ජනාධිපතිවරණයට මම එනවා; පාස්කු ප්‍රහාරයට මට සමාව දෙන්න – මෛත්‍රී ඉල්ලයි

243

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ

(31 දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එසේම තමා කිසිවක් නොදැන සිටියදී, තමාගේ පාලන කාලය තුළ වෙනත් පිරිසක් සිදුකරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

මට විරුද්ධව කවුරු කුමන්ත්‍රණ කළත් මම කිසිසේත් බියවන්නේ නැහැ. අධිකරණයට සහ නීතියට ගෞරව කරනවා. අධිකරණයට හිස නමනවා. නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය හොඳට කියවා තිබෙනවා. මට ප්‍රශ්න තිබුණත් ඉදිරි ජනාධිපතිවරණයේදී පක්‍ෂයේ සහාය ඇතිව ඡන්ද කීයක් ලැබුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන අධිෂ්ඨානයෙන් ජනාධිපතිවරණයට තරග කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාව තුළ මා පිළිබඳ වෛරයක්, ක්‍රෝධයක් නැහැ. කතෝලික ජනතාව ජීවත්වන වත්තල, ජාඇල, වෙන්නප්පුව, හලාවත ඇතුළු ප්‍රදේශවල බෝම්බ පිපිරිමෙන් පසු මා විවිධ උත්සවවලට ගිහින් තිබෙනවා. එම ජනතාව මාව සාදරයෙන් පිළිගෙන තිබෙනවා. මට වයස අවුරුදු 15, 16 දී තමයි මම බයිබලය කියෙව්වේ. ඒත් මගේ පාලන කාලය තුළ වෙනත් පිරිසක් කරපු ක්‍රියාවක් නිසා මට අද වන්දියක් ගෙවන්න වෙලා. මියගිය ජනතාව හා තුවාල ලැබූ අයගෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.

මේ නඩු තීන්දුවේදී පැහැදිලිව පෙන්වා දී තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වරදක් කළොත් ඒ වැරැද්දට ජනාධිපතිවරයා ද වගකිව යුතු බව. ඒ ඡේදය අනුව තමයි මට කෝටි දහයක වන්දියක් ගෙවන්න සිදු වුණේ. එම මුදල හිතවතුන්ගේ සහයෝගය ඇතිව ගෙවීමට මා කටයුතු කරනවා යැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment