උතුරේ ද්‍රවිඩ ප්‍රජාවට අභියෝගයක් :

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට අනිවාර්යෙන්ම කළ යුතු පූර්ව අවශ්‍යතාවය වූයේ 80 දශකයේදී ආරම්භ කළ බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ගෙන ඒමයි. නැතහොත් මිලිටරි ක්‍රියාදාමයක් තුළ විනාශ කර දැමීමයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1989/1990 කාලයේදී එල්. ටී . ටී. ඊ. සංවිධානය හැර අනෙකුත් සියලුම ඉන්දියාව පෝෂණය කළ ත්‍රස්තවාදී සංවිධාන පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමත් විය. 1993 මැයි දිනයේදී එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කළ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ත්‍රස්තවාදී කණ්ඩායම් කීපයක් ප්‍රධාන දේශපාලන ධාරාවට ගෙන ඒමේ පූර්ණ ගෞරවය හිමිවිය යුතුය. ඊට වසර 19 කට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට බාධාවක් වූ ඒ එල්. ටී . ටී. ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නේය. එසේ නොවන්නට සංහිඳියාව ඇති කිරීම හීනයක් පමණක් නොවන්නේද?

උතුරු පළාතේ ද්‍රවිඩ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහව 2005 නොවැම්බර් 17 දින පැවති ජනාධිපතිවරණයේදී පරාජය කිරීම සම්බන්ධයෙන් බලවත් ලෙස පසුතැවිලි වෙන බව පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ද්‍රජාස) ප්‍රබලයකු වන යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ මැයි 24 වැනි දින යාපනයේ පැවති උත්සවයකදීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය. ජනාධිපති නීතිඥ සුමන්තිරන් අවධාරණය කළේ එජාප නායකයාගේ දේශපාලන ගමනට 2005 දී කළ බාධා කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ ද්‍රවිඩ ජනතාව අද කනගාටු වෙන බවයි. මන්ත්‍රීවරයා වැඩි විස්තරවලට ගියේ නැත. එලෙස කනගාටු වන ජනතාව අතර එම මන්ත්‍රීවරයා ද සිටින බවට කිසිදු සැකයක් නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 ජනාධිපතිවරණයට තරග කරන බවට සැකයක් නොමැත. එවැනි තත්ත්වයක් තුළ සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේදී දුන් සංඥාව සක්සුදක් සේ පැහැදිලිය. ඒ මීට වසර 19 කට පෙර උතුරේ ජනතාව එජාප නායකයාට කළ බරපතල වැරැද්ද යම් ආකාරයකට නිවැරදි කිරීමේ අවස්ථාවක් මෙවර ජනාධිපතිවරණයේදී ඇති බවයි. එම අවස්ථාව මේ වසරේ සැප්තැම්බර්/ඔක්තෝබර් පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයේදී උතුරේ ජනතාවට ලැබෙනු ඇත.

සුමන්තිරන්ගේ එම සංඥාව උතුරට පමණක් නොව සමස්ත ද්‍රවිඩ ප්‍රජාවටම බව අමුතුවෙන් කිව යුතු නැත. එම ප්‍රකාශය කර දිනකට පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් නැවතත් පැහැදිලි කිරීමක් කළේය. තමන්ගේ ප්‍රකාශය ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය අනුමත කිරීමක් හෝ නොකිරීමක් ලෙස නොසැලකිය යුතු බවට ප්‍රකාශ කළේය. ඒ ට්විටර් පණිවිඩයක් හරහා ය. එම ට්විටර් ප්‍රකාශය කිසිසේත්ම අදාළ නැත. මින් පෙර කිසිදු අවස්ථාවක සුමන්තිරන් මන්ත්‍රීවරයා හෝ ඔහු නියෝජනය කරන සන්ධානයේ කිසිවකු එවැනි ප්‍රකාශයක් කර නොමැත.

ඇත්ත වශයෙන්ම ට්විටර් පණිවිඩයෙන් සිදු වූයේ ජනාධිපතිවරයා ඉදිරියේ කළ ප්‍රකාශය තහවුරු වීමකි.

පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය නොවේ. ඒ එය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවන බැවිනි. එබැවින් සුමන්තිරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි (Illankai Thamil Arasu Kadchi) මන්ත්‍රීවරයකු ලෙසය. සමස්ත මන්ත්‍රී කණ්ඩායම සමන්විත වන්නේ 10 දෙනෙකුගෙනි. එම පක්ෂයට හිමි එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි.

ජනාධිපතිවරණයේදී එම පක්ෂය නිල වශයෙන් කුමන තීරණයක් ගනු ලැබුවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා දුන් සංඥාව ද්‍රවිඩ ජනතාවට නොසලකා හැරීමට නොහැකිය. එතුමාගේ ස්ථාවරය ද ඉතාමත් පැහැදිලිය. ට්විටර් පණිවිඩ හරහා මොනවා කීවත් සුමන්තිරන්ගේ කැමැත්ත වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයයි.

සුමන්තිරන් යාපනයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා බලමු. එම ප්‍රකාශය කිරීමට පසුබිම් වූයේ කුමක්ද?

රනිල්ට කකුල් මාට්ටුවක් වසර 2005 ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක විය. ඒකාබද්ධ හමුදාමය-ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් තුළින් ජනවාර්ගික පදනමක් මත ඒකීය ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ හැකි බවට එල්. ටී. ටී. ඊ. සංවිධානයට ඒ වනවිට දැඩි විශ්වාසයක් තිබිණි. ඒ කාලයේදී නෝර්වේ රාජ්‍ය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම සහ වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ සිටීම තමන්ගේ උපාය මාර්ගික සැලසුමට ප්‍රබල බාධාවක් ලෙස ත්‍රස්තවාදී නායකත්වය තීරණය කළේය.

හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට අවශ්‍ය දේශපාලන වාතාවරණය නිර්මාණය කිරීමේ මූලික පියවර ඒ වනවිට ද කොටි ත්‍රස්තවාදීන් ගෙන තිබිණි. එම පියවර වූයේ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් කොටි සංවිධානය ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ප්‍රකාශයට පත්කිරීමයි. ඒ 2001 වසරේදීය. ත්‍රස්තවාදී සංවිධානය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතිශය තීරණාත්මක ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹි තිබිණි. ඔවුන්ගේ මාර්ග සිතියම නැතහොත් න්‍යාය පත්‍රය මෙලෙස විය:

(1) රජය සහ කොටි සංවිධානය සටන් විරාම ගිවිසුමට 2002 පෙබරවාරි 21 වැනි දින ඇතුළු විය.

(2) නෝර්වීජියානු රජයේ අධීක්ෂණය යටතේ හය වරක් විදේශයන්හි සාම සාකච්ඡා පැවැත්වූ අතර 2003 අප්‍රේල් අග කොටි සංවිධානය සාම ක්‍රියාවලියෙන් ඉවත් විය.

(3) ඒ සමගම ‘ළමා සොල්දාදුවන්’ බලෙන් බඳවා ගැනීම සහ අනෙකුත් ත්‍රස්තවාදී ක්‍රියා වේගවත් කළ අතර රටේ සමස්ත දේශපාලන-ආරක්ෂාව ව්‍යාකුල තත්ත්වයකට පත් කළේය. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වූ ආකාරයටම නැතහොත් ඔවුන් බලාපොරොත්තු වූ ලෙසටම එවකට ජනාධිපති චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ 2004 පෙබරවාරි 7 වැනි දිනය. මහ මැතිවරණයට අප්‍රේල් මාසයේ දින නියම විය. එක්සත් ජනතා නිදහස් සංවිධානය ජයග්‍රහණය කළේය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ද්‍රවිඩ ජාතික සන්ධානය ආසන 22 ජයග්‍රහණය කර පාර්ලිමේන්තුව තුළ කොටි සංවිධානය වෙනුවෙන් ප්‍රබල කණ්ඩායමක් ස්ථාපිත කළේය. හතරවන ඊළාම් යුද්ධයට අවශ්‍ය මූලික තත්ත්වය ඇති කළේය.

(4) විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් 2005 අගෝස්තු මාසයේ දී ඝාතනය කරමින් තමන් අවසන් යුද්ධයට සූදානම් බවට ආණ්ඩුවට අභියෝග කළේය. එම අභියෝගයට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නොවීය.

(5) ත්‍රස්තවාදීන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ගේ අවසන් තුරුම්පුව ක්‍රියාත්මක කළේය. නොවැම්බර් 17, 2005 ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම උතුරේ ජනතාවට තහනම් කළේය. උතුරේ නියෝගය නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට ද ඍජුව බලපෑවේය. වික්‍රමසිංහ ඡන්ද 186,000 මහින්ද රාජපක්ෂට පරාජය විය. වික්‍රමසිංහගේ පරාජයට හේතු වූයේ ද්‍රවිඩ ඡන්ද වර්ජනයයි. උතුරේ ජනතාව සුමන්තිරන් මන්ත්‍රීවරයා මැයි 24 වැනි දින යාපනයේ දී සඳහන් කළ 2005 කළ බාධාව එයයි.

රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා 2005 ජනාධිපතිවරණයේදී හෝ ඊට පෙර වසරේ පැවැත්වූ මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළාද? 2005 ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේ දේශපාලනයට ඒමට සුමන්තිරන්ට හීනෙකින්වත් බලාපොරොත්තුවක් තිබෙන්නට නැත.

සුමන්තිරන් 2010 අප්‍රේල් පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ලයිස්තුවෙනි. ද්‍රවිඩ සන්ධානයට ආසන 14 හිමිවූ අතර සුමන්තිරන් එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා විය. අප්‍රේල් 2004 මහ මැතිවරණයේදී කොටි ත්‍රස්තවාදීන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් ආසන 22 ජයග්‍රහණය කළ ද්‍රවිඩ සන්ධානය ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පැවැත්වූ පළමුවන මහ මැතිවරණයේදී ආසන 14 කට සීමා විය.

ද්‍රවිඩ සන්ධානය වැඳ වැටී කීවත් අතිශය වැඩි ද්‍රවිඩ කතා කරන බහුතරයක් ජීවත් වන උතුරු නැගෙනහිර පළාත් දෙකේ සියලුම ඡන්ද කොට්ඨාස වේලුපිල්ලේ ප්‍රභාකරන් පරාජය කළ සෙනෙවියා ජයග්‍රහණය කළේ කෙළෙසද? ත්‍රස්තවාදය විනාශ කර දැමීම එම ජනතාවගේ සැබෑ සතුටට හේතු වූවාද?

මෙවර ද්‍රවිඩ ඡන්දය තීරණාත්මකයි

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) තුන්වැනි බලවේගය ලෙස ඉදිරියට පැමිණීමත් සමග ම ද්‍රවිඩ ඡන්දය 2024 ජනාධිපතිවරණයේදී අතිශය තීරණාත්මක වෙනු ඇත. උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙන් පිටත පළාත් හතේ ඡන්දය බෙදී යන ආකාරය තවමත් පැහැදිලි නැත.

නමුත් ඡන්ද මිලියන 6.9 ලබාගෙන 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ 2022 මාසයේදී පලවා හැරීම තුළ උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් පිටත ඇතිවූ තත්ත්වය හේතුවෙන් ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂයට), වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ සමගි ජන බලවේගය (සජබ) අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තර්ජනයක් වෙන බවට එම ප්‍රවාහයන් දෙක භීතියට පත්වී ඇත.

යුද්ධයෙන් පසුව හතර වැනි ජනාධිපතිවරණය

ත්‍රස්තවාදය පරාජය කළ පසුව පැවැත්වූ පළමුවන ජනාධිපතිවරණයේදී (ජනවාරි 2010) ප්‍රධාන තරගකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ සහ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා විය. උතුර සහ නැඟෙනහිර ඡන්ද අතිශය බහුතරය ෆොන්සේකාට හිමිවිය. ද්‍රවිඩ ජාතික සන්ධානය ෆොන්සේකා වෙනුවෙන් එජාපය සහ ජවිපෙ මෙහෙයවූ ඡන්ද ව්‍යාපාරයේ නිරත විය. නමුත් ඔහු පරාජය විය.

ඊට පසුව පැවැත්වූ ජනාධිපතිවරණයේදී (ජනවාරි 2015) ප්‍රධාන අපේක්ෂකයන් වූයේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේනයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැදිහත්වීම තුළ උතුර නැගෙනහිර පළාත්වල ඡන්දය සිරිසේනට හිමිවිය. සිරිසේන ජයග්‍රහණය කළේය. මෙම මැතිවරණයේදීද එජාපය, ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එක කණ්ඩායමක් විය.

යුද්ධයෙන් පසුව පැවැත්වූ තුන්වැනි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂට හිමිවිය. උතුරේ ඡන්ද ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැදිහත්වීමෙන් හිමිවුවත් යුද සමයේ ආරක්ෂක ලේකම්වරයා පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය.

මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ උතුරේ ඡන්ද අතිශය බහුතරය වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බව පැහැදිලිය. ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ පක්ෂ ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් විදේශීය බලපෑම් අනිවාර්යෙන්ම සිදු වෙනු ඇත. ජෙනරාල් ෆොන්සේකාට 2010 ජනාධිපතිවරණයේදී සහයෝගය දීමට ද්‍රවිඩ ජාතික සන්ධානයට බල කළේ ඇමෙරිකාව බව රහසක් නොවේ.

මෑතකදී වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උතුරු පළාතේ දින තුනක සංචාරය ජාතික මැතිවරණය ඉලක්ක කරගෙන කළ ව්‍යායාමයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය එසේ නොවන්නේ නම් සුමන්තිරන් මන්ත්‍රීවරයා 2005 උතුරේ ද්‍රවිඩ ජනතාව 2005 වික්‍රමසිංහව පරාජය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැත. (සුමන්තිරන් මන්ත්‍රීවරයා මෑතකදී යාපනයේදී ප්‍රකාශ කළේ ද්‍රවිඩ පක්ෂ සහ සිවිල් සංවිධාන ජුනි 9 වැනිදා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රැස්වෙන බවය. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ද්‍රවිඩ ජාතික අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඔහු විරුද්ධ බව ප්‍රකාශ කර තිබෙන පසුබිමකය. ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගත හැක්කේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටීමෙනි. ජනාධිපති නීතිඥයාගේ තීරණය නිවැරදිය.)

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය දේශපාලනික වශයෙන් ඉතාමත් වැදගත්ය. එතුමා සංචාරය ආරම්භ කළේ මැයි 24 දින යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැඟිල්ල විවෘත කිරීමෙනි. එම ගොඩනැඟිල්ල වසර 46 කට පසුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ පළමු ගොඩනැඟිල්ල වන අතර ඒ සඳහා රුපියල් මිලියන 942 ක් වැය කර තිබේ.

එදිනම ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට සහභාගි විය. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය. “උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිත බව එදින පැවැත්වූ උත්සවයේදී ප්‍රකාශ විය.

එදිනම ජනාධිපතිවරයා ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගි විය. එහිදී එතුමා ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් දුන්නේය. මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බවට එජාප නායකයා පොරොන්දු විය. තවත් පොරොන්දුවක් දුන්නේය. ඒ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමග සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවයි.

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) ඊට පසු දින (මැයි 25) ජනාධිපතිවරයා විවෘත කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා 2017 වසරේ යහපාලන රජය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ ඔහු සතුටු වන බව පැවසීය.

ඊට පසුව ජනාධිපතිවරයා ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ පැවැත්වූ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි විය. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

මැයි 26 දින ජනාධිපතිවරයා පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වව්නියා දිස්ත්‍රික් වැඩසටහනට එක් විය. ඊට පසුව, එදිනම ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිනනක්කර ඔප්පු ලබාදීමේ උත්සවයට පුදුකුඩිඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලයේදී සහභාගී විය.

පුදුකුඩිඉරුප්පු හිදී පැවති උත්සවයෙන් පසුව මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා සහභාගී විය. නෙදර්ලන්ත රජයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිකර තිබේ. යහපාලන කාලයේ ආරම්භ කළ එම ව්‍යාපෘතිය ද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මෙය වන අතර මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්, ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් මෙය සමන්විතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 26 දා පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.

ඉන් පසුව නෙදර්ලන්ත රජයේම සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

මෙම නව තෙමහල් ගොඩනැඟිල්ල හෘද රෝග ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය (Cath Lab), හෘද උරස් ශල්‍යාගාරය (Cardiothoracic theatre), හෘද දැඩි සත්කාර ඒකකය (Cardiac ICU), එකෝ කාඩියෝග්‍රැෆි (Echo Cardiography), ව්‍යායාම විද්‍යුත් කන්තුක රේඛන (Exercise ECG‍), ජංගම රුධිර පීඩන අධීක්ෂණ ඒකකය (Ambulatory BP monitoring), ජංගම විද්‍යුත් කන්තුක රේඛන (Ambulatory ECG monitoring) අධීක්ෂණ ඒකකය ආදී නවීන පහසුකම්වලින් සමන්විතය.

එම සියලුම ව්‍යාපෘති ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට ප්‍රබල රුකුලක් බව 2015 ජනාධිපතිවරණයේදී ජනතා මුදලින් රුපියල් මිලියන 600 සිල් රෙදි බෙදූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට (අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට) අමුතුවෙන් කිවයුතු නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment