මේ සතියේ සමාජ දේශපාලන අංශ කැළඹීමට පත් කළ ආන්දෝලනාත්මක පුවත වූයේ එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර විසින් කරන ලද මැතිවරණ කල්දැමීම සම්බන්ධ ප්‍රකාශයකි. රංගෙ බණ්ඩාර යෝජනා කළේ මෙම අසීරු අවස්ථාවේ මැතිවරණ නොපවත්වා මේ රට ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දෙවසරකින්වත් කල්දැමිය යුතු බවය. මෙය හුදු පුද්ගල ප්‍රකාශයක් නොව රටේ ජනාධිපති ධුරය හොබවන රනිල් නායකත්වය දරන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් එම පක්ෂ මූලස්ථානය වන සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී කරන ලද්දක් වීම නිසා ඒ පිළිබඳව දැඩි සමාජ අවධානයක් මෙන්ම දේශපාලන කැළඹිල්ලක්ද ඇති විය. මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ වෘත්තීය සංගම් අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මෙය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක් ලෙස හැඳින් වූහ. එහෙත් එහි ඊට වඩා යමක් ඇඟවෙන බව දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහස විය. සමන් රත්නප්‍රියට අනුව මේ මැතිවරණ කල් දැමීමේ අදහස ඇතැම් පුද්ගලයන් විසින් ද ඉදිරිපත් කරනු ලැබූවකි.

මෙම යෝජනාවට පක්ෂව කතා කළ එකම දේශපාලන චරිතය වූයේ සී.වී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පමණි. නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පැවසුවේ එබඳු මැතිවරණ කල් දැමීමකට සූදානම් වුවහොත් අධිකරණයට යන බවය. ජ.ජ.බයේ විජිත හේරත් චෝදනා කළේ රංගෙ බණ්ඩාරගේ යෝජනාවේ පසුපස ජනාධිපති රනිල් ද සිටින බවටය. උදය ගම්මන්පිල සඳහන් කළේ මැතිවරණයක් ජයගත නොහැකි ආණ්ඩුව පරාජය පිළිගෙන මෙබඳු යෝජනා ගෙන එන බවය. මේ අයට අමතරව සිවිල් සංවිධාන ක්‍රියාකාරීහුද මේ යෝජනාව හෙළා දුටුවෝය. එසේ වුවද ජනාධිපති රනිල් පමණක් නොව අගමැති දිනේෂ් ද පැවසුවේ නිසැකයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවය. එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් විශේෂ අනාවරණයක් ලෙස දක්වා තිබුණේද ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් තහවුරු කර ඇතැයි යන පුවතය.

ජනාධිපතිගේ කට්ටිය සහ රංගෙ බණ්ඩාරගේ මුට්ටිය!

මෙබඳු පුවත් සමාජ ගතවන්නේ එක් එක් අයගේ හිත්ලු ලෙස හෝ මනෝ විකාර වශයෙන් යැයි කී දෙනෙක් පිළිගනිත්ද? ඇත්තටම රංගෙ බණ්ඩාර මේ අදහස ප්‍රසිද්ධ කළේ සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදීය. ඔහු ඒ සඳහා හේතු සාධක පවා දක්වා තිබුණි. ඔහුගේ යෝජනාවේ එය නිසි ක්‍රමවේදයකට පාර්ලිමේන්තුවේද අනුමැතිය ලබාගෙන ජනමත විචාරණයකින්ද අනුමත කර ගත යුතු බව සඳහන් විය. එසේම 70 දසකයේ සිරිමාවන්ගේ පාලන සමයේදී මහ මැතිවරණය කල් දැමූ බව ද ඔහු කියා තිබුණි. එහෙත් ඔහුට ජයවර්ධන යුගයේ ඒ සම්බන්ධ ඉතිහාසය අමතක වී ඇත. ඔහුගේ යෝජනාවට විරෝධය දැක්වීමට සිරිකොත ඉදිරියට ගිය පිරිසෙහි අයෙක් පැවසුවේ රංගෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබාදිය යුතු බවකි. එහෙත් අපට නම් හැඟෙන්නේ ඔහු එ.ජා.ප. නායකව සිටි ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සෙප්පඩ විජ්ජා පිළිබඳ අවබෝධයක් සහිත දේශපාලන චරිතයක් බවය. ජයවර්ධන විසින් එජාපයට අත්පත් කර දී තිබෙන කුප්‍රකට ජනමත විචාරණ අවමානය මෙන්ම එදා රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වූ බව පැවසෙන සංවර්ධන සභා මංකොල්ලය, යාපනය පුස්තකාලයට ගිනි තැබීම, නැක්සලයිට් චෝදනා නඟමින් දේශපාලන විරුද්ධවාදීන් සිරකර තැබීම පමණක් නොව ජයවර්ධනගේ ප්‍රමුඛ දේශපාලන ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පහරදීම වැනි ගර්හිත ක්‍රියාකාරකම්ද රංගෙ බණ්ඩාරට මෙන්ම ඒවා අමතක කළ අයට ද සිහිපත් කළ යුතුය. එපමණක් නොව වාමාංශික පුවත්පත් ලෙස පිළිගත් ඇත්ත, ජනදින පුවත්පත්වලට ද මුද්‍රා තැබූ ජයවර්ධන ලංකාවේ මැතිවරණ සිතියම වසර 10කට අකුළා දැමිය යුතු බව පැවසීමටද නිර්භීත විය. කුමක් වුවත් එදා ජයවර්ධන පාලන සමයේ පැවැත්වුණු ජනමතවිචාරණය හෙවත් ලාම්පු කළගෙඩි සෙල්ලම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට එකතු කළ දූෂිත, අශ්ලීල, ප්‍රචණ්ඩ වාර්තා වෙනම පෙන්වා දෙමින් මැතිවරණ ක්ෂේත්‍රයේම ප්‍රබලයන් විසින් ලියා පළකරන ලද කෘතිද කීපයකි. ඒවා යළි යළිත් උපුටා දැක්විය යුතු නැත.

රංගෙ බණ්ඩාර තම යෝජනාව පිළිබඳව පැහැදිලි කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ද කියා තිබේ. (එය හෙට 03) සිදු කෙරේ. කුමක් වුවද මෙරටේ බොහෝ දේශපාලනඥයන් බලයට තිබෙන මජරකම හෙවත් බලකාමය සම්බන්ධයෙන් ප්‍රබුද්ධ පුරවැසියෝ ඉඳුරා දනිති. රංගෙ බණ්ඩාර ඒ බලකාමී දේශපාලනඥයන්ගේ රූකඩයක් වූයේද යන්න අපට කිව නොහැක. එහෙත් ඔහු හත්පොළේ ගාගත්තා මදිවාට ආණ්ඩුව ද අපහසුතාවකට පත් කළ බව නම් ඉතා පැහැදිලිය.

ජනතා පරමාධිපත්‍ය පිළිබඳ කෙබඳු අලංකාර ඇසුණත් මෙරටේ පාලකයන් බහුතරයක් විසින් අපට ඉතිරිකර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම වනසමින් ඒ ජනතා බලය අවභාවිත කිරීම පිළිබඳ අප්‍රසන්න අත්දැකීම්ය. මැතිවරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයකි. එය රටේ ජනතාව සතු පරම අයිතියකි. එහෙත් ඒ පරම අයිතියට එරෙහිව සිදුවන කූට-වංචනික මෙහෙයුම් කොපමණද? පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව එබඳු අයෙක් පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමූ බව ද කවුරුත් දනිති. ඒ සමඟම ඒ වර්ගයේ චෞර චරිත තවත් ඇති බවක්ද කියැවුණි. එහෙත් රටේ නීති සම්පාදනය කෙරෙන උත්තරීතර ආයතනයෙහි එබඳු දූෂිතයන්, වංචනිකයන් සිටීම අනුමත කළ හැකිද? අද ජනතාවට ඉතිරිව ඇත්තේ දූෂිත දේශපාලනඥයන්, අමන නිලධාරීන්, වසල වෙළෙඳ සිටුවරුන් ඇතුළු චෞර වළල්ලක් විසින් හපයක් බවට පත්කරන ලද රටකි. නීතිගරුක පුරවැසියන්ට හා රාජ්‍ය නිලධාරීන්ට වුවද අදත් දේශපාලන ගහලයන්ට යටත්වීමට සිදුව තිබේ. පුත්තලමේ උසස් රාජ්‍ය නිලධාරියකුට තර්ජනය කළ පුවතක් සති කීපයකට පෙර ඇසුණි. ඒ දේශපාලනඥයා සිය වරප්‍රසාද අවභාවිත කරමින් රත්රන් හොරෙන් රැගෙන එද්දී ගුවන්තොටුපළේදී අසු වූවෙකි. නියමිත රේගු දඩය අඩුවෙන් ගෙවා ආණ්ඩුවේ පනත්වලට පවා ඔහු අත එසවීම කෙබඳු සරදමක්ද?

ඉතිහාසියේ එකම දෙය වරක් ඛේදවාචකයක් ලෙසද තවත් වරක් විහිළුවක් නැතහොත් කොමඩියක් ලෙස ද සිදුවිය හැකි බව කාල් මාස්ක්ගේ ප්‍රකට කියමනකි. එදා ජයවර්ධන එම පක්ෂයට ලබා දී තිබෙන බලය පිළිබඳ කුප්‍රකට පරමාදර්ශ විසින් සිදු වූ විපත් ඛේදවාචකයන් දන්නා අය අතර වත්මන් ජනාධිපති රනිල් ද සිටියි. ජේ.ආර්. ජයවර්ධන රැස් කළ මැකියාවෙලි හා කෞටිල්‍ය යන දෙදෙනා විසින්ම “බලය” සම්බන්ධයෙන් දක්වා තිබෙන අදහස්වල බලපෑම් ජනාධිපති රනිල්ට තිබේ දැයි අපට නිශ්චිතව කිව නොහැක. එහෙත් බලය යනු ආචාර ධර්ම හා සදාචාරය නොතකන දෙයක් බව මැකියාවෙලිගේ ද ප්‍රින්ස් (The Prince) කෘතිය පෙන්වා දී තිබෙන බව නම් ඔහු දැන සිටිය යුතුය. ඒ කුමක් වුවත් ජයවර්ධන – ප්‍රේමදාස යුගවල ප්‍රමුඛ භූමිකාවක් නියෝජනය කළ අයගෙන් අදත් සක්‍රීයව සිටින ප්‍රධාන චරිතය වන්නේද රනිල්ය. එනිසා මෙරටේ දේශපාලනයේ ඉතිහාසය තුළ තිබෙන අඳුරු පැල්ලම් – විකෘති හැසිරීම් පිළිබඳව ඔහුට බොහෝ සැමරුම් ද තිබෙන බව අපගේ වැටහීමය.

මෙරටේ ජනාධිපති ධුරයෙන් ඔහු ඈත්කිරීමට ජනතාවට අවශ්‍ය වුවත් ඔහුගේ දෛවය ඊට වඩා බලවත් බව ඔහුගේ මේ ජනාධිපති භූමිකාව දෙස බලන අපගේ අදහසය. සිය දේශපාලන භූමිය තුළ නිබඳව ප්‍රතිවාදීන් ලෙස කටයුතු කළ රාජපක්ෂවරුන්ට මෙරටේ ජනාධිපති ධුරය සඳහා ඔහු තෝරා ගැනීමට සිදුවීම ද දේශපාලන සරදමක් වැන්න. අද රාජපක්ෂවරුන්ගේ පක්ෂය ඔහුගේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළට සහාය දෙයි. සති කීපයකට පෙර එම දේශපාලන පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද නිවේදනයක් නිකුත්කරමින් ඔහුට දන්වා සිටියේ මේ ආණ්ඩුව මෙන්ම ඔහු හොබවන ධුරයේ ද තාවකාලික එකක් බවය. එහෙත් එය හුදු දියාරු නිවේදනයක් බව බොහෝ දෙනෙකුගේ අදහස විය. ඒ මොනවා වුවත් දැන් මේ තිබෙන්නේ ජනාධිපතිවරණයක දොරකඩය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින්ද යම් යම් නිවේදන කරනු ලැබ ඇත. එහෙත් ජනාධිපතිවරණය පිළිබඳ නිල නිවේදනය ලබන ජූලි මස සිදු කෙරෙන බව ද කියති.

පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද කෙබඳු නිවේදන සිදු කළත් මේ මොහොත වනවිටත් ජනාධිපති රනිල්ගේ ආර්ථික සැලසුම් ඇතුළත් පනත් කෙටුම්පත් කීපයක්ම පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබේ. ඒ පනත් පිළිබඳ මෙතෙක් ප්‍රබල සංවාදයක් ගොඩනැඟී නොතිබුණත් ඒවා නිසැකයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිලාෂයන් බව හැඟේ. මේ පනත් සම්මත වීමෙන් පසු අලුතින් පත්වන ජනාධිපතිවරයකු මෙන්ම ආණ්ඩුවක් ද හිරවනු ඇතැයි ද සමහරු පවසති. පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් ඒවා තුළ අහිතකර යෝජනා වේ නම් එකඟ නොවන බව ප්‍රකාශ කළත් ආණ්ඩුව ඒ යෝජනා වෙනුවෙන් පෙනී සිටින බව ද පැහැදිලිය. මෙම ආර්ථික පරිවර්තන යෝජනාවලින් 1978දී සම්මත කළ පනත් කීපයක් නිෂේධවන බව ද කියනු ඇසෙයි. මේ අතරම ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන්ට අනුව ආණ්ඩුව විසින් සම්මත කරන ලද දේපළ වටිනාකම මත පැනවෙන අලුත් බද්ද ජනතාවට පීඩාකාරී වනු ඇත. එපමණක් නොව ආණ්ඩුව සූදානම් වන්නේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සතු බලතල ආපසු ලැබෙන අලුත් ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බව ද ඔවුන්ගේම විවේචනයකි.

මේවා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරට ආ යුත්තේ එම ක්ෂේත්‍රවල විද්වතුන් පමණක් නොවේ. ජනාධිපතිවරණ සටනේ කැපී පෙනෙන (මේ වනවිට) නායකයන් වන සජිත් හා අනුර මේ ආර්ථික පනත්, ඒවායේ ආදිනව පිළිබඳව තමන්ගේ ස්ථාවරය වහාම දැක්විය යුතුය. පොදුජන පෙරමුණේ නායක මහින්ද මේ වනවිට නිකුත්කර තිබෙන නිවේදනයට ජනාධිපති රනිල් දක්වන ප්‍රතිචාරය ද පැහැදිලිය. ඇත්තටම පාර්ලිමේන්තුව තුළ ජනාධිපති වෙනුවෙන් අත ඔසවන බහුතරයක් තවමත් සිටිති. රාජපක්ෂවරුන් මොනවා කීවත් මේ දක්වා ජනාධිපති රනිල් විසින් කරන ලද හැම දෙයකටම ඔවුන්ගේ කණ්ඩායමේ අනුමැතියද ලැබී ඇත. කැබිනට් මණ්ඩලය ද ඒ සියල්ල අනුමත කර තිබේ. අද ජනාධිපති රනිල් මෙන්ම ඔහුගේ අනුගාමිකයන් හා සහායකයන් විසින් මතුරනු ලබන එක් දෙයක් ඇත. එනම් ආර්ථිකය බිඳ වැටුණොත් රට යළි කිසිවෙකුට නඟාසිටුවිය නොහැකි වන බවය. ඒ සඳහා ජනාධිපති රනිල් හැර වෙනත් කිසිවෙක් නොමැති බවය. එහෙත් අපේ ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය මෙයට වෙනස්ය. ජනාධිපති රනිල්ට රටේ නීතිය හා ආර්ථිකය ස්ථාවරත්වයකට පත් කිරීම පිළිබඳ ගෞරවයක් පිරිනමන අය පවා පවසන්නේ මේ තිබෙන්නේ තාවකාලික ආර්ථික සහනයක් බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා රටේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් කිරීම ජනාධිපතිගේ අපේක්ෂාව බවට විවේචනයක් ද ඇත. එසේම මේ වනවිට විදුලිය, ඉන්ධන, ගෑස් සඳහා පෝලිම් නැති වුව ද ඒවාට ගෙවිය යුතු මුදල දෙතුන් ගුණයකින් වැඩිවී තිබේ. ඇති හැකි අයගේ ජීවිත නිර්බාධිතව ගලාගියත් ලක්ෂ 70ක් පමණ බව කියන දුප්පතුන්ගේ ඉරණම කුමක්ද? පසුගිය දිනවල විiුත් හා මුද්‍රිත මාධ්‍ය කීපයක්ම රටට අනාවරණය කරන ලද අතිශය දුක්බර පුවතක් විය. ඒ අනුරාධපුරයේ කැබිතිගොල්ලෑවේ දිළිඳු මවක් පිළිබඳ අතිශය සංවේදී කතාවකි. හදිසි අනතුරකින් සිය සැමියා මරු වැළඳ ගනිද්දී මේ මව හා දරුවන් සිව් දෙනෙක් මෙලොව තනිව සිටිති. මාධ්‍යවල දැක්වූ විස්තර අනුව විදුලියත්, ජලයත් කපා දැමූ ඇගේ නිවසෙහි මෑතකදී ලැබුණු කිරිකැටි බිළිඳෙකුද සිටියි. කටුමැටි ගෙයක ජීවත් වූ ඔවුන්ට රජයෙන් ලැබුණු සුළු මුදලකින් නිවසක් ගොඩනඟා ගත හැකි වුව ද ඒ නිවසම පිරී තිබෙන්නේ අගහිඟම්වලිනි. මේ ඉරණමට ගොදුරු වූ තවත් පවුල් දහස් ගණනක් සිටිති. විදුලිය නැති ජල පහසුකම් නැති ගවමඩුවලට සමාන වහල යට ජීවත් වන මේ ජනතාවගේ ජීවිත කෙබඳු ශෝකාන්තයක් දැයි මැති ඇමැතිවරු දනිත්ද? තමන්ගේ නිල මැදුරු ජලයෙන් යටවී ඇතැයි අඳෝනා නගන මන්ත්‍රීලා සිටිති. තමන්ගේ දරු පවුලටම රක්ෂණ ආවරණ ඉල්ලන, සුව පහසු වාහනයක් තීරු බදු රහිතව ඉල්ලන රටක කිසිදු හිමිකමක් නැති පවුල්- ජනතාව කොපමණ සිටිත්ද? එපමණක්ද? මේ කිසිවෙකුට ලෙඩට බෙහෙතක් දුකට පිහිටක්වීමට රෝහලක්වත් නැති බව ද අපි දනිමු. බිල් නොගෙවන අයගේ විදුලිය හා ජලය කපා දැමීම වරදක් දැයි මැති ඇමැතිලා ඇසිය හැකි වෙති. එසේය උතුමාණනියි අපි කියමු. එහෙත් මෙරටේ දුප්පත්කම පිළිබඳ සැබෑ චිත්‍රය එය නොවේ දැයි අපි අසන්නෙමු.

ජනාධිපතිගේ කට්ටිය සහ රංගෙ බණ්ඩාරගේ මුට්ටිය!

රටේ ආර්ථිකයේ ප්‍රතිලාභ තවමත් වරප්‍රසාද සහිත සුළු පිරිසක් භුක්තිවිඳින බව ද අපි දනිමු. විශ්‍රාමිකයාගේ ලේ කඳුළින් රැස්කර ගත් අර්ථ සාධකය, ඉතුරුම් ගිණුම රටේ ආර්ථිකය වැනසූ අයගේ පැවැත්ම සඳහා ලබාගන්නා බව ද අපි දනිමු. එපමණක් නොව අර්ථ සාධකයට ගෙවන පොලියද මහ බැංකු නිලධාරීන්ට විශේෂ ප්‍රදාන ලබාදෙන බව ද ප්‍රකට රහසකි. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා මේ දුෂ්ට පිළිවෙතට අභියෝග කර තිබේ. කුමක් වුවත් මේ විනාශකාරී ගමන එලෙසම යෑමට මේ ආණ්ඩුවට තවත් කල් ලබාදිය යුතුද? මහජන මතයට බියෙන් මැතිවරණ සිහිපත් වන විට නිදි වර්ජිතව සිටින දේශපාලන ප්‍රභූ පැලැන්තිය රැකගත යුත්තේ කුමක් නිසාද? ප්‍රජාතන්ත්‍රවාදීව එළඹෙන කවර අවස්ථාවකදී වුවද ඒ සඳහා සිය අහිංසක නිහඬ විරෝධය දැක්වීමට ඡන්දපළට යන ගමන කල් දැමීමට යෝජනා කරන්නේ කවුද? ඒ පැන්සල් කොටය ජනතාව අතට පත්වීම වළක්වාලන්නේ ඇයි?

දැන් අපි මේ දිනවල ස.ජ.බ.යත්, ජා.ජ.බයත් අතර ආර්ථික විවාදය සම්බන්ධයෙන් මතුවී තිබෙන වාග් සංග්‍රාමය ද විමසා බලමු. අපට පෙනී යන ආකාරයට නම් මේ විවාදයට වුවමනා කරන කෝඳුරු තෙල් හත්පට්ටිය ලැබී තිබුණත් ඉතිරි ටිකක පොඩි අඩුවක් ඇත. ඒ නිසා විවාදය අබල් බබල් වී තිබේ. ඇත්තටම මේ පක්ෂවල ඇතැම් අය සිතන්නේ මේ රටේ ජනතාව මෙලෝ රහක් නැති මී ගවයන් ලෙසද? ස.ජ.බ.යේ තර්ක න්‍යාය වන්නේ ආර්ථික කමිටුව ගැන කතාවක් නැතුව ජා.ජ.බ.ය මෙම විවාදය මග හරින බවකි. ජා.ජ.බ.ය කියන්නේ නායකයන් දෙදෙනාගේ විවාදය වැදගත් බවත් ලබන 6 වැනිදා එයට තම පක්ෂය සූදානම් බවත්ය. ඒ කතාව පිළිගත හැකිය. ආර්ථික කමිටුවලට අවශ්‍ය නම් එබඳු විවාදයක් කළ හැකිය. එහෙත් මේ ජනාධිපතිවරණ දොරකඩ ජනතාවට අවශ්‍ය නායකයන්ගේ මුහුණට මුහුණ විවාදයකි. එහෙත් ස.ජ.බ.ය එයට සූදානම් නැති බව පෙනී යයි.

ජා.ජ.බ.යේ අනුර කුමාර ඍජුවම පවසන්නේ තමන් එළඹෙන 06 වැනිදා සජිත් සමග එම විවාදයට සූදානම් බවය. එනිසා වංගු ගසමින් හේතු දැක්වීම පසෙක තබා එයට සහභාගි වන ලෙසය. එය එක්තරා අභියෝගයක්ද වැන්න. ඇත්ත වශයෙන්ම මේ දෙපොළට තම අර්ථික ප්‍රතිපත්ති මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන වුවද එහිදී විග්‍රහ කිරීමට අවකාශ සැලසෙනු ඇත.

මේ වනවිටත් සමාජ, දේශපාලන හා ආර්ථික අංශවල ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ ආණ්ඩුවේ අලුත් ආර්ථික පනත් පිළිබඳව ද සජිත්ට මෙන්ම අනුරට ද කරුණු දැක්වීමට ඒ විවාදය ඉවහල් වනු ඇත. දැනට තිබෙන කරුණු අනුව පෙනී යන්නේද රටේ ආර්ථික ක්‍රියාවලියේ පදනම විය හැක්කේ මේ පනත් බවය. පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත විය හැකි බවය. ස.ජ.බ.යේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ පසුගිය දිනක කොළඹදී පවසා තිබුණේ මේ පනත්වල අයහපත් කොන්දේසි ද තිබන බවය. එපමණක් නොව දැන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත විදුලිය ප්‍රතිව්‍යූහගතකරණ පනත් කෙටුම්පත සමාගම්වල අභිමතය පරිදි සකස් කරන ලද්දක් බවට විදුලි ඉංජිනේරු සංගමය චෝදනාවක්ද කර තිබේ. එසේම විදුලිය හා ඉන්ධන බිල්පත් අඩු කළ හැකි බව ද ඒවා සම්බන්ධ වෘත්තිය සංවිධානවල නියෝජිතයෝම පවසති.

මේ අනුව ජනාධිපතිවරණ සටනේ ප්‍රමුඛ අපේක්‍ෂකයන් දෙදෙනා ලෙස මෙන්ම මෙරටේ අදත් වෙනසක් සිදුකරන බවට ප්‍රකාශ කරන පක්ෂවල නායකයන් වශයෙන්ද ඔවුන්ට සිය ආර්ථික සැලසුම් ඒ හා අදාළ අභිනව ප්‍රතිසංස්කරණ රටට ඉදිරිපත් කිරීමට ද ඒ විවාදය යොදා ගත හැකිය. රටේත් ජනතාවගේත් ඉරණම භාර කළ යුත්තේ කාටද? යන උභතෝකෝටියටද ඒ විවාදය තුළින් පිළිතුරක් ලබා ගැනීමට ද අවකාශ සැලසෙනු ඇති බවම කිව යුතුය. ජනතාව බලා සිටින්නේ ආර්ථික කමිටුවල අය දෙස නොව රටට වගකිව යුතු දේශපාලන පක්ෂ දෙකක නායකයන් දෙසය. ඒ දෙස බලා තම අනාගතය පිළිබඳ තීන්දුවක් ගැනීමටය. මේ සමාජ දේශපාලන ආර්ථික ගමන වෙනස් කළ හැකි දේශපාලන ධාරාව කුමක්ද යන්නත් ඒ නායකත්වය පැනසර එකක්ද යන්නත් උරගා බලන උරගල වන්නේද සජිත් – අනුර විවාදය බව අපගේද අදහසය. අපි එතෙක් බලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment