ජනමතයට පටහැනි ආණ්ඩුවක ඇමැති ධුර අපට එපා – සජිත් ජනපතිට ලියයි

154

ජනමතයට පටහැනිව පිහිටුවන අමාත්‍ය මණ්ඩලයකට සමගි ජනබලවේගය විසින් කිසිදු සාමාජිකයකු යෝජනා නොකරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

විපක්‍ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙහි මෙසේ ද සඳහන් කර ඇත.

ඔබතුමා මා හට අගමැති ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කරන විට මා එම ධුරය භාර ගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ නොකළ බවත්, ඔබගේ ආරාධනය පිළිබඳව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර තීරණය ඔබට දැනුම් දෙන බව පමණක් ප්‍රකාශ කළ බවත් ආරම්භයේදීම ඔබට මතක් කිරීමට කැමැත්තෙමි.

යම් යම් කොන්දේසිවලට යටත්ව මා අගමැති ධුරය භාරගත යුතු බවට සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් එකඟ වීම නිසාත්, එම කොන්දේසිවලට යටත්ව අගමැති ධුරය භාර ගැනීමට මා කැමැත්තෙන් සිටි නිසාත් මා නියෝජනය කරන නියෝජිත පිරිසක් ඔබ හමුවී මේ බව පැහැදිලි කරන ලදී.

ඉන් පසුව, රැස්වීමේදී අවසන් එකඟතාවකට නොපැමිණි බැවින්, ඔබ සහ මා නියෝජනය කරන නියෝජිතයන් අතර සාකච්ඡා දිගටම කරගෙන යෑමට එකඟ විය. දෙපාර්ශ්වය අතර සන්නිවේදනයන් කිහිපයක් සිදු වූ අතර, මා වෙනුවෙන් යම් යම් යෝජනා ද ඔබේ නියෝජිතයා වෙත යවන ලදී. එබැවින් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට මා කැමති බව මා මුල් වරට දැනුම් දුන්නේ 2022 මැයි 12 වැනි දින බවට ඔබ විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදිය.

නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් සංවරණ සහ තුලන නැවත ගෙන ඒම, ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්ව අගමැති ධුරය භාර ගැනීමට මා සූදානම් බව මම තරයේ අවධාරණය කළෙමි. මා අගමැති ලෙස පත්කිරීමෙන් පසු ඔබ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ද මගේ කොන්දේසිවලට ඇතුළත් විය. මෙලෙස ඉල්ලීමට ප්‍රබල හේතුවක් වූයේ ඔබ ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට රට පුරා ගොඩනැගී ඇති පොදු ජනමතයයි. ජනතා කැමැත්තට පටහැනිව ඔබ දින නියමයක් නොමැතිව ධුරයේ රැඳී සිටීමට සලසන වෙනත් වැඩපිළිවෙළකට එළැඹීම ජනතා පරමාධිපත්‍යයට පහර දීමක් බව සමගි ජනබලවේගයේ සහ මගේ අදහස විය. 2022 මැයි 12 වැනි දින මගේ ලිපියෙන් පෙර කී කොන්දේසි සහ ඔබ ධුරය අත්හැරිය යුත්තේ එකඟ විය හැකි සාධාරණ කාලසීමාවක් ඇතුළත බව ද යෝජනා කරන ලදී. ජනමතයට පටහැනිව ඔබ විසින් දැනට පිහිටුවීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජනබලවේගය විසින් කිසිදු සාමාජිකයකු යෝජනා නොකරන බව දන්වා සිටිමි.

කෙසේ වෙතත්, 2022 මැයි 12 වැනි දින මගේ ලිපියේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව, මා විසින් පිහිටුවන ආණ්ඩුවක අගමැති ලෙස ජනතාවට සේවය කිරීමට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිමි.

advertistmentadvertistment
advertistmentadvertistment