ජනමතය එක්ක ගේම් ගහන්න එපා – රනිල්ටත් ආණ්ඩුවටත් අවධාරණය කරනවා

100

ජවිපෙ නායක අනුර දිසානායක

ජන මතය එක්ක ගේම් ගහන්න එපා කියලා රනිල්ටත් ආණ්ඩුවටත් අවධාරණය කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත් 30 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීවේය.

පළාත් පාලන අලු‍ත් ආයතන 2022 මාර්තු 20 වන විට පිහිටුවිය යුතුව තිබුණා. නමුත් ඇමැතිවරයාට පැවරී තිබෙන බලතල උපයෝගී කරගෙන ආයතනවල කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කළා. මේ පවතින පළාත් පාලන ආයතනවල වලංගු කාලය අවුරුදු 04ක් වුණත් දැන් අවුරුදු 05ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ නිසා ජනතාවට තමන්ගේ නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට පත්කර ගැනීමේ අවස්ථාව නොදී කල් දාන්න විවිධ උපක්‍රම ආණ්ඩුවෙන් අනුගමනය කරමින් සිටිනවා. පවතින ආණ්ඩුව බලයට පත්වුණේ අගමැති ධුරයට මහින්ද රාජපක්‍ෂ පත්කරනවා කියන සටන් පාඨය එක්ක. නමුත් ජනතාව අගමැති ධුරයෙන් මහින්ද රාජපක්‍ෂ පලවා හැරියා. ඒනිසා එදා ජනවරම මේ පාර්ලිමේන්තුවෙන් නියෝජනය කරන්නේ නැහැ.

ඒවගේම ගෝඨාභය රාජපක්‍ෂට 2019 ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ පලවා හරින්න. ඒ නිසා මේ ජනාධිපතිවරයාටත් ජනවරමක් නැහැ. රනිල් පලවා හරින්න පාවිච්චි කළ ඡන්දයෙන් දැන් ඔහුම ජනාධිපති වී ඉන්නවා. මේ තත්වය මැතිවරණයකින් එළියට එන එක වළක්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් කවර හෝ මැතිවරණයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරයාට ඔහු පිළිබඳව තක්සේරුවත් පොහොට්ටුවට තිබෙන තක්සේරුවත් ජනතාව විසින්ම පෙන්වා දෙනවා. එවැනි තත්වයක් තුළ එතැන් සිට ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ. ජනවරමක් නැති බව පැහැදිලිවම සනාථ වෙනවා. ඒ ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම සූක්‍ෂමව ක්‍රියාත්මක කරමින් සිටිනවා. අන්තිම දිනය දක්වා රනිල්ටත් ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීමට අදාළ ඕනෑම කුමන්ත්‍රණයක් දියත් කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. කොමිසමට පත්වීමට පෙර කුමන දේශපාලන ව්‍යාපාරවල සිටියත් ඊට පත්වුණු පසුව ස්වාධීනව කටයුතු කළ යුතුව තිබුණා. සැප්තැම්බර් 20 සිට ජනවාරි 09 දක්වා කාලය තුළ ඕනෑම දිනයකදී මැතිවරණය ප්‍රකාශයට පත්කළ හැකි වුවත් එය අන්තිම මොහොත දක්වාම ඇදගෙන ගියා. සීමා නිර්ණය, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි විවිධ නීතිමය උපක්‍රම මැතිවරණය කල් දමා ගැනීමට යොදාගන්න උත්සාහ කළා. ඒ තුළින් කොමිසම බිත්තියට හේත්තු වීම දක්වා ඇවිත් තිබෙනවා. නැවත කල් දැමීමක් කරන්න බැහැ. නමුත් නාම යෝජනා බාරගෙන ඡන්දය කල් දැමීමේ උත්සාහයක් ගැන නැවත කසුකුසුවක් යනවා. ජනතාවගේ ජනමතය එක්ක විවිධාකාරයේ ගේම්, සූදු, සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩුවටත් අපි අවධාරණය කරනවා. මේ ඉන්නේ පාර්ලිමේන්තුවටවත් එන්න බැරිව පලවා හැරි නායකයෙක්; රාජපක්‍ෂලාගේ පාර්ලිමේන්තුවේ 134කගේ කැමැත්තෙන් රාජපක්‍ෂලාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පත්කරගත් නායකයෙක්. ජනතාවගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව අහුරන්න මෙවැනි නායකයෙකුට අපි

කිසි සේත්ම ඉඩ නොදෙන බව සහතික කරනවා.

ආණ්ඩුව ඡන්දයට බිලියන 10ක් නැති බව කීම පිළිගන්න පුළුවන්ද? අනික් පැත්තෙන් සල්ලි තිබෙනවාද, නැද්ද කියන එක මහජන නියෝජිතයන්වත් නොවන අකිල විරාජ්ටවත් රංගේ බණ්ඩාරටවත් අදාළ නැහැ. මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන්නේ මැතිවරණ වියදම් ඇතුළත්ව තම දෙපාර්තමේන්තුවට අයවැයෙන් ඊට අදාළ මුදල් වෙන්කරන ලෙස ඉල්ලා ඇති බවයි. රජයේ මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව මුදල් වෙන්කර තිබියෙදී නැති බවට කෙකර ගෑම පරාජය කළ යුතුයි. අනික් පැත්තෙන් ඡන්දයක් පැවැත්වුවහොත් ආර්ථිකයේ ඇතිවී තිබෙන සුබදායී තත්වය වෙනස් විය හැකි බව කියනවා. එවැනි සුබදායිකමක් ආර්ථිකයේ තිබෙනවාද? ජනවාරි මාසය ආරම්භයේදීම ලයිට් බිල වැඩිකිරීම, අලු‍තින් උපයන විට බද්ද ගැසීම, සියලු‍ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම සුබදායී තත්වයක් පෙන්නුම් කරන සාධක නොවෙයි. කඩා වට්ටපු ආර්ථිකයක් ගොඩගෙන තිබෙන්නේ ජනතාවගේ වරම සහිත පාලනයක් පමණයි. කඩා වට්ටපු අය කවදාවත් ආර්ථිකයක්

ගොඩගෙන නැහැ. විවිධ කරුණු කියමින්, කුමන්ත්‍රණ කරමින් ඡන්දය කල් දැමීට ගෙනයන සියලු‍ ප්‍රයත්න පරාජය කළ යුතුයි. මේ රටේ ජනතාවගේ ජනවරම, ජන මතය එක්ක සූදු කෙළින්න, ගේම් ගහන්න සූදානම් වෙන්න එපා කියලා ආණ්ඩුවට අවධාරණය කරනවා.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment