුතු කළා. මේ ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය මර්දනය. රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරන්න විවිධාකාරයේ ක්‍රම උපයෝගී කරගත්තා. දරුවන්ට මෙච්චර ලෙන්ගතුකමක් දක්වන්නෙ ඒ හරහාත් මේ මර්දනය ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ඔහු මේ තුළින් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති වේද කියලා බයයි. දෙවෙනි සුනාමියක් ඇති වෙයිද කියලා දරුණු බයකින් කටයුතු කරන්නේ. මොකද ඔහු පළවෙනි සුනාමියෙන් ජනාධිපතිවරයා බවට පත් වෙච්ච කෙනෙක්.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment