ජනාධිපති අයි.එම්.එෆ්. වුවමනාවට මහ බැංකුවත් ස්වාධීන කරන්න හදනවා

77

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලු‍වට ලක්කරමින් අයි.එම්.එෆ්. එකේ වුවමනාවට මහ බැංකුවත් ස්වාධීන කරන්න උත්සාහ ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා මෙසේද කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව නිශ්චිතව සඳහන් වෙලා තිබෙනවා මේ රටේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බවට. ඒ බලතල ප්‍රකාරව තමයි 2022 දෙසැම්බර් මාසයේදි 2023 වර්ෂය සඳහා මුදල් වෙන් කළේ. ඒ අයවැය යෝජනාවලදි තමයි මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලයන 10ක් මුදල් වෙන් කළේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ, මුදල් අමාත්‍යවරයාගේ වගකීම තමයි ඒ මුදල් නොපමාව මැතිවරණ කොමිසමට ලබාදීම. නමුත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා වෙට්ටු දමමින් ව්‍යවස්ථා විරෝධී ලෙස මේ මුදල් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණය මේ ඓතිහාසික තීන්දුව ලබාදුන්නා. අද මුදල් ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් නොසලකා කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍යාංශයේ මුදල් බාරව ඉන්න ප්‍රධාන නිලධාරියා තමයි ලේකම්වරයා. ඔහු භාණ්ඩාගාරයේ ලේකම්වරයා. මුදල් නිකුත් කිරීම ඔහුගේ වගකීම. ඔහු එය මුදල් අමාත්‍යවරයාට පවරා නිහඬව ඉන්නවා. ඔහුට වගකීම නොසලකා හරින්න කිසිම අයිතියක් නැහැ. ඔහු ව්‍යවස්ථානුකූලව බැඳී ඉන්නවා මේ මුදල් මැතිවරණ කොමිසම වෙත ලබාදෙන්න. මෙවැනි ක්‍රියාවක් සිදුවන පළමුවෙනි වතාව. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික මැදිහත්වීම්වලින් තමයි මේ ඡන්දයට අවශ්‍ය මුදල ලබානොදෙන්නේ.

දැන් අලු‍ත් ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. පාර්ලිමේන්තුවේ දොළවත්ත මන්ත්‍රීවරයා සහ සේමසිංහ මන්ත්‍රීවරයා, අධිකරණ තීන්දුව විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ කළා. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් නොවෙයි. පැහැදිලිවම අධිකරණ තීන්දුව විධායකයට නියෝගයක් ලබාදීම සිදුකර තිබෙනවා. මීට පෙරාතුවත් විවිධ අවස්ථාවලදී අධිකරණ තීන්දු කැබිනට් මණ්ඩලයට විරුද්ධව අරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ එකක් කැබිනට් එකට වෙනස් කරන්න බැහැ. එසේ වෙනස් කරනවා නම් නැවත පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. කැබිනට් මණ්ඩලය බැඳී ඉන්නවා පාර්ලිමේන්තුවේ සම්මත වූ මුදල් කොමිසමට ලබාදෙන්න. ඒක තනි පුද්ගලයෙකුට ඔළුවෙ අමාරුවක් නිසා වෙනස් කළ නොහැකියි. ඒ නිසා මැතිවරණයට අවශ්‍ය මුදල ලබාදිය යුතුයි. දොලවත්ත සහ සේමසිංහ මන්ත්‍රීවරුන් මතු කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙසට. අධිකරණ නියෝගයෙන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීමක්.

රනිල් වික්‍රමසිංහ අද මැතිවරණ කොමිසමත්, අධිකරණයත් හෑල්ලු‍වට ලක්කරනවා. එහෙම රනිල් අයි.එම්.එෆ්. එකේ වුවමනාවට මහ බැංකුව ස්වාධින කරන්න උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවේ සම්මතවී තිබෙන 17, 19, 20, 21, ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපිත වුණු ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ නැහැ. ඒවා හෑල්ලු‍වටලක්කරමින්, චක්ගෝලයෝ දමා අධිකරණය හෑල්ලු‍වට ලක්කරමින් කටයුතු කරනවා.

අපි ජනතාවගේ පැත්තේ සිට ආණ්ඩුවට අවධාරණය කරනවා, වහාම මේ අධිකරණ තීන්දුවට හිස නමා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදෙන්න. ඊට එරෙහිව යන්න විධායකට, කැබිනට් මණ්ඩලයට අයිතියක් නැහැ. ඒ වගේම දැනට දින නියම කර තිබෙන මැතිවරණය අප්‍රේල් 25දා පැවැත්වීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් ලබාදෙන්න. දැනට දින නියම කර තිබෙන තැපැල් ඡන්දය සඳහා මාර්තු 28, 29, 30 දිනවලට අවශ්‍ය කරන ආකායට මුදල් වහාම ලබාදෙන්න. දැනටත් එසේ නොකර තිබෙනවා නම්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. අපි ජාතික ජන බලවේගය විදිහට දැනටමත් අධිකරණයට ගොස් තිබෙනවා. මැතිවරණයට බාධා කිරීම අභියෝගයට ලක්කරමින් අලු‍ත් නඩු කටයුත්තකට ආරම්භය ගෙන තිබෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්ව මේ ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කර තිබෙනවා. ඒ ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment