ජනවරමක් නැති ආණ්ඩුව විසුරුවන්න දැන් රනිල්ට බලය තියෙනවා – ජී. එල්. පීරිස්

118

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ඊයේ (20 දා) සිට ලැබුණු බවත්, ජනවරමක් නැති ආණ්ඩුව එම බලය යොදාගෙන විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (20 දා) කියා සිටියේය.

මේ රටේ දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව ආඥාදායක පාලනයක් බවත් එම පාලනයෙන් පළාත් පාලන ඡන්දය ජය ගැනීම නොව පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමට සිදුව ඇති බවත් එම සන්ධාන කාර්යාලයේ ඊයේ (20 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මෙතෙක් කලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව මැතිවරණ පැවැත්වුවත් එක් පුද්ගලයකුගේ අභිමතයට මැතිවරණ පැවැත්වීමට සිදුව ඇතැයි ද පැවසූ ඒ මහතා මුදල් ඇමැතිවරයාගේ අත්සන නොමැතිව මැතිවරණ පැවැත්විය නොහැකි බව ප්‍රකාශ කිරීම ම වැරදි පූර්වාදර්ශයක් බව ද කීවේය. 2020 මහ මැතිවරණය පවත්වා මාස දෙකහමාරකින් මුද්‍රණාලයට මුදල් ගෙවා ඇති බවත්, ඇතැම් කාලවල මාස හයකට පසුව මුදල් ගෙවා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

රටේ ජනතාවගෙන් සියයට 90 ක් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කර ඇති බව ද පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනී යන්නේ වක්‍ර ලෙස ඡන්දය කල් දැමීමට ගන්නා උත්සාහයට සහාය පළ කිරීමක් බවද පීරිස් මහතා කීය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම බැහැර කර ඇති බවත් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට යන බවත් හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර ආයෝජන සමාගම් අප රට අතහැර යෑම ආර්ථිකයට ප්‍රබල ප්‍රහාරයක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටකට විදේශ ආයෝජන නොලැබී යන බවත් පැවසූ ජී. එල් පීරිස් මහතා පෙබරවාරි 20 එනම් ඊයේ දිනෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවන බවත් එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment