ජනවාරියේදී එළවළු නැත්තටම නැතිවෙයිද?

223

නුවරඑළිය ගොවීන්ගෙන් අනතුරු ඇගයීමක්

නත්තලට ඇත්තේ තවත් දින කිහිපයකි. කොවිඞ් අවදානම දරාගෙන වුවද කිතුණුවන් මෙන්ම ලංකාවාසි සියලූ දෙනාම ඇති හැකි අයුරින් නත්තල සැමරීමට සූදානම් වෙමින් සිටී. නත්තල පමණක් නොව සිංහල හින්දු අලූත් අවුරුද්ද, රාමසාන්, තෛපොංගල් ආදී සියල්ලම ලංකාවේ අපට ආගමික උත්සව පමණක්ම නොවේ. ඒවා ජාති ආගම් බේද නොසලකා සමස්ත ලංකාවාසීන් සමරන සංස්කෘතික උත්සවයන් ය.

සාමාන්‍යයෙන් දෙසැම්බර්, අපේ‍්‍රල් මාස ජනතාවගේ අතමිට සරුවන කාලයකි. සේවා ස්ථානවලින් පාරිතෝෂික ලබා දීම, වගා කටයුතු සාර්ථක වී අස්වනු නෙළා ගැනීම වැනි කාරණා නිසා ඔවුන් අත වෙනදාට වඩා මුදල් ගැවසෙන අතර විනෝද චාරිකා යෑම, උත්සව සංවිධානය කිරීම, දන්පින් කටයුතු සිදු කිරීම ආදී බොහෝ කාර්යයන් මෙම කාලසීමාව අතරතුර වැඩි වශයෙන් සිදුකරනු ලබයි.

නමුත් මෙවර නත්තල පිළිබඳව බොහෝ දෙනකු කතා කළේ එතරම් උද්යෝගයකින් නොවේ. කොවිඞ් වසංගතයේ අවදානම තවමත් පහව නොගිය මොහොතක කොවිඞ්වලින් ආරක්ෂා වන අතරම තවත් බොහෝ ගැටලූවලට පිළිතුරු සෙවීමට සමස්ත ජනතාවටම සිදුව තිබීම ඊට හේතුවයි. හාල්, පොල්, පිටි, සීනි, පොල් තෙල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව එළවළු, පලතුරු ද මිල අධිකය. හතර අතින් ඇසෙන ගෑස් සම්බන්ධ අනතුරු පිළිබඳ සිදුවීම් නිසා කොයි මොහොතේ තමන්ගේ ජීවිතය අනතුරේ වැටේදැයි බියකින් එදිනෙදා කටයුතු කිරීමට මිනිසුන්ට සිදුව තිබේ. මේ සියල්ල මැද පසුගිය මාස කිහිපය පුරාම ඇදවැටුණු වර්ෂාවත් සමඟ පුද්ගල මෙන්ම දේපළ හානි රැසක් සිදුවිය.

මෙවැනි දුෂ්කරතා රැසක් මැද වුවද තවමත් නත්තල සිංහල අවුරුද්ද සහ අනෙකුත් සංස්කෘතික උත්සව සැමරීමේ බලාපොරොත්තුවෙන් තවමත් ජනතාව බලා සිටී.
”වෙනදාට උත්සව කාලෙට මිනිස්සු කියන්නේ අටුකොටු සරු වෙලා, බත බුලතින් පිරී ඉතිරෙනවා කියලා. දැන් ආදායමටත් වඩා වියදම වැඩි වෙලා මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නේ. එළවළු ගිනි ගණන්. කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා කන්න තියා හිතන්නවත් බෑ. ලාබෙට ගන්න තියෙන්නේ වට්ටක්කා විතරයි. තව ටික දවසකින් ඒකත් නැති වෙයි. වෙනදට බෝනස් ලැබුණාම දරුවන්ට ඇඳුමක් හරි අරන් දෙනවා. දැන් නම් ඒ වගේ දෙයක් කරන්නවත් සතයක් ඉතුරු වෙන්නෙ නෑ. එක කොටසක් විතරක් ටි‍්‍රප් යනව සතුටු වෙනවා. කනවා බොනවා. දුප්පත් අපි හැමදාම අසරණයි.”

පසුගිය සති කිහිපයේම අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම එළවළු, පලතුරු මිල ඉහළ ගොස් තිබූ බව පාරිභෝගිකයෝ කියා සිටිති. එළවළු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගම් කිහිපයකින්ම දිවයින අප විමසීමක් කළ අතර ඔවුන් කියා සිටියේ මේ වන විට එළවළු තොග සැපයීමේ අඩුවක් තිබෙන නිසා එළවළු මිල ඉහළ ගොස් ඇති බව ය. විශේෂයෙන්ම උත්සව කාලයට බහුලව භාවිත එළවළුවල විශාල හිඟයක් පවතින බවත් ඒ නිසා ඒවායේ මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ පෙන්වා දුන්හ.

උත්සව කාලයේ දී උඩරට එළවළුවලට වැඩි ඉල්ලූමක් ඇත. වෙනදාට දෙසැම්බර් අපේ‍්‍රල් මාසවලට උඩරට ගොවියන් තමන්ගේ අස්වනුවලින් විශාල ආදායමක් ලබාගන්නා අතර මේ වන විට වගාවන් පාඩු ලබන බවට උඩරට ගොවියෝ පවසති. නුවරඑළිය වැලිමඩ වැනි ප‍්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ වෙනදාට ලබාගන්නා අස්වැන්නෙන් කොටසක්වත් මේ වසරේ ලබාගන්නට නොහැකි වූ බවයි.

  • නත්තලට විතරක් නෙමෙයි, අලූත් අවුරුද්දටත් එළවළු නැති වෙන ලකුණු

මේ වන විට අර්තාපල්, කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, බ්‍රොකලි, සුකිනි වැනි උත්සව කාලයට අත්‍යවශ්‍ය එළවළු වර්ගවල හිඟයක් ඇති බවට වෙළෙන්දෝ මෙන්ම පාරිභෝගිකයෝ ද පවසති. එලෙස එළවළු හිඟවීමට ප‍්‍රධාන හේතුව ඉල්ලූමට අනුව සැපයීමට නොහැකි වීමයි.

සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා එළවළු හිඟවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

”මේ වෙද්දි එළවළු සැපයුමේ විශාල අඩුවක් තියෙනවා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට කඳපොල, සීතාඑළිය අඹේවෙල ප‍්‍රදේශවලින් එන එළවළු ප‍්‍රමාණය සීයට හැටකින් විතර අඩු වෙලා තියෙනවා. මාස ගණනකට කලින් මම කිව්වා එළවළු හිඟයක් එනවා කියලා, ඒකට කවුරුත් හේතුව මොකක්ද කියලා ඇහුවේ නෑ. දැන් මං කියපු විදිහටම එළවළු හිඟ වෙන්න පටන් අරගෙන.”

වෙනදාට දිනකට එළවළු තොග ලක්ෂ කිලෝ දෙකහමාරක් පමණ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණත් මේ වන විට එම ප‍්‍රමාණය විසිදහසත් හතළිස් දහසත් අතර ප‍්‍රමාණයක් දක්වා අඩු වී ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය මාස කිහිපයේ ම එළවළු ලැබී තිබුණේ සියයට විස්සකටත් අඩු ප‍්‍රමාණයකි. දඹුල්ලට සියයට පහලොවක් පමණත්, මැනිං වෙළඳපළට සියයට විසිපහක් පමණත් එළවළු තොග ලැබී තිබුණි. අනෙක් ආර්ථික මධ්‍යස්ථානවලට ද එළවළු ලැබී තිබුණේ ඉතා අඩු ප‍්‍රමාණයකි.

විවිධ ගැටලූ නිසා ගොවීන්ගේ වගා පාළුවීම, පොහොර ගැටලූව නිසා අස්වැන්න බාල වීම වැනි හේතූන් මත වගාකරුවන්ට ලැබෙන ආසන ප‍්‍රමාණය අඩු වී ඇති නිසා මෙලෙස එළවළු සැපයුම පහත වැටී තිබේ. මේ තත්ත්වය

දිගින් දිගටම පැවතුණහොත් ජනවාරි අපේ‍්‍රල් මස වන විට විශාල එළවළු හිඟයක් ඇති වීමට ඉඩ ඇති බවට ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳුන් කියා සිටී.

  • තියෙන එළවළුත් ගිනි ගණන්

ආර්ථික මධ්‍යස්ථානවලට සපයන එළවළු ප‍්‍රමාණය අඩු වුවද ඉල්ලූමෙහි කිසිදු අඩුවක් නැත. මේ දිනවල කැරට්, ලීක්ස්, අර්තාපල් ගෝවා, සුකිනි, කොත්තමල්ලි කොළ බ්‍රොකලි, සලාද කොළ, බෙල්පෙපර් වැනි එළවළුවලට වැඩි ඉල්ලූමක් ඇත. නමුත් එවැනි එළවළු හිඟවීම නිසා ඒවායේ මිල ගණන් විශාල ලෙසින් ඉහළ ගොස් තිබේ.

පසුගිය මාස කිහිපය පුරාවටම කැරට් කිලෝවක් රුපියල් හාරසීයට, ලීක්ස් කිලෝවක් රුපියල් තුන්සීයට, ගෝවා කිලෝවක් රුපියල් තුන්සිය පනහට, අර්තාපල් රුපියල් දෙසීයට ආදී ලෙස තොග මිල සටහන්ව තිබේ.

එමෙන්ම බ්‍රොකලි රුපියල් 2400 සිට ඉහළට, සුකිනි 700ට, පාර්ස්ලි 1500 ට, මල් ගෝවා 1500ට ලෙස උත්සව අවස්ථාවලට බහුලව භාවිත කරන එළවළුවල මිල ගණන්ද ඉහළ ගොස් ඇත. මේවා සිල්ලර වෙළෙඳුන් විසින් විකුණන්නේ තවත් ලාභ තබා ගනිමිනි.

  • නත්තලට එන සංචාරකයන්ට කෑම හදන එක ගැටලූවක් වෙලා

මේ වන විට නුවරඑළිය සහ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරක හෝටල් සහ ලැඟුම් ශාලා බොහෝමයක් දෙස් විදෙස් සංචාරකයින් විසින් වෙන් කර ඇති බවට සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවලින් තොරතුරු ලැබී ඇත. මෙලෙස පැමිණෙන සංචාරකයන්ට ආහාර සකස් කිරීමට කැරට්, ලීක්ස්, තක්කාලි, මල් ගෝවා සලාද, බෙල්පෙපර් වැනි උත්සව අවස්ථාවන් සඳහා භාවිත කරන එළවළු අනිවාර්ය වේ. මේ වන විට වෙළෙඳපොළෙහි පවතින එළවළු හිඟය සහ එළවළු මිල අධික වීම නිසා හෝටල්, ආපන ශාලා, නිවාඩු නිකේතනවල ආහාර සකස් කිරීමේදී ගැටළු ඇති වන බවට සූපවේදීන් පෙන්වා දෙයි.

”සාමාන්‍යයෙන් සංචාරකයන්ට කෑම හදන්න උඩරට එළවළු අත්‍යවශ්‍යයි. උත්සව කාලෙට විදේශිකයන්ට වගේම දේශීය සංචාරකයින්ටත් විවිධ ආහාර වර්ග සකස් කරනවා. මේ වෙද්දි එළවළු හිඟකම නිසා ආහාර සැකසීමේදී ගැටළු ඇති වෙනවා. එහෙම වුණාම සංචාරකයන්ගෙන් ලබාගන්න මිල වැඩි කරන්න සිද්ධ වෙනවා.”

ලෙස නුවරඑළිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හෝටලයක සූපවේදියකු පැවසීය.

  • උඩරට ගොවියන්ට යන එනමං නැති වෙයිද?
ජනවාරියේදී එළවළු නැත්තටම නැතිවෙයිද?

නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ ජනතාව ජීවත්වන්නේ එළවළු වගා කිරීමෙන් හා එළවළු ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙනි. මේ වන විට ලැබෙන අස්වනු ප‍්‍රමාණය අඩුවීම සහ එළවළුවල ගුණාත්මක බව අඩුවීම නිසා ගොවියෝ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. සාමාන්‍යයෙන් වෙනදා ලබාගන්නා අස්වැන්නෙන් අඩක්වත් ලබාගත නොහැකි බවට ඔවුන් පවසයි. එලෙසම කැරට් අර්තාපල් වැනි එළවළුවල වර්ධනය බාල වීම නිසා සරු පලදාවක් නොලැබෙන බවද ඔවුන් කියයි. මෙලෙස වගාවන් අසාර්ථක වීමට මූලිකම හේතුව වී ඇත්තේ රසායනික පොහොර සහ කෘෂි රසායනික දියර හිඟ වීමයි.

”එළවළු පැළයකින් ඵලදාව ගන්න මාස හතරක් වගේ කාලයක් යනවා. රසායනික පොහොර නැති නිසා සරු ඵලදාවක් ලැබෙන්නේ නෑ. අපි අවුරුදු ගණනාවක් වගා කරපු මිනිස්සු. කාබනික වගාව අද අසාර්ථක වෙලා තියෙනවා කියලා කියනවා. ඒත් කාබනික වගාව සම්බන්ධයෙන් ගොවීන්ව දැනුවත් කරලා නෑ. රජය පොරොන්දු වුණා ඉක්මනින් රසායනික පොහොර සහ රසායනික දියර පොහොර දෙනවා කියලා. දැන් කියනවා අපේ‍්‍රල් මාසේ වෙනකම් පොහොර එන්නේ නෑ කියලා.

මේකට රජය විසඳුමක් දුන්නේ නැත්තම්, ජනවාරි වන විට පොහොර දුන්නේ නැත්තම් ලොකු අර්බුදයකට රට යනවා. ගොවින්ගේ වගේම සමස්ත රටේම ආර්ථිකය කඩා වැටෙනවා” ලෙස නුවරඑළියේ ගොවියෙකු වන සුනන්ද මහතා කියා සිටියේය.

ගොවියන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීම වචනයට පමණක් සීමා වූ රජයේ ප‍්‍රතිපත්ති කිසිසේත් විශ්වාස කිරීමට නොහැකි බවත් මෙම ගැටළුවට විසඳුම් සෙවීම සඳහා කිසිදු කෙනකුගේ මැදිහත්වීමක් හා සොයාබැලීමක් සිදු නොවීම නිසා ඉදිරියේදී ගැටළු
රැසක් ඇති වන බවත් ගොවියෝ කියා සිටිති.

පොහොර හිඟයක් ඇති වීමට පෙර සිදු කරගෙන ගිය ගොවිතැන් කටයුතුවලට සාපේක්ෂව පස්ගුණයකටත් වැඩි පිරිවැයක් වගා කටයුතු සඳහා යෙදවීමට සිදුවී ඇති පසුබිමක ඇතැම් අවස්ථාවලදී තමන්ගේ දේපළ ද උගසට තබා විශාල මුදලක් වැය කිරිමට සිදු වන බව කියා සිටින ගොවීන් බොහෝ දෙනකු මේ වන විට එළවළු වගාවෙන් ඉවත් වී වෙනත් රැකියාවන් සඳහා යොමු වී සිටියි.

ගොවීන් මුහුණපා සිටින ගැටළු සම්බන්ධයෙන් නුවරඑළිය එකමුතු ගොවි සංගමයේ සභාපති පූජ්‍ය දෙහිගහහේනේ කෝවිද ස්වාමීන් වහන්සේ මෙලෙස පැවසූහ.

”ගොවියාගේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක වේදනාව දුක දරාගන්නම බැරි නිසා ගොවියන් පාරට බැස්සා. මේ ගොවීන් මුහුණපාන ගැටළුවලට තිරසාර විසඳුමක් දීලා ගොවීන් වැටිල ඉන්න වළෙන් ගොඩ ගන්න අපට සහයෝගයක් දක්වන්න කියලා අපි නුවරඑළිය දිසාපතිතුමාගෙන් සංදේශයක් ඉදිරිපත් කරලා ඉල්ලා සිටියා.

නමුත් කියන්න කනගාටුයි මේ වන විට දිසාපතිතුමාගෙන් කිසිදු සාධනීය පිළිතුරක් අපට ලැබිලත් නැහැ. ඒ ගැන එතුමාගේ සොයා බැලිල්ලක් ඇති බව අපට පෙනෙන්නෙත් නැහැ, කාබනික පොහොර යනුවෙන් හඳුන්වා නොයෙක් රටවලින් පටවා ගෙන එන අසූචි අපගේ අහිංසක ගොවියාට ලබා දීමට කටයුතු කරන්නේ විෂය භාර ඇමැතිවරුන්ගේ හෙන්චයියන්ගේ ලාභ ප‍්‍රයෝජන හා කොමිස් ගැසීමේ අරමුණින් බව අපිට ලොකු සැකයක් තිබෙනවා.”

  • පොහොර වෙළෙඳසල් මුදලාලිලා දැන් කළුකඩකාරයෝ වෙලා

නොමිලයේ පොහොර ලබා ගැනීමට බලා සිටි ගොවීන්ට අවසානයේ මුදලටවත් පොහොර ලබාගත නොහැකි තත්ත්වයක් උදා විය. රුපියල් 3,500 ට තිබුණු පොහොර මිටිය මේ වන විට රුපියල් දොළොස් දහසක් වැනි අධික මුදලකට වෙළෙන්දෝ විකුණනු ලබති. පොහොර හිඟයක් ඇති බව මවා පාමින් ඒවා සඟවා තබා ගනිමින් අහිංසක ගොවියන්ට වැඩි මුදලට අලෙවි කරන්නේ කාගේ වුවමනාවට දැයි ගොවියන් රජයෙන් ප‍්‍රශ්න කරයි.

තමන්ට නොමිලයේ පොහොර අවශ්‍ය නොවන බවත් වගා කටයුතු කරගෙන යෑම සඳහා සහනදායි මිලකට හෝ කඩිනමින් පොහොර ලබා දෙන ලෙසත් ගොවියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ අතර කාබනික පොහොර යොදාගෙන වගා කටයුතු සිදු කරන ලෙස ගොවියන්ට දැනුම් දී තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකු ගොවියන් ව දැනුවත් කර නැති බව ද ගොවීන් පවසයි.

”ගොවියන් මෙච්චර දුක් කම්කටොළුවලට මුහුණ පාන වෙලාවේ මේ ගැන බලන්න ගොවි නිලධාරීන් එන්නේ නැහැ. සමහර ගම්වැසියන් ගොවි නිලධාරියා කවුද කියන එකවත් දන්නේ නැහැ. අඩුම තරමෙන් ගොවියන්ගේ ගැටලූ ටික බලන්න අදාළ නිලධාරීන් වගා භූමියකට වත් එන්නෙ නෑ.”

ගොවියන් නඟන චෝදනාව සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික් ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුගෙන් අප අදහස් විමසූ විට ඔහු කියා සිටියේ ගොවිජන සේවා කාර්යාලයට අනුබද්ධ නිලධාරීන්ගෙන් නිසි ලෙස සේවාවක් ගොවි ජනතාවට නොලැබෙන බවට ගොවියන් කරන චෝදනාව පිළිගන්නට සිදුවන බවත්, පොහොර බෙදාහැරීම්වල දී නොයෙකුත් අකටයුතුකම් ස්ථාන රාශියක සිදුවන බවත්ය.

මෙලෙස අසරණ ජනතාවගේ බදු මුදලෙන් ම සිය ජීවිතය සරි කරගන්නා රාජ්‍ය නිලධාරීන් තමන්ට පැවරී ඇති රාජකාරියවත් ඉටු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙනමම සොයා බැලිය යුතුය.

ගොවි නිලධාරීන් විසින් ගොවියන්ට කාබනික පොහොර ලබා දීමට උත්සාහ කළත් ගොවීන්ගේ ඉල්ලූම ඇත්තේ රසායනික පොහොරවලට බවද, ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා පවසා සිටියේය.

”කාබනික පොහොරවලින් වගා කරන්න කියනවා නම් ඒ ගැන ගොවියන්ට අවබෝධයක් ලබා දෙන්න ඕනේ. කොහොම වුණත් මේ වෙද්දි ගොවිජන සේවා කාර්යාලයෙන් සහන මිලට ලබා ගන්න පොහොර කළුකඩකාරයෝ හිතෙන ගණන්වලට විකුණනවා. ඒ නිසා ගොවීන් අසරණ වෙලා. එළවළු අස්වැන්න අඩු වෙද්දි මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, තොග වෙළෙඳුන්ට, සිල්ලර වෙළෙඳුන්ට මෙන්ම අතරමැදියන්ටත්, පාරිභෝගිකයන්ටත් පාඩු ලැබෙන එක නතර කරන්න බෑ. කවදාවත් කෑවෙ නැති ගණන්වලට තමයි එළවළු කන්න වෙලා තියෙන්නේ. මේ තත්ත්වයට රජය සහ බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දුන්නේ නැත්නම් අපේ‍්‍රල් මාසය වෙද්දී මේ රටේ විශාල එළවළු හිඟයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ එළවළු ව්‍යාපාරය හා සම්බන්ධ හැම දෙනෙක්ම අසරණ වෙනවා. මේ තත්ත්වය දිගටම පැවතුණොත් ‘එකෝමත් එක දවසක අපි එළවළු වර්ග කෑවෙමු’ ලෙස අපේ දරුවන්ට කියලා දෙන්න වෙන කාලය වැඩි ඈතක නෙමෙයි” ලෙසින් සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ලංකා ඉතිහාසයේ කවරදාවත් නොවූ ලෙස ආනයනකරුවන්, තොග වෙළෙඳුන්, සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන් මෙන්ම පාරිභෝගික ජනතාව ද දරුණු ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දෙමින් සිටියි. රජය විසින් ගන්නා තීරණ ක‍්‍රියාවට නැංවීමේදී සහ ඒවා පිළිබඳව පසුවිපරමක් නොමැතිවීම නිසා තමන්ට ගැටලූ ඇතිවන බවට ජනතාව පවසයි. ජාති ආගම් දේශපාලන භේද පසෙකලා සමස්ත රටවැසියා පිළිබඳව සිතා අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසට ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඡායාරූප – නාලක රත්නායක
නිරෝෂා වාසල
නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment