ජනවාරි මාසයේ සිට විදුලි බිලෙන් තරු විසිවෙයි!

436

රුපියල් 1880 ක බිල රුපියල් 4430 ට නගී
රු. 360 අඩුම බිලත් 1300 ට නගී
පුණ්‍යායතන සඳහා මෙතෙක් ඒකකයක් සඳහා අය කළ මුදල රුපියල් 32 සිට 50 දක්වා ඉහළට
නව මිල සංශෝධනය නොකර රටේ ඉදිරි ගමනක් බැහැ
මිල සූත්‍රයක් හදන්න කංචනට උපදෙස් – ඇමැති බන්දුල කියයි

කැබිනට් අනුමැතිය හිමිවූ නව විදුලි බිල සංශෝධනයට අනුව මාසිකව ඒකක 30 ක් භාවිත කළ දිළිඳු ජනතාවගේ විදුලි බිල රුපියල් 360 සිට 1300 දක්වාත් ඒකක 31 සිට 60 දක්වා භාවිත කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල රුපියල් 780 සිට 2560 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

ඒකක 30 දක්වා අයකරන ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් ලෙසත් ඒකක 31 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඉහළ දමා ඇත. ඒකක 60 දක්වා ඒකකයට රුපියල් 16 බැගින් වූ විදුලි බිල අය කිරීම රුපියල් 16 සිට 42 දක්වා වැඩීවී ඇත. ඒකක 61 සිට 90 දක්වා ඒකකයකට අය කිරීම රුපියල් 42 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම ස්ථාවර ගාස්තුව රුපියල් 650 කි.

ඒ අනුව ඒකක 90 දක්වා විදුලිය පරිභෝජනය කරනු ලබන පාරිභෝගික ජනතාව මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 1880 ක් පමණ වූ විදුලි බිල රුපියල් 4430 දක්වා වැඩි වේ.

නව සංශෝධනයට අනුව ඒකක 91 සිට 120 දක්වා ඒකකයක මිල වෙනසක් සිදු කර නොමැති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව එම කාණ්ඩයේ මාසික විදුලි බිල රුපියල් 9780 ක් වනු ඇත.

ඒකක 121 සිට 180 දක්වා ද ඒකකයක මිල සංශෝධනයක් සිදු නැතත් ස්ථාවර ගාස්තුව රුපියල් 1500 ක් වේ. එසේම ඒකක 180 වැඩි පාරිභෝගිකයන්ගේ ස්ථාවර ගාස්තුවද රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ.

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා නව මිල සංශෝධනයට අනුව ඒකක 30 ක් දක්වා පැවති මිල රුපියල් 8 සිට 30 දක්වා වැඩි කෙරෙද්දී ස්ථාවර ගාස්තුව රුපියල් 90 සිට 400 දක්වා ඉහළ දැමේ.

එසේම ඒකක 31 සිට 90 දක්වා රුපියල් 15 ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37 දක්වා ඉහළ දමා ඇති අතර එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුවද රුපියල් 550 ලෙස සංශෝධනය කර තිබේ.

ආගමික ස්ථාන සඳහා ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක්ව පැවති ඒකකයක මිල රුපියල් 42 දක්වා ඉහළ දමා තිබෙන අතර එම ස්ථාවර ගාස්තුව රුපියල් 120 සිට 650 දක්වා වැඩිකර ඇත.

ඒකක 121 සිට 180 දක්වා රුපියල් 30 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා වැඩිකර තිබේ. එම ස්ථාවර ගාස්තුවද රුපියල් 450 සිට 650 ලෙස සංශෝධනය කර ඇත. ඒකක 181 න් ඉහළ විදුලි පරිභෝජනයක් ඇති ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා මෙතෙක් ඒකකයක් සඳහා අය කළ මුදල රුපියල් 32 සිට 50 දක්වා වැඩිකර තිබේ. එම ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 2000 දක්වා ඉහළ දමා ඇත.

ව්‍යාපාරික අංශයේ කොන්ත්‍රාත් ඉල්ලුම අනුව කිලෝවොට් ඇම්පියර් 42 ට අඩු ආයතන සඳහා අය කරන ගාස්තුව ද රුපියල් 20 සිට 26 දක්වා වැඩි කර ඇති අතර රුපියල් 960 ක්ව පැවති එම ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත් රුපියල් 1200 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වාත් වැඩිකර ඇත.

මෙම නව මිල සංශෝධනය නොකර රටේ පවතින පිරිවැයත් සමඟ කිසිසේත්ම ඉදිරියට යා නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, මහාමාර්ග හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡා කර ඔවුන් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාත්මක කළ හැකි සංශෝධන කෙරෙහි සැලකිල්ලක් දක්වා මෙම ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව මිල සංශෝධනය සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව ද ඇමැතිවරයා පැවසීය.

ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළේ ගල් අඟුරු හා ඉන්ධන මිල ගණන් සංශෝධනය වන ආකාරය සහ මෙරට වර්ෂාපතනය අනුව විදුලිය නිෂ්පාදනයේ පිරිවැය අඩුවීමක් සිදු වන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට උපදෙස් දුන් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (10 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment