ජනාධිපතිගේ ඡන්ද වෙනස් කිරීමේ කතා ගැන බයත් හිතෙනවා – ඩලස් අලහප්පෙරුම

281

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය, තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපතිවරයා සෙසු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන මුත් එම කිසිදු අවස්ථාවකදී වචනයකුදු සඳහන් නොකරන ලද පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව හදිසියේ ප්‍රකාශයක් නිකුත් කිරීම එම මැතිවරණය කල් දමා ගැනීමේ කූට උපක්‍රමයක් බවද සඳහන් කළේය.

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය මහජන අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (10දා) පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කළේය.

මම මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමා කිව්වෙ මැතිවරණ කොමිසම එක්ක මේ පිළිබඳව වචනයක්වත් කතා කරල නෑ කියලා. කිසිදු අදහස් විමසීමක් කරලා නෑ කියලා. එතුමා මේ අදහස දැනගෙන තියෙන්නෙත් මාධ්‍ය වාර්තා කළාට පස්සේ. අන්න ඒක තමයි මේකෙ තියෙන බරපතලම අනතුර. පනතට අනුව පළාත් පාලන ආයතනවල ආයු කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල උපයෝගි කරගෙන වසරක් දිගු කරලයි තියෙන්නෙ. ඒ වසරෙත් අවසන් කාර්තුව තමයි මේ ගෙවෙමින් යන්නේ. ඒ කියන්නේ මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන අදියරට තමයි අපි නීත්‍යානුකූලව එළඹිලා ඉන්නේ. එහෙම තියෙද්දි මෙහෙම අදහසක් පළ කරන්නේ අවංක වුවමනාවෙන් නොවෙයි කියන එක තමයි අපේ අත්දැකීම.

පළාත් පාලන සභික සංඛ්‍යාව යම්කිසි සමාලෝචනයකට ලක් කරන එක වරදක් නොවෙයි. ඒක හොඳ වැඩක්. මොකද විශාල මහජන මතයක් ගොඩනැගිලා තියෙනවා දරන්න බැරි මහජන නියෝජිතයෝ සංඛ්‍යාවක් නඩත්තු කරනවා කියලා. එනිසා ඒ සංඛ්‍යාව සමාලෝචනය කිරීමේ කිසිම වරදක් නෑ. නමුත් අපිට සාධාරණ සැකයක් තියෙනවා ආණ්ඩුව මේ සූදානම් වෙන්නෙ මැතිවරණ සිතියම අකුලා දැමීමේ කූට උත්සාහයකදැයි මේ නිරත වෙන්නේ කියලා. විපක්ෂයේ සියලු‍ බලවේග මේ දුෂ්ට අරමුණ පරාජය කරන්න ඒකරාශී කරනවා.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමියන් අනුශාසනාවක් පැවැත්වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ යන මහත්වරුද සභාව ඇමතූහ.

advertistmentadvertistment
advertistmentadvertistment