ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිමල් අමරසිරිගේ මරණයට වගකිව යුතුයි

86

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කුලියාපිටියේදී කියයි

කතාව ආරම්භයේ දීම ඉතාමත් ශෝකජනක පුවත් කියන්න ඕන. අපේ දේශපාලන මතිමතාන්තර, අපේ දර්ශනය හා ප්‍රතිපත්ති පිළිබඳ බරපතල වෙනස්කම් තිබුණත් අපත් සමග විපක්ෂයේ කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණය ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂණයේදී එයට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා නිවිතිගල ගම් ප්‍රදේශයේ නිමල් අමරසිරි මැතිතුමා ජීවිතක්ෂයට පත්වූ බව. මේ මෘග ආණ්ඩුව, මේ දුර්දාන්ත ආණ්ඩුව, මේ ඒකාධිපති ආඥාදායක ආණ්ඩුව, මේ මිනීමරු ආණ්ඩුව මේ මරණයට වගකියන්න ඕන. ඒකට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුමයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසුවේ 27දා කුලියාපිටියේදී පැවැති “නිරුත්තර රටකට උත්තරය” මැයින් පැවති ජන හමුවේදීය. එහිදී ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහය තුළ මහජන ඉල්ලු‍ම මහජන පැතුම වෙනුවෙන් මහපාරට බැස්ස නිමල් අමරසිරි මහතාට එල්ල කළ ඒ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට පක්ෂයක් ලෙස බලවේගයක් ලෙස විරෝධය පළ කරන බවත් ජාති ආගම් කුල මළ පක්ෂ පන්ති භේදයකින් තොරව මැතිවරණයක් ඉල්ලා කරන අරගලයට වෙනුවෙන් අපිද සටන් වදින බවත් කියන්න කැමතියි.

වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇවිත් නාඩගම් නටනවා. එයා කියනවා ඡන්දෙට සල්ලි දෙන්න බෑලු‍. ඡන්දෙට සල්ලි නෑලු‍. සල්ලි තිබුණත් දෙන්න ඡන්දයක් නෑලු‍. හැබැයි එහෙම කියන ගමන් ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා බාර දෙනවා. ඒත් පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා කියනවා ඡන්දෙට සල්ලි දෙන්න බෑලු‍. සල්ලි නෑලු‍. ඡන්දෙත් නෑලු‍. මම අහනවා ඡන්දයක් නොමැතිනම් තමන්ගේ පක්ෂය නාමයෝජනා දුන්නේ ඇයි?

මේ ජනාධිපතිවරයාගේ එකම අරමුණ ඉලක්කය තමයි මැතිවරණය කල් දැමීම. ඔබගේ ඡන්ද අයිතිය උදුරාගැනීම. එය මානව අයිතියක්. එය මූලික අයිතියක්. නමුත් මේ රට විනාශ කළ රාජපක්ෂ පවුලේ අතකොලු‍වන් 134ක් එකතුකර ගෙන පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වෙලා ඒ හයිය අතට අරගෙන එයා තීන්දු කරනවා. එයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධුරය, මැතිවරණ කොමිසම, මුද්‍රණාලායේප්‍රධානියා ලෙස රටම නටවනවා. මම කියන දේ මත මමත්වය ඇති කර ගෙන. මේ මමත්වය තුළ බදු බර වැඩි කරලා විදුලි බිල සියයට 250කින් වැඩි කරලා තෙල් මිල වැඩි කරලා. දැන් මිනිසුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. අම්මලා තාත්තලට දූදරුවන්ට කන්න දෙන්න පොත් අරන් දෙන්න සපත්තු අරන් දෙන්න පොත් බෑග් ගන්න හැකියාවක් නෑ.

අද මේ ක්‍රියාත්මක වෙන්න රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව. රාජපක්ෂලා රකින ආණ්ඩුව. රාජපක්ෂලාගේ ජන පීඩක ජන ඝාතන ප්‍රතිපත්තිය. වෙනසක තිබෙන්නේ අද ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නොවීමයි. ඒත් රනිල් වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂලාගේ ජනාධිපති. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහට කියනවා දැන් කවුරු කැමති වුනත් අකැමැති වුණත් ඔබේ අතේ ලේ තැවරුණා.

මේ රටේ මහජන අයිතිය නැති කරන්න විනාශ කරන්න ගිහින් මැතිවරණ සිතියම හකුලන්න ගිහින් ඔබේ දෑතේ ලේ තැවරී අවසානයි. අපි ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මේ රටේ සකලවිධ බලවේග ඒකරාශී කර ගෙන රටේ ජනතාවගේ ඡන්ද අයිතිය ජයග්‍රහණය කරන්න කැපවෙනවා.

මේ ගරාවැටුණු දේශය ගොඩගන්න කෙසේද? මේකට උත්තරය මොකද්ද? මේකට ඇති එකම උත්තරය විවෘත ආර්ථික මානුෂීය ධනවාදී උත්තරය පමණයි. අපේ රට තුළ මේ ගරාවැටුණු දේශය කොමියුනිස්ට්වාදයෙන් මාක්ස්වාදයෙන් ලෙනින්වාදයෙන් ස්ටාලින්වාදයෙන් ට්‍රොක්සි වාදයෙන් ගොඩ ගන්න බෑ. අපි මේ රටේ ධනය උත්පාදනය කරලා නිපදවන ධනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හරහා සෑම ජන කොට්ඨාසයකටම බෙදී යන ආකාරයට ආදායම් සහ සම්පත් සමසේ බෙදී යන ආකාරයට මේ වැඩපිළිවෙළ සකස් කිරීමයි අපේ ක්‍රමය. මේ රටට අවශ්‍යයි අලු‍ත් දර්ශනයක් වැඩපිළිවෙළක්. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තනි පුද්ගලයකුට නොවෙයි කණ්ඩායමකට. ඒ දක්ෂ පක්ෂ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සතුවයි. බය වෙන්න එපා.

කටුපොත-දයානන්ද

advertistmentadvertistment
advertistmentadvertistment