ජනප‍්‍රිය වුණාට වේදිකාව මගහරින්නේ නෑ – කුසල්  මදුරංග

554

”පික් පොකට් ගහල, බෝම්බ ගහල, අංචි ඇදල ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය ගන්නවා මම මේ දැක්කමයි. ඇෙඟ් හැටියට ද ඔබේ වැඩ.’’ පාරදිගේ නාට්‍යයේ බණ්ඩා හෙවත් කුසල් මදුරංග රයිගම් ටෙලීස් උළෙලේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මාන ගත් මොහොතේ නිවේදන කටයුතු කළ හිමාලි සයුරංගි කිව්වෙ එහෙම. ඊට හේතුව ජනප‍්‍රිය නළුවා යනු මෙතුවක් කල් නළු පෙනුම මේන්ටේන් කරන නළුවකු වීමය. එය බිඳ දැමුවේ පාර දිගේ නාට්‍යයේ බණ්ඩාය. ඔහු ඒ ගැන කියන්නේ මෙවන් කතාවකි. අවංකවම මට මේ සම්මානය හිමිවන්නේ, සද්ධාමංගල සූරියබණ්ඩාර, ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් සහ චාමර සමරවික‍්‍රම මහත්වරුන් යන ඒ තුන්කට්ටුවේ උසස් නිර්මාණය නිසා. ඒ වාගේම ”පාර දිගේ” ටෙලි නාට්‍යයේ මගේ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් සියලූම දෙනා මට ඒ වෙනුවෙන් ආශිර්වාද කළා. මේ සම්මානය ඇතුලේ ඒ හැම කෙනෙක්ටම ගෞරවය හිමි වෙනවා. මෙම සම්මානය මට තනියම ළඟා කර ගන්න පුළුවන් වුණු දෙයක් නෙවෙයි. ”පාර දිගේ” කණ්ඩායමටම මම ස්තූතිවන්ත වෙනවා මට ඒ දක්වපු ආදරණීය සහයෝගයට. වසරේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය අතැතිව කුසල් එසේ කියනවා. අපි ඔහුගෙන් තවදුරටත් මෙසේ විමසුවා.

කුසල් මදුරංග ඔබ රයිගම් ටෙලි (2020-2021) සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා ජනතා සම්මානය හිමි කරගන්නට වාසනාවන්ත වුණා. මොනවගේ හැඟීමක් ද දැනෙන්නේ?

ඒ හැඟීම ඇත්තටම වචනවලට පෙරළන්න හරි අමාරුයි. අවංකවම මගේ ජීවිතේ හීන තිබිලා තියෙනවා. නමුත් ජනප‍්‍රියම නළුවා කියන සම්මානය පිළිබඳව මම බලාපොරොත්තු තියා ගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි මට ඒ දේ ලැබුණා. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. ඉතාමත්ම නිහතමානීව මම මෙම සම්මානය භාර ගන්නවා. ඇත්තටම මට හරිම සන්තෝසයි මටත් වඩා සතුටු වෙන පේ‍්‍රක්ෂක පිරිසක් මා වටා සිටීම පිළිබඳව. මං වෙනුවෙන් කෙටි පණිවිඩයක් යවල දැක්වූ ඒ ආදරණීය සහයෝගයටත් මම බොහෝම ස්තූතිවන්ත වෙනවා.

ඉතාම කෙටි කාලයක් තුළ රසික හදවත් සොරා ගැනීම ලේසි පහසු කාර්යක් නෙවෙයි. ඒ ආදරය හිමි වන්නේ ඔබේ රංගන කුසලතාවය නිසා. ඔබේ රංගන ජීවිතය ගැනත් කියමුද?

මම කලා ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය හරහා. ඉන් අනතුරුව ටෙලි නාට්‍ය තුන හතරකටම රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව චිත‍්‍රපට දෙකකටත් රංගනයෙන් දායක වුණා. එම නිර්මාණයන් ඉදිරියේදී එන්න තියෙනවා. නමුත් ”පාර දිගේ” නාට්‍යයේ ”බණ්ඩා” කියන චරිතයත් එක්ක තමයි මේ ජනප‍්‍රියතාවය මට ලැබුණේ. ඒ ගැන බොහෝම සන්තෝසයි සහ කිසිම වෙලාවක වේදිකා නාට්‍ය මඟ ඇරගන්න සූදානමක් නැහැ. වේදිකාවත් එක්ක එදා වගේම හෙටත් කුසල් ඉන්නවා.

ඉතිං කුසල් ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

රංගන ජීවිතයේ වැඩ කටයුතුවලදී ලොකුවට කාර්ය බහුල නොවී නිසියාකාරව නියලෙන්න පුළුවන් පරිසරය හදාගෙන එම නිර්මාණයන්ට මට හැකි උපරිමයෙන් අවංකව, නිහතමානීව සාධාරණයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වාගේම කියන්න ඕන මගේ ආදරණීය රසිකයින් මා කෙරෙහි තැබූ විශ්වාසය මට මගේ ඉදිරි වැඩකටයුතුවලට ලොකු ශක්තියක් වෙනවා.

  • පාරමී කෞෂිකා –
advertistmentadvertistment
advertistmentadvertistment