ජනසම්මතවාදී පරිවර්තනයක්!

51

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් 56 විප්ලවය හරහා මේ රටේ සාමාන්‍ය ජනතාවට පවා මහජන නියෝජිතයන් වීමේ ඉඩකඩ විවර කරලා දුන්නා. ඒ නිසාම 56 විප්ලවය පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළේ “බමුණු කුලය බිඳ වැටීම කියලා” කොහොම වෙතත් කාලයත් සමග ඒ තත්ත්වය යථාර්ථයක් කරගන්නට පුළුවන් වුණාද කියන එක එක් අතකින් ගැටලුවක්. විශේෂයෙන්ම 70 – 77 වකවානුව තුළ මේ රටේ දේශපාලන ආර්ථික සමාජ සියල්ල කණපිට හැරුණා.

“අපේ අම්මා ළඟ එනවා – හාල් සේරු දෙක දෙනවා” යැයි නොමිලේ හාල් සේරු දෙකම දෙන බවම සපථ කළා. ජනතාව ඒ වෙනුවෙන් ඡන්දය දුන්නා.

විශේෂයෙන්ම ඉතාමත්ම අසාමාන්‍ය මට්ටමේ ආර්ථික කඩාවැටීම වගේම ඒ ඉදිරියේ මේ රටේ තරුණ පරම්පරාවේ සන්නද්ධ නැඟිටීම බරපතළ ඛේදවාචකයක් වුණා.

ඉතාමත්ම අසාමාන්‍ය මට්ටමක පැවැති පෝලිම් යුගය පවා ආණ්ඩුවේ බල සම්පන්න සමහර ඇමැතිවරුන්ගේ හැසිරීම සමාජයට මහත් පිලිලයක් බවට පත්වුණා. 75 දක්වා ලබා දී තිබූ ජනවරම කිසිදු සාධාරණ හේතුවක් නැතිව 77 දක්වා දීර්ඝ කර ගැනීමේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකලාගේ සංකල්ප උඩ.

අවශ්‍ය වුණොත් ප්‍රජාතන්ත්‍රවාදය, පැත්තකින් තියා ඒකාධිපතිවාදය අතට ගන්නවා.

හැත්තෑ ගණන්වලදී ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක එහෙම කීවා. මෙරට දේශපාලන ඉතිහාසයේ ඒකාධිපතිවාදය ගැන කතා කළ පළමු වැන්නා ෆිලික්ස් බණ්ඩාරනායක. ‘මුලින්ම ඒකාධිපතියෙක් වෙන්නට හදන දේශපාලනඥයාගේ බෙල්ල හොයන විට ෆිලික්ස්ට මුලින්ම හසුවන්නේ තමන්ගේම බෙල්ලය’ කියා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කීවේ ඒ නිසා.

එම යුගයේ රට තුළ ඇතිවී තිබුණු ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා රජය ගත් එක් පියවරක් වුණේ සහල් පොලු සහ මිරිස් පොලු දැමීම. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙනයෑම තහනම් වුණා. ඒ අනුව එම භාණ්ඩ බෙදාහරිනු ලැබුවේ රජයේ පාලනය යටතේ. එසේම සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල කිසිදු ආපනශාලා හිමියෙකුට බත් විකිණීම සඳහා අවසර හිමි වුණේ නැහැ. පාන් නිෂ්පාදනය කිරීමත් සීමා කර තිබුණු නිසා පාන් ලබාදුන්නේ සලාක ක්‍රමය යටතේ යි. එම අවධියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය සහ භාණ්ඩ රැසක් බෙදා හැරියේ සලාක ක්‍රමය යටතේ යි.

මේ තත්ත්වය හැත්තෑ හතේ විවෘත ආර්ථිකයත් සමග වෙනස් වුණා.

රටක ඕනෑම පාලකයෙක්ගේ හොඳ නරක දෙකම තිබෙන්න පුළුවන්.

විශේෂයෙන්ම බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා මෙරට කුඩා මිනිස්සුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ඉඩකඩ විවර කරදීමට කටයුතු කළා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ගත කළ කාල වකවානු තුළත් ඒ වෙනුවෙන් අරගල කළා.

ඊට පස්සේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ තැලෙන පෑගෙන දූවිලි බවට පත්වූ ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීම වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් ගත්තා.

ඒක විශාල අරගලයක් වුණා. විප්ලවීය අරගලයක් වුණා.

ප්‍රේමදාස මැතිතුමන් හැම මොහොතකම සඳහන් කළ දෙයක් තිබුණා. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යෑමට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වුණා සේම තමන්ට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වන බව ප්‍රේමදාස ජනාධිපතිතුමා සිහිපත් කළා.

බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂය තුළ ඇති කරන්න යන වෙනස්කම්, කරන්න ඉඩකඩක් නොමැති වූ තැන ඔහු විකල්ප මාවත තෝරා ගත්තා. සියලුම නායකයන් සර්වතෝභද්‍ර නොවේ. සෑම පුද්ගලයකු තුළම යහගුණ සේම අවගුණ තිබෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ ඔවුන් තුළ ඇති යහගුණ ප්‍රගුණ කිරීමයි.

රටක ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් අතිශයින්ම වැදගත් වෙන්නේ ඒ රටේ පාලනය විසින් මොන තරම් ප්‍රශස්ත විදිහට සමාජ සාධාරණත්වය සහ ජනසම්මතවාදය සුරක්ෂිත කරනවාද කියන කරුණ මත. එය එසේ සිදු නොවන තාක් කල් ඒ රටට ඉදිරි ගමනක් හෝ ප්‍රගමනයක් සිදුවන්නේ නැහැ.වර්තමානය වන ඇමෙරිකාවේ ප්‍රදාන දේශපාලන පක්ෂ බවට පත්ව තිබෙන්නේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙක යි. ඒ අතුරින් රිපබ්ලිකන් පක්ෂය බිහිවුණේ 1854 දී යි. 1854 දී පැමිණි කන්සාස් – නෙබ්‍රස්කා පනතට පක්ෂ සහ දේශපාලන ව්‍යාපාර කිහිපයක් විරෝධය පළ කළා.

එහි දී විග් පක්ෂය, ලිබර්ටි පක්ෂය, ෆ්රී සොයිල් පක්ෂය, උතුරු අමෙරිකානු පක්ෂය, නෙබ්‍රස්කා විරෝධී ව්‍යාපාරය යන ඒවා එකතු වී රිපබ්ලිකන් පක්ෂය නිර්මාණය කළා.

ඒබ්‍රහම් ලින්කන් එම පක්ෂය පිහිටුවීමට මුල් වුණා. ඒ අයුරින් නිර්මාණය වුණු රිපබ්ලිකන් පක්ෂය වැඩි කලක් යන්නට පෙර රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්වුණා.

ඔහු වහල් භාවය ඇමෙරිකාවෙන් තුරන් කිරීමට පනතක් ගෙන ආවා. ඒ නිසාම ලින්කන්ගේ ජීවිතයට තර්ජන රැසක් එල්ල වී තිබුණා.

එම තර්ජන නොතකා ලින්කන් සාමාන්‍ය ජනතාව අතරට ගියා. 1865 අප්‍රේල් 14 වැනිදා ෆෝඩ් රඟහලට ගිය ලින්කන්ට ජෝන් විල්ක්ස් බූත් නම් පුද්ගලයා වෙඩි තැබුවා. එම වෙඩි පහරින් ලින්කන් මරණයට පත්වුණා. ඒ අනුව ඇමෙරිකානු ඉතිහාසයේ සහාසිකයකුගේ වෙඩි පහරින් මියගිය මුල්ම ජනාධිපතිවරයා ලෙසින් ලින්කන් ඉතිහාසගත වුණා. ලින්කන් වහල් සේවය ඇමෙරිකාවෙන් තුරන් කිරීම සඳහා කළ මෙහෙය නිසා ඇමෙරිකානු ඉතිහාසයේ බිහිවුණු කීර්තිමත් ජනාධිපතිවරුන් අතරට ඔහුගේ නමත් එකතු වී තිබෙනවා.

රටකට අවශ්‍ය වන්නේ එවැනි ඉදිරි දැක්මක් ඇති නායකයන්. ඔහුගේ චින්තනය මානවවාදී විය යුතුයි. ජනසම්මතවාදී විය යුතුයි. බල න්‍යාය පත්‍රයක් උදෙසා මිනිස් ජීවිත සමග අරගල කරන පාලකයන්ගේ පැවැත්ම ජනතාව විසින්ම තීන්දු කළ අවස්ථා අපි අත්දැක තියෙනවා.

සමාජ සාධාරණත්වය, මූලික මිනිස් අයිතිවාසිකම්, සමානාත්මතාව මායිම් නොකරන පාලනයකට එරෙහිව සියලු ප්‍රගතිශීලී බලවේගයන් අන්‍යොන්‍ය අවබෝධයකින් යුතු ගමනකට ඒකරාශී විය යුතු යුගයකට අද අපි මුහුණ දී සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment