ජනප්‍රිය සංස්කෘතිය රසවත් මෙවලමක් ලෙස….

1267

විශ්ව විද්‍යාල මට්ටමේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා සංස්ථාපනය කොට වසර සියයක් ගතවීම නිමිති කොටගෙන නොබෝදා විශේෂ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් කොළඹ පැවැත්විණ. එහි මුඛ්‍ය දේශකයා වූයේ මහාචාර්ය විමල් දිසානායක මහතාය. ඔහු ගේ දේශනයෙහි මාතෘකාව වූයේ, ‘සංස්කෘතික අධ්‍යයනය මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා හමුවීම’ යන්නයි.

අපි සංස්කෘතික අධ්‍යයනය යන යෙදුම Cultural Studies යන ඉංග්‍රීසි යෙදුම සඳහා භාවිත කරමු. සංස්කෘතික අධ්‍යයන යනුවෙන් බහුවචනයෙන් ද දැක්විය හැකිය.

ඉන්දියාවේ භාවිත කරනු ලබන්නේ සංස්කෘතික අධ්‍යයන යන යෙදුමයි. මෙය නව විෂයකි. මෙය ශික්ෂණාන්තර ගවේෂණ මාර්ගයක් ලෙස හඳුන්වා දිය හැකිය. සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දර්ශනය, ඉතිහාසය, සාහිත්‍යය, සන්නිවේදන විද්‍යාව වැනි විවිධ විෂයයන් එක් වීමෙන් සංස්කෘතික අධ්‍යයනය බිහි වී ඇත.

මෙම අධ්‍යයනය වර්තමාන සමාජය හා වර්තමාන සංස්කෘතිය මුල් කොට ගෙන බිහිවූවකි. මානව විද්‍යාව බොහෝ දුරට ගැමි සමාජ විශ්ලේෂණය සඳහා යොමු වී ඇති අතර, සංස්කෘතික අධ්‍යයනය නූතන කාර්මික සමාජ විවරණය කිරීම සඳහා අභිලාෂයක් දක්වයි. සංස්කෘතික අධ්‍යයනය ජනප්‍රිය සංස්කෘතිය ගවේෂණය කිරීම සඳහා මහත් අභිරුචියක් දක්වයි. මෑතක් වනතුරු ජනප්‍රිය සංස්කෘතිය බොහෝ මානව ශාස්ත්‍රවේදීන්ගේ හා සමාජ විද්‍යාඥයින්ගේ අවධානයට ලක් නොවීය. එහෙත් සංස්කෘතික අධ්‍යයනයෙහි පැතිර යෑමත් සමග මෙම තත්ත්වය වෙනස් විය.

මෙම නව ගවේෂණ මාර්ගයෙහි එක් විශේෂ ලක්ෂණයක් දේශපාලන චින්තනය කෙරෙහි එක් විශේෂ සැලකිල්ලක් යොමු කිරීමයි. මෙහි දේශපාලන චින්තනය යනුවෙන් අප අදහස් කරන්නේ පක්‍ෂ දේශපාලනය නොවේ. සමාජයෙහි බලය පැතිර ඇති ආකාරයයි. සංස්කෘතික අධ්‍යයනවේදීහූ එදිනෙදා ජීවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරති. දෛනික ජීවිතය තුළින් මානව අර්ථ මතුකොට දැක්වීම ඔවුන්ගේ අභිමතාර්ථයයි.

ජනප්‍රිය සංස්කෘතිය රසවත් මෙවලමක් ලෙස....

සංස්කෘතික අධ්‍යයනය විවෘතාන්තික විෂයකි. මෙහි අරුත නම් එය කාලානුරූපව වර්ධනය වන බවයි. මෙම විෂය අගය කරන චින්තකයෝ සමාජයෙහි කේන්ද්‍රයෙහි සිට නොව පරිධියෙහි සිට සිය විශ්ලේෂණ ගෙන හැර පෑමට උත්සුක වෙති. ඔවුහු සිද්ධාන්ත හා පරිචය අතර අවියෝජනීය සම්බන්ධයක් මතු කොට දක්වති.

සංස්කෘතික අධ්‍යයනය හා සම්බන්ධ විවිධ ගුරුකුල තිබේ. මේවා අතුරින් ප්‍රධාන ගුරුකුලය වර්ෂ 1964 දී එංගලන්තයේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයෙහි ආරම්භ කරන ලද පාඨමාලායි. මෙම ගුරුකුලයෙහි චින්තනය පසුව ඇමෙරිකාව, කැනඩාව, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මෙන්ම ආසියාවේදී ව්‍යාප්ත විය.

සංස්කෘතික අධ්‍යයනයෙහි තවත් විශේෂ ලක්ෂණයක් නම් එය සංඥනනයට මෙන්ම වින්දනයට ද එක හා සමාන අවධානයක් යොමු කිරීමයි. ජනප්‍රිය සංස්කෘතිය කෙරෙහි විශාල ඇල්මක් දක්වන සංස්කෘතික අධ්‍යයනවේදීන් චින්තකයන් වින්දනයට එක හා සමාන කැමැත්තක් පළ කිරීම පුදුමයට කරුණක් නොවේ.

සංස්කෘතික අධ්‍යයනය පෙර අපර දෙදිග රටවල බෙහෙවින් ජනප්‍රිය ගවේෂණ මාර්ගයක් බවට පත්ව ඇත. මෙතෙකුද වුවත් එය යම් යම් ඌනතාවයන්ගෙන් තොර වූවක් නොවේ. විවිධ විෂයන් රැසක් එක්තැන් කිරීමෙන් මෙම අධ්‍යයන පථය සකස්ව ඇති හෙයින් එහි චින්තනය විසිරී ඇත. පැහැදිලි යොමුවක් ඇතැම් විට නොමැත.

ඇතැම් සංස්කෘතික අධ්‍යයනාත්මක ලිපිලේඛනවලින් නොගැඹුරු බවක් පළ වේ. තවත් ඌනතාවක් නම් අනවශ්‍ය ලෙස යුරෝපා කේන්ද්‍රීය වීමයි. සංස්කෘතික අධ්‍යයනය හා සම්බන්ධ රේමන්ඩ් විලියම්ස්, රිචඩ් හෝගාර්ස්ට්, ස්ටුවර්ට් ගෝල්, රෝලන්ඩ් බාත්, මිචෙල් ෆූකෝ වැනි විද්වතුන් යුරෝපීය සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වූ බවක් නොපෙනේ.

සංස්කෘතික අධ්‍යයනයෙහි යම් යම් ඌනතාවන් ඇතත්, සමස්ත වශයෙන් සලකන විට එය අර්ථවත් ඵලදායී ගවේෂණ මාර්ගයකි. එය ශ්‍රී ලාංකික අපගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි දේශීයකරණයකට යොමු කිරීම අප සතු යුතුකමකි. සංස්කෘතික අධ්‍යයනය බටහිර සම්භවය ලද බටහිර සිතුම් මඟකි. එහෙත් එය පෙරදිග රටවල ද පැතිර යමින් පවතී. විශේෂයෙන්ම ඉන්දියානු පර්යේෂකයන්ගේ හා විද්වතුන්ගේ පරිශ්‍රමවලින් අපට මහත් ආදර්ශයක් ලැබිය හැකිය. මෙහිදී ආශිස් නන්දි අර්ජුන අප්පදුරෙයි, පාර්තා චැටර්ජි, ගයත්‍රි චක්‍රවර්ති, විනාදාස්, ගෝමි භාභා වැනි පර්යේෂකයන් ගේ නම් විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙමු. ඔවුහු සිය පරිශ්‍රම සංස්කෘතික අධ්‍යයන වශයෙන් නොහඳුන්වති. එහෙත් එම පරිශ්‍රමයන්ගෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන අයට විශාල ප්‍රයෝජනයක් අත්පත් කොට ගත හැකිය.

මහාචාර්ය විමල් දිසානායක මහතා International Cultural Studies යනුවෙන් ලන්ඩනයෙහි බ්ලැක්වෙල් ප්‍රකාශන ආයතනය පළ කළ ශාස්ත්‍රීය ග්‍රන්ථයෙහි සංස්කාරකවරයෙක් විය. සංස්කෘතික අධ්‍යයනය ජාත්‍යන්තර ගවේෂණයක් බවට පත්කිරීමේ වැදගත්කම එම ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත.

සංස්කෘතික අධ්‍යයනය වැදගත් ගවේෂණ මාර්ගයකි. එය අපගේ අවශ්‍යතාවන්ට හා අභිමතාර්ථයන්ට සරිලන පරිදි සකස් කර ගැනීම අප සතු යුතුකමකි. ඊට අනුබල දෙන පර්යේෂණ මාතෘකා කිහිපයක් නම් කරනු කැමැත්තෙමු. වෙස්සන්තර කතාව අපගේ සංස්කෘතික ස්මෘතියෙහි ප්‍රධාන ස්ථානයක් හිමිකොට ගෙන ඇත. එය චිරන්තන පරම සම්භාව්‍ය කෘතිවල අන්තර්ගතව ඇත. එය ජන සාහිත්‍යයෙහි හමුවේ. ජෝන් ද සිල්වා එම කතා පුවත ඇසුරින් නාට්‍යයක් රචනා කළේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ අතින් මෙම කතා පුවත අගනා නාට්‍යයකට පරිවර්තනය විය. නූතන කවීහු මෙම පුවත කවියට නඟා ඇත්තාහ. වෙස්සන්තර කතා ප්‍රවෘත්තිය ඇසුරින් ජනප්‍රිය සිංහල චිත්‍රපටියක් බිහිවිය. මෙම ආඛ්‍යානය ගුවන් විදුලි ගීතවලට මුල් වී ඇත. මේ ආකාරයට එකම කථා ප්‍රවෘත්තිය විවිධ ප්‍රවර්ග තුළින් විවිධාකාරයට මතු වී තිබේ. මෙම සංස්කෘතික සාකච්ඡා ගැඹුරු ලෙස විමර්ශණය කිරීම සිංහල සංස්කෘතික අධ්‍යයනවේදීන් සතු කාර්ය භාරයකි.

අපි තවත් මාතෘකාවක් ගෙන බලමු. ජාතිකත්වය හා ප්‍රචණ්ඩත්වය අතර ඇත්තේ සංකීර්ණ සම්බන්ධයකි. බෙනඩික් ඇන්ඩර්සන්, අර්නසට් ගෙල්නර්, ඇන්තනී ගීඩන්ස් වැනි චින්තකයෝ ජාතිකත්වය නවීනත්වය නමැති ප්‍රපංචය ඇසුරින් විවරණය කළහ.

ගුණදාස අමරසේකර මහතා එය සභ්‍යත්ව රාජ්‍යයක් යන සංකල්පය ඇසුරෙන් විවරණය කළේය. මේ විවිධ අර්ථකථන සාවධානව විශ්ලේෂණය කොට ජාතිකත්වය හා ප්‍රචණ්ඩත්වය අතර පවත්නා සම්බන්ධය අර්ථවත් ලෙස විශ්ලේෂණය කළ හැකිය. මේ සඳහා සංස්කෘතික අධ්‍යනයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.

සංස්කෘතික අධ්‍යයනවේදීන් ජනප්‍රිය සංස්කෘතිකය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව අපි මීට ඉහත දී පැවසුවෙමු. මෙම විවිධ කෝණවලින් අපට විග්‍රහ කළ හැකිය. උදාහරණ වශයෙන් සුනිල් පෙරේරා සූරීන්ගේ ජනප්‍රිය ගීත දෙකක් සලකා බලමු.

පළමුවැන්න ‘එරන්දතිය එනවා’ ගීතයයි.

අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරළස මල් ගවසාලා
නාග ලොවින් බැස නාළිය ගමනින්
වරඟන පිරිවරිනා – එරන්දතිය එනවා

සිතක උපන් දොල සංසිඳුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
හිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා

කෝමළ ගමනින් කෝළ හැඟුම් හල
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා

අනෝතත්ත විල …

නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙළාලා
පාද කිංකිණී සොළවා
එරන්දතිය එනවා

අනෝතත්ත විල …

මෙය අතිශයින් ජනප්‍රිය ගීතයකි. මෙම ගීතය රචනා කරන විට සුනිල් සරත් පෙරේරාගේ එක් අභිප්‍රායක් වී ඇත්තේ ජනප්‍රිය සංස්කෘතියක්, විදග්ධ සංස්කෘතියක් ඒකාබද්ධ කිරීමය. විදුර ජාතකයෙහි ඇතුළත් වින්දන පරිසරයට ගීතය සම්බන්ධ කිරීමයි.

මෙම ගීතයෙහි ඇතුළත් අලංකරණ විධි සාම්ප්‍රදායික සම්භාව්‍ය සිංහල සාහිත්‍යය සිහියට නඟයි. එරන්දතිය එනවා ගීයෙන් සංකීර්ණ වූත් ගැඹුරු වූත් රසයක් උද්ගමනය වේ. යථෝක්ත සංස්කෘතික සම්මිශ්‍රණය මෙයට මග පාදයි.

එරන්දතිය එනවා ගීතය නාරි රූප ස්වභාවය අතිශෝක්තියෙන් වර්ණනා කර කිසියම් ශෛලිගත ස්වභාවයක් ද ආරූඪ කෙරෙයි. සැඟවුණු ප්‍රේමයක් මෙයින් මතු කෙරෙයි. කාව්‍යෝක්තිවල සැඟවුණු ශෘංගාරයක් ගැබ්ව පවතී.

මෙය අපූරු ප්‍රේම ගීතයක් බව මහාචාර්ය සිරි ගුනසිංහ ස්වාධීන රූපවාහිනිය හා ලක්හඬ එක්ව පැවැත්වූ බොහෝ විද්වතුන් හා සංගීතඥයන් සහභාගීවූ මණ්ඩපයක දී පැවැසීය. (පන්හිඳක ගී අසිරිය වැඩසටහනේදී)

අනගි ප්‍රේමගීතයක් බව සිරි ගුනසිංහයන් හුවා දක්වන අතර, මහාචාර්ය විමල් දිසානායකයන් විවරණය කරන්නේ ප්‍රේම ගීතයක් මෙන්ම මෙමගින් මතු කරන්නේ විදග්ධ ශෘංගාරයක් බවය.

එරන්දතිය එනවා ගීතය අරන්ගේත්‍රම් නැතුවම බැරි ගීතයක් බවට මෙරට නර්තන ශීල්පීන් අතර මෙන්ම දුරුරට ජනයා අතර ද පැතිර පවතී. දිනේෂ් ඈපාසිංහයන්ගේ “අභිනා රංගායතනය” ඔස්ටේ්‍රලියාවේ ඉදිරිපත් කළ එරන්දතී නර්තනය, කුලසිරි බුදවත්ත රංගායතනයේ එරන්දති රංගනය මෙන්ම චන්න විජේවර්ධනයන්ගේ එරන්දතී ගීතානුරූපී රංගනය ද නර්තනමය රූපකාව්‍යයන් බඳුය.

ඔස්ටේ්‍රලියාවේ ලාට්රෝබ් (Latrobe) විශ්වවිද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් සැමරු උත්සවවලදී එරට ද්‍රවිඩ අංශයෙන් ඉදිරිපත් කළ අංගය විය. ඔස්ටේ්‍රලියාවේ දීර්ඝ කාලයක් පදිංචිව සිටින උපා උපදාස් මහතා දක්වන්නේ මෙම ගීතය හා රංගනය ජාතීන් අතර දැමූ මිත්‍රත්වයේ සේතුවක් ලෙසය.

අපි තවත් ගීතයක් ගෙන බලමු. මෙය ‘ගඟ දිය රැලි නලවා’ යන්නයි.

ගඟ දිය රැලි නලවා
පාරුව පැද යනවා
තොටමුණ දැලේ
පළගැටියන්ගේ
මළ පොත කියවෙනවා

නාඬන් උලලේනි නුඹ නාඬන්
දුක බිය වැඩිවෙනවා
උණ වැටි හෙවණේ
ලියගොමු අතරේ
ගඟ දිය බැස යනවා
සඳ අඩ නින්දෙන්
අවදිව රහසේ
ගනදුර බිඳලනවා
නින්දේ මුදුනට ඔබ
දිව ඇවිදින්
සිහින සිනා දෙනවා
ඇල්ගෙවිලිය ගී සීපදරාවය
ඈතින් මතුවෙනවා
මිටියාවතකින් මිටියාවතකට
සතුට සොයා එනවා
මේ යන ගමනේ
බාධක ගල්පර
කොතෙකුත් හමුවෙනවා

මෙම ගීතයෙහි ද ජනප්‍රිය සංස්කෘතිය හා විදග්ධ සංස්කෘතිය ඒකාබද්ධ කිරීමට ගීත රචකයා පරිශ්‍රමයක් දරා ඇත. මෙහි දී ඔහුගේ නිර්මාණාක්ෂීය යොමු වී ඇත්තේ පුරාතන චීන කවි කෙරෙහිය. ගඟ දිය – පාරුව – ලිය ගොමු – සඳ මඬල වැනි පැරණි චීන කවියන් බහුල ලෙස උපයෝගී කොටගත් කාව්‍ය වස්තු සුනිල් සරත් පෙරේරා ද අධ්‍යයනය කොට ගෙන ඇත. මේ අනුව බලන විට සංස්කෘතික අධ්‍යයනය අපගේ කලා පරිශ්‍රමයෙන් විමර්ශනය කිරීමට උචිත ගවේෂණ පථයකට විවෘත කරන බව පෙනේ.

මහාචාර්ය සී. ජේ. එලියසර් ප්‍රමුඛ ද්‍රවිඩ අංශයෙන් මෙය ඉදිරිපත් කළ අතර, එලියසර් මහාචාර්යවරයාගේ බිරිඳ වූ ‘රානි’ එලියසර් මහත්මිය මෙය ඉතා කැපවීමෙන් සංවිධානය කළ බවක් ද උපා උපදාස් මහතා පෙන්වා දෙයි. මහාචාර්ය එලියසර් පෙර දවස කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත මහාචාර්යවරයා වශයෙන් කටයුතු කර තිබේ.

විමල් දිසානායක මහතා මෙහි දී සඳහන් කරන මර්වින් පෙරේරා ගයන (උපාලි ද සිල්වාගේ තනුව අනුව) ගඟ දිය රැලි නලවා ගීතය ලිවීමේ දී වින්දන මූලය බවට පත්වූයේ මහාචාර්ය විමල් දිසානායක මහතා පරිවර්තනය කළ පැරණි චීන ජන කවි කෘතියයි.

චීන කවියෙන් ලද වින්දනය තවදුරටත් තීව්‍ර කිරීමට එදවස චීන සංචාරයේ දී මට මග පෙන්වූ යුවතියගේ පෙම්වතා සමත් විය. චීන මහා ප්‍රාකාරය ඔස්සේ ඇවිද ගිය ගමනේ දී තම පෙම්වතිය දෙස හොරැහින් බලමින් ඔහු චීන කවි රිද්මයකට කියවීම, චීන කවියේ රසහව් මතු කරන්නක් විය.

දැනට ප්‍රාථමික මට්ටමක පවතින සිංහල ගීත විචාර කලාව පෝෂණය කිරීමට සංස්කෘතික අධ්‍යයනයෙන් අගනා දොරටුවක් විවෘත වේ.

ජනප්‍රිය සංස්කෘතිය රසවත් මෙවලමක් ලෙස....
advertistmentadvertistment
advertistmentadvertistment