ජනප්‍රිය සංකල්පවලින් රට විනාශ වුණා – නීතිය හා සාමය කඩන අරගලවලට නැවත ඉඩක් නෑ

180

ජනාධිපති අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අමතා කියයි

තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බවත් ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තමා ජනාධිපති ධූරයේ සිටින තාක්, රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනප්‍රිය සංකල්පවලින් රට විනාශ වුණා - නීතිය හා සාමය කඩන අරගලවලට නැවත ඉඩක් නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සේනාධිනායක ලෙස, ඉකුත් 01දා පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සාමකාමීව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හෝ තමා විවේචනය කිරීමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති නමුත් වීදිවල කෝළහල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අද රට මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණියා. එම කරුණු පිළිබඳව මම සහ අගමැතිතුමත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුත් රට දැනුවත් කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති එකඟතාවයන් පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් පසුව ගිය බ්‍රහස්පතින්දා ඒ පිළිබඳව ආර්ථික විශේෂඥයින් දැනුවත් කිරීමටද මට අවස්ථාව ලැබුණා. අද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් මුණ ගැසෙනවා. ඒවගේම ඉදිරියේදී විශ්වවිද්‍යාල ආර්ථික විශේෂඥයන් හමුවීමටත් මම බලාපොරොත්තු වෙනවා. මෙලෙස අප්‍රේල් මැයි මාස වන විට මෙම කරුණු පිළිබඳ රටේ සියලු‍ම ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය ජූලි මාසයේදී මම ජනාධිපති ධූරය බාරගත්තෙ රට දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදීයි.ඒපිළිබඳව මම අලු‍තින් සඳහන් කළයුතු නැහැ. අවසානයේ කඩාකප්පල්කාරීන් පාර්ලිමේන්තුව අත්පත් කරගැනීමට උත්සාහ කළා. එම කඩාකප්පල්කාරි පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වුණා නම් අද රටේ පාර්ලිමේන්තු ක්‍රමයක් නැහැ. ඒ වගේම ආණ්ඩුවකුත් නැහැ. එසේ වූවා නම් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ හැකි තත්ත්වයක් නැහැ. රට තවත් අසීරුතාවට පත්වෙනවා. ඒ වගේම රට අරාජික වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. කඩාකප්පල්කාරි පිරිස්වල මෙම කටයුතු හමුවේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා පොලිසිය ගත් පියවර පිළිබද මම ඔබ සියලු‍ දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

ඔබ එදා මේ තීරණය නොගත්තා නම් අද රට මෙවැනි තත්ත්වයක පවත්වාගෙන යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රට තුළ ස්ථාවරභාවයක් තිබෙන නිසා ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට අපට හැකියාව ලැබුණා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා. ලෝකය සමග ගනුදෙනු කළ නොහැකි රටක් ලෙස අපව හඳුන්වා තිබුණා. පළමුවෙන්ම තිබුණේ ඒ තත්ත්වයෙන් රට ඉවත් කර ගැනීමයි. මේ තත්ත්වයෙන් ඉවත් වීමට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර, අපේ යෝජනා ඉදිරිපත් කළා. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කිරීමටත් අපට සිදු වුණා. 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අපි ලබාදුන් පොරොන්දු ඉටු කර නැහැ. ඒ නිසාම ඔවුන් තුළ අපි සම්බන්ධයෙන් කිසිඳු විශ්වාසයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඔවුන්ගේ මූල්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය මුණගැසීමට පෙර එකඟතාවන් පිළිබඳ අපිට සාකච්ඡා පැවැත්වීමට සිදු වුණා. අසීරු තීරණ ගැනීමට සිදු වුණා. බඩු මිල වැඩි වුණා. බදු වැඩි වුණා. බදු ගෙවන්න සිදු වුණා. උද්ධමනය ඇති වුණා. අපි හිටියේ ඉතාම අසීරු තත්වයකයි. බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තිබුණා. බදු ගෙවූ විට ණය ගෙවන ප්‍රශ්න තිබුණා. ආදායම් සීමා වනවිට දරුවන්ට කරන වියදම් අඩු කිරීමට සිදු වුණා. ඒ ප්‍රශ්න නොතිබූ කිසිවෙක් මේ ශාලාවෙ නැහැ. එය සියලු‍ දෙනාටම බලපෑවා. එහෙත් අසීරුවෙන් හෝ මෙම තීන්දු නොගත්තා නම් අද තිබෙන තත්ත්වයට රට ගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අසීරුවෙන් හෝ එම තීරණ සියල්ල ගැනීමට අපට සිදු වුණා. එම තීරණ අර ගත් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අපට මුදල් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

පළමු ඩොලර් මිලියන 262 අපිට දැන් ලැබි තිබෙනවා. මේ මුදල් නිසා මේමාසයේත් ලබන මාසයේත් ඔබේ වැටුප් ගෙවීමට අපට ආදායම් තිබෙනවා. ඒ වගේම සලාක දීමනා ප්‍රශ්නය කඩිනමින් විසඳීමට බලාපොරොත්තු වෙනවා. ගමේ ආර්ථිකය නංවාලීම වෙනුවෙන් ගොවි ජනතාවට මෙම කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට අපි කටයුතු කළා. මෙවර හොඳ වී අස්වැන්නක් ලැබී තිබෙනවා. ඒ වගේම හොඳ මිලක් ලැබෙනවා. දැන් ටිකෙන් ටික උද්ධමනය අඩු වෙනවා. දැන් අපට විදේශ බැංකු සමඟ මෙන්ම විදේශ රටවල් සමඟ නැවත ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් අපිට ණය ප්‍රශ්න තිබෙනවා. දැන් ණය සහනය පිළිබඳ, මෙම ණය කපා හරින්නේ කෙසේද කියා අපට කණ්ඩායම් 03ක් සමඟ සාකච්ඡා කිරීමට තිබෙනවා. පැරිස් සමාජයට අයත් රටවල් සමඟ මෙන්ම ඉන්දියාව හා චීනය සමග අපට සාකච්ඡා කිරීමට තිබෙනවා. චීනය අපත් සමග මෙන්ම පැරිස් සමාජය සමඟත් සාකච්ඡා කරනවා. ඒ සමඟම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමඟත් සාකච්ඡා කරනවා.

තෙවනුව අපට තිබෙන්නේ පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමටයි. අපි ගත් ණයවලින් වැඩියෙන්ම අපි ණය වී තිබෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිලදී ගත්ත ඩොලර් බැඳුම්කර සඳහායි. සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පෞද්ගලික බැඳුම්කර ණයයි. ඉතිරි ටික තිබෙන්නේ වෙනත් රටවල් අතරයි. ඒ අතර බැංකු, විශ්‍රාම අරමුදල් සහ විශාල ව්‍යාපාර තිබෙනවා, අපි ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි. අපට ණය කපා හැරීමේ පහසුකම් ලබා දෙනවාද, එම ණය කපා හැරීම සිදු කරන්නේ කෙසේද, ලබා දෙන කාලය කොපමණද, යන මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එවිට අපේ වගකීම් පිළිබඳ ස්ථීර වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

රට ගොඩනැගීම සඳහා අපි සියලු‍දෙනා එකතු වී කටයුතු කළ යුතුයි. කෙතරම් අසීරු වුවත් කෙටි කලක් තුළ මෙම තත්ත්වයෙන් ගොඩඒමට අපට හැකියාව තිබෙනවා. රටේ ස්වාධීනත්වය කියන්නේ දේශපාලන ස්වාධීනත්වය පමණක් නොවෙයි. රට ආර්ථික වශයෙන් ශක්තිමත් නැත්නම් ණය සමග අපේ නිදහස අහිමි වෙනවා. රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමටයි අපි මේ කටයුතු කරන්නේ. එසේ නම් අපි ණය ගෙවිය යුතුයි.

ඒ සමඟම තවත් ප්‍රධාන ප්‍රශ්න දෙකක් විසඳාගත යුතුයි. එකක් තමයි පසුගිය දශක එකහමාරක කාලය තුළ අපේ ආදායමට වඩා වියදම වැඩිවීම. එම කාලය තුළ අපි රුපියල්වලින් වැඩිපුර ණය ලබාගෙන තිබෙනවා. අනෙක් කරුණ අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩිවීමයි. ඒ සඳහා ඩොලර්වලින් ණය ලබාගත්තා. දැන් මේ ණය ගෙවීමට පමණක් නොවෙයි අපිට ආපසු ණය ලබා ගැනීමටත් සිදුවෙනවා. ඒත් හැමදාම මෙය කළ නොහැකියි. එසේ නම් අපේ වියදමට වඩා ආදායම වැඩි කර ගැනීමටත්, අපනයන ආදායමට වඩා ආනයන වියදම අඩු කර ගැනීමටත් කටයුතු කළ යුතුයි.

මේ කටයුතු කරන අතරම ආණ්ඩුව තුළ විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් තිබෙනවා. එක් එක් අංශවල වියදම් අපි අඩු කරනවා. අපට මුදල් නැති නිසා බොහෝ ආයතන වල නව බඳවාගැනීම් නවතා තිබෙනවා. සමහර සංස්ථා විශාල ලෙස ලාභ ලබනවා. නමුත්

ශ්‍රී ලංකා ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සඳහා වියදම් කළ මුදල් අපි එම කාලය තුළදී සෞඛ්‍යයට, අධ්‍යාපනයට හා නිවාසවලට, වෙන්කළ මුදලට වඩා වැඩියි. එම නිසා සම්පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වෙනවා. අපි අනාගතය පිළිබඳ සිතිය යුතුයි. අපි ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ කිසිවෙක් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නැහැ. බොහෝ දෙනෙක් අහනවා ඇයි ආරක්ෂක වියදම් අඩු කරන්නේ නැත්තෙ කියලා. අපි මේ වසරේ එම අඩු කිරීම් සිදු කළා. 2027-2028 වන විට ආරක්ෂක අමාත්‍යංශයේ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සංඛ්‍යාව බොහෝ දුරට අඩුවෙනවා. එය අප ගත් පියවරක් නොවෙයි තමන්ගේ සේවා කාලයෙන් විශ්‍රාම ලැබුවාට පසුව ඇති වන අඩුවීමක්. ඒ නිසා දැනට වියදම වැඩි වුණත්, එම කාලය වන විට වියදම අඩු වෙයි. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසියේ දැනට සිටින සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමට සිදුව තිබෙනවා.

එක කාලයක අපි ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. 1977 අපි බලයට එන විට ත්‍රස්තවාදය තිබුණේ නැහැ. දැන් ත්‍රස්තවාදය අවසන් කර තිබෙනවා. ත්‍රස්තවාදය අවසන් වූවායින් පසුව, දේශපාලන තීන්දු ගනිමින් විවිධ ජනකොටස් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුව තිබෙනවා. දැන් ලෝක බලවතුන් අතර තරගය නැවත ආරම්භ වී තිබෙනවා. එහි බලපෑම මෙවර එල්ල වී තිබෙන්නේ ඉන්දියන් සාගරය දෙසටයි. ෆැසිපික් සාගරය තුළ එය දැනටමත් තිබෙනවා. මම උත්සාහ කරන්නේ ඉන්දියන් සාගරයේ එම තරගයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමටයි. මෙලෙස අපි සැලසුම් සහගතවයි අනාගතයට මුහුණ දිය යුත්තේ. ඒ සඳහා නව සැලසුම් සකස් කළ යුතුයි.

අනාගතයේදී සාගරය මැද කුමක් සිදු වේද කියා දන්නේ නැහැ. ගුවනේ කුමක් සිදුවේද කියා අප දන්නේ නැහැ. අපේ ගොඩබිම හමුදාව හදිසියේ ලෝකයේ වෙන තැනකට යැවීමට සිදුවේද කියා දන්නේ නැහැ. ඒ නිසා අපේ ත්‍රිවිධ හමුදාව ඒ වෙනුවෙන් සකස් කරන්න“ඩිෆෙන්ස් 2030” වැඩසටහන අපි ආරම්භ කරනවා. විශාලතම පාබල හමුදාවක් අපට සිටිනවා. ස්වංක්‍රීයව යොදවන උපකරණ තිබෙනවා. ඩ්‍රොන තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ දැනුමෙන් අපේ ආරක්ෂක හමුදාවන් සන්නද්ධ විය යුතුයි. අලු‍තින් කුමක් සිදුවේද කියා අපට සිතිය නොහැකියි. නමුත් අනාගතයේ ඇතිවිය හැකි අභියෝගවලට මුහුණදීමට අප සූදානම් විය යුතුයි. ඒ සඳහා අපි විශේෂ පියවර කිහිපයක් ගන්නවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවත් ශක්තිමත් විය යුතුයි. ත්‍රස්තවාදය වගේම අසීරු ප්‍රශ්න අපට තිබෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය ප්‍රශ්නය. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සහ දැඩි නීති ගෙන ඒමට ටිරාන් අලස් ඇමැතිවරයාටත්, විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාටත් පවරා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිඳු සමාවක් දිය නොහැකියි. මත්ද්‍රව්‍ය පාලනයට පොලිසිය විතරක් නොවෙයි ත්‍රිවිධ හමුදාවත් යොදවනවා. අපේ දරු පරපුර මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම අපිට හැමදාම හිඟමනේ යා නොහැකියි. එසේනම් අපි තායිලන්ත, සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවල පවතින දියුණු ආර්ථිකයකට යා යුතුයි. තරගකාරී ආර්ථිකයක් ඇති කළ යුතුයි. අපිට විශාල වෙළෙඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් ඉන්දියාව, අනෙක නැගෙනහිර ආසියාවයි, ඕස්ට්‍රලියාවයි. මේ දෙකටම අපි ඇතුල් වූ විට ඒමට්ටමෙන් තරග කිරීමට අපිට සිදු වෙනවා. ඒ වගේම හරිත ආර්ථිකයක් ඇති කිරීමට අවස්ථාව ලැබෙනවා. හරිත බලශක්තියට එයින් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රීන් හයිඩ්‍රජන් හොයාගන්න පුළුවන්. ඇතැම් අය කියනවා මෙගා වොට් 20 හොයන්න පුලු‍වන් කියලා. සමහරු කියනවා මෙගාවොට් 40ක් තිබෙනවා කියලා. අපි එය සොයා බැලිය යුතුයි.

ඒ වගේම ඩිජිටල්කරණයෙන් ආර්ථිකය වෙනස් කළ හැකියි. විශේෂයෙන්ම එය පටන් ගත යුත්තේ රාජ්‍ය ආයතන තුළින්. නාවික ගමනා ගමනයේදී මෙන්ම අහස් යාත්‍රාගමනාගමනය නිසා අපි කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලයි තිබෙන්නෙ. ඒ නිසා ශ්‍රී ලංකාව කලාපිය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා අපි අලු‍තින් සිතිය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණය අවශ්‍යයි.

මේවා සිහින නොවෙයි. අපි මේවා ක්‍රියාත්මක නොකළොත් ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කළයුතුයි. ධීවර කර්මාන්තය නවීකරණය කළයුතුව තිබෙනවා. එම නිසා අපි නවීන තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. අපේ සංචාරක කර්මාන්තය දියුණු කර පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කර ගන්නා අතරේ දිනකට ඩොලර් පන්සීයක් වත් වියදම් කරන සංචාරකයන් බහුල පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම්. කෘෂිකර්මාන්තයේ නවීකරණය කියන්නේ ගමට ගොස් කෘෂිකර්මන්තය සඳහා අවශ්‍ය එම නවීන දැනුම ලබා දීමයි. හමුදාවේ සහ පොලිසියේ අයත් එම දැනුම ලබා ගත යුතුයි. දෙන්නෙක්, තුන්දෙනෙක් එම දැනුම ලබා ගත් විට එය අනෙක් අය අතර ව්‍යාප්ත වෙනවා. මෙතන ඉන්න ත්‍රිවිධ හමුදාවෙ අයට සේවයේ සිටියදී මෙන්ම, සේවයෙන් විශ්‍රාම ගිය විටත් එම දැනුම ලබාගත හැකිය. මෙම සැලසුම්වල වාසිය ලැබෙන්නේ රටේ අනාගතපරපුරටයි.

මම ඉන්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවෙයි. අප ජනප්‍රිය දේ කරන්න ගිහින්, පෞද්ගලික සංකල්පය ඉදිරිපත් කරන්න ගිහින්, මේ රට විනාශ වුණා. දැන් හරි දේ කරමු. ඒකයි මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තුවෙන් විමසුවේ. මොකද මන්ත්‍රීවරුන්ට හරි දේ කරන්න පුළුවන්ද කියලා බලන්නයි. හරි දේ කියන්නේ රට වෙනුවෙන් සහයෝගය දීමයි. මම ජනාධිපතිවරයා ලෙස සිටින තාක් රටේ නීතිය හා සාමය නැවත කඩකිරීමට ඉඩ දෙන්නෙ නැහැ. ඕනෑම අයෙකුට සාමකාමීව තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන්. අවසර අරගෙන රැස්වීමක් පවත්වා ඕන තරම් මට බනින්න. නමුත් පාරට බැහැලා කෝලාහල කරන්න ඉඩ දෙන්න බැහැ. අප සියලු‍ දෙනා හරි දේ කරන්න කැපවී වැඩ කරනවා නම් රටේ ආර්ථිකය සංවර්ධනය වන බවට කිසිම සැකයක් නැහැ. ඒ සඳහා දායක වන ලෙස මම ඔබ සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වෙනි සේනාංකාධිපති මේජර් ජනරාල් දිලිස් නානායක්කාර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර කඳවුරේ අණදෙන නිලධාරි ගෘප් කැප්ටන් ප්‍රියමාල් ප්‍රනාන්දු යනමහත්වරුන්ද කතා කළහ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්ද, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සෙසු නිලයන් 1200ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුර විශේෂ-පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment