ජනවාරි පෙබරවාරි වනවිට ගෑස් මිල බහිනවා…. අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොකර පාලන මිලක් නොතිබුණා නම් ගෑස් මිල මෙච්චර වැඩි වෙන්නේ නෑ…. ලාෆ් ගෑස් සභාපති කියයි

230

පාරිභෝගික අධිකාරිය විසින් 2003 වසරේ සිට ගෘහස්ථ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කර පාලන මිලක් නියම කිරීම නිසා රට තුළ ගෑස් මිල සම්බන්ධ අර්බුදයක් ඇතිවූ බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සඳහන් කළේය.

වර්තමානයේ ඉතා විශාල මුදලකින් ගෑස් මිල ඉහළ නැංවීමට ඊට අමතරව ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යෑමත් රුපියල අවප‍්‍රමාණය වීමත් බලපා ඇතැයි ඒ මහතා පැවැසීය.

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොකර පාලන මිලක් නොතිබුණේ නම් මෙපමණ මුදලකින් ගෑස් මිල ඉහළ නොයන බවත් රජය වසර 18කට පසුව හෝ ගෑස් සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීම ගැන සතුටුවන බවත් හෙතම කියා සිටියේය.

2014 සිට 2018 දක්වා අට වතාවක් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ගෑස් මිල ඉහළ දැමූ බවත් මිල අඩුකළේ තුන් වතාවක් පමණක් බවත් වෑගපිටිය මහතා සඳහන් කළේය. රජය ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කර තිබුණ ද ගෑස් කිසිසේත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බව කී වෑගපිටිය මහතා රටේ සමස්ත ජනගහනයෙන් ගෑස් පාවිච්චි කරන්නේ සියයට 50කට අඩු පිරිසක් බවත් ඉන් සියයට 72ක්ම සිටින්නේ බස්නාහිර පළාතේ බවත් කීවේය.

ඉදිරියේදී වෙළෙඳ පොළේ තිබෙන සාමාන්‍ය මිල සූත‍්‍රයට අනුව සෑම මසකට වරක්ම මිල වැඩිවීම හෝ අඩු කිරීම සිදුවන බවත් ලබන ජනවාරි පෙබරවාරි මස වනවිට ගෑස් මිල අඩුවනු ඇති බව ද වෑගපිටිය මහතා වැඩිපුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment