ජනාධිපති තෝරාගැනීමේදී මන්ත්‍රීවරුන් සිතුවේ තම සුබසාධනය පමණයි – රාජිත සේනාරත්න

133

මන්ත්‍රීවරු ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී මූලික අරමුණ කරගත්තේ තමන්ගේ සුභසාධනය මිස ජනතාවගේ සුභ සාධනය නොවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේ දීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

ලක්ෂ ගණනින් ඡන්ද අරගෙන ජනාධිපති පත් වුණු රටේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්ද 134ක් අරගෙන ජනාධිපති ලෙස පත් වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන්. පාර්ලිමේන්තුවේ අපේ ඡන්ද හැසිරුණු හැටියෙන් අපි දන්න දේ තමයි රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ මතයයි කියන්නේ දෙකක් බව. එය මුළු ලෝකයටම නැවතත් සනාථ කර පෙන්නුවා. මුළු රටේම ජනමතය තමයි අද පොහොට්ටුවට තියෙන්නේ. එහෙම අවස්ථාවකදී අපි උත්සාහ කළා අපේ ප්‍රධානත්වයෙන් ඩලස් අලහප්පෙරුම ජනාධිපති නිලවරණයට යොමු කරලා සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ලෙස බලාපොරොත්තු වෙන්න. ඒ අරමුණ වෙනුවෙන් අපි සටන් වැදුණා. මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න රටේ ජනමතයට සමාන්තරව පාර්ලිමේන්තුවේ මතය හසුරුවීම සඳහා අපි එයට විශාල වෑයමක් දැරුවා. එහිදී හැම තැනම අපි කතා කළේ දේශපාලන පක්ෂ නායකයන් එක්ක එම පක්ෂවල සහය ලබාගන්න. ඒ අනුව පාර්ලිමේන්තුවේ තිබෙන පක්ෂ බැලුවොත් පොහොට්ටුවත් යූඇන්පී ඇතුළු සුළු පක්ෂ ඇරෙන්න අනෙකුත් සියළුම පක්ෂ අවසාන මොහොතේදී අපිත් එක්ක හිටියා. නමුත් පොහොට්ටුව ඒ කරපු ක්‍රියාදාමය කළේ පක්ෂයත් එක්ක නෙමෙයි. ඔවුන් ගනුදෙනු කළේ මන්ත්‍රීවරු එක්ක. ඒ වගේම ඔවුන් ගනුදෙනු කළේ බලය සහ ධනය එක්ක. හැබැයි අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. එය රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා පැවසුවා. ඒ වගේම මේ තියෙන අර්බුදයෙන් එළියට එන්නේ කොහොමද කියලා අපි හැම පක්ෂත් එක්කම කතා කළා. නමුත් ඒ අය ඉදිරිපත් කළේ එහෙම එකක් නෙමෙයි සල්ලි, බලය සහ තනතුරුයි. ඉල්ලන අයට සල්ලි ලබා දුන්නා. ගෙවල් පිච්චුන අයට වන්දි ලබා දෙන්න වාහන පර්මිට්, පඩි වැඩිකිරීම් වැනි දේවල් තමයි ඒ අය ඉදිරිපත් කළේ. එහිදී මන්ත්‍රීවරු ඡන්දය දුන්නේ තමන්ගේ සුභසාධනය සඳහා. ජනතාවගේ සුභ සාධනය සඳහා නෙමෙයි .එයින් නැවත වරක් ඔප්පු කළා මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ තමන්ගේ සුබසාධනය වෙනුවෙන් මිසක් ජනතා සුබසාධනය වෙනුවෙන් නෙමෙයි කියලා.

අද පොහොට්ටුවේ අයට දේශපාලනයක් නෑ. ඒ අයගේ එකම දේශපාලනය රාජපක්ෂවරුන්ට දෙවියෝ, මහරජාණන් කියාගෙන ඔවුන්ගේ හොඳ කියාගෙන ඡන්ද ඉල්ලුවා මිසක් වෙන කිසිම දේශපාලන අවබෝධයක් නැහැ. ඒ කට්ටියත් එක්ක ඒ මතය ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙලා තානාපතිවරුන්ට උගන්වන්න හදනවා. එයා ඇමරිකාව තානාපතිතුමියට කියනවා ඔය ගොල්ල කැපිටල් ගොඩනැගිල්ල අත්පත් කරගත් අයට ගහපු විදියට තමයි අපිත් ක්‍රියා කළේ කියලා. හැබැයි කැපිටල් ගොඩනැගිල්ලට ආවේ අරගලකරුවන්ද කැරලිකරුවන්ද කියා පැහැදිලි කළ යුතුයි.

සර්වපාක්ෂික හා ආණ්ඩුවට ජනතාවාදී දෙයක් නැහැ. එහෙනම් කොහොමද අපේ ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ .රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න තියෙන්නේ තමන් පිරිසිදු තැනක හොඳ දේශපාලන කඳවුරක ඉන්නකොට ඔහුගේ සියලු ක්‍රියා හොඳ වුණා වගේ නරක තැනකට ගියාම ඔහුත් දැන් රාජපක්ෂවරයෙක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ .ඒ තියෙන සංස්කෘතියට ඇබ්බැහි වෙන කොට එතන රඳා පවතින්න නම් රාජපක්ෂ වරයෙක් විය යුතුයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment