ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබූ වාහන 56ක් එම කාර්යාලයේ නොමැති අතර එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් ද සිදුකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම මෙම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කරගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එසේ කාර්යාලයේ නොතිබූ එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කළ බව තහවුරු කිරීමට ප්රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් වාහන 45ක් ලියාපදිංචි කොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ජනාධිපති කාර්යාලය සහ ඒ ආශ්රිත ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් වාහන ලියාපදිංචි වීමට හෝ එම ලිපිනයන් භාවිත කිරීමට හේතු වූ කරුණු පිළිබඳ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබූ බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් ක්රමවේදයක් හඳුන්වා දීම සහ එය අධීක්ෂණය කළයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත. ජනාධිපති ලේකම් නමින් ලියාපදිංචිව ඇති වාහන පිළිබඳ තොරතුරු කැඳවීම් කර පොලිස්පති වෙත ලිපි යොමුකර ඇති බවත් මේ පිළිබඳ මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා සමග සාකච්ඡා කරමින් පවතින බවත් ප්රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි