ජනාධිපති ධුරය දරන කාල සීමාවේ රනිල්ට එරෙහි පාස්කු නඩු බැහැ

194

මෛත්‍රීට එරෙහි නඩු දිගටම

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල 2 වැනි විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඒ මහතාට එරෙහි නඩු ඔහු ජනාධිපති ධුරය දරන කාලසීමාවට පමණක් බහා තබන ලෙසට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ඊයේ (15 දා) නියෝග කළේය.

කෙසේ වෙතත් එම නඩුකරවල සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තබන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙකුත් සියලුම විත්තිකරුවන්ට එරෙහිව එම නඩු පවත්වාගෙන යෑමට අතිරේක දිසා විනිසුරු නියෝග කළේය.

කටුවාපිටිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර 182ක් අතරින් නඩු 33ක් පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදා කැඳවූ අවස්ථාවේ දී, මෙම නඩුකරවල 02 වැනි විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් සහ විශේෂයෙන්ම එම ප්‍රතිපාදන අර්ථ නිරූපණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ප්‍රකාශ කරන ලද තීරණය ප්‍රකාරව එම නඩුකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් ඔහුට එරෙහි එම නඩු බහා තබන ලෙසයි.

එම අවස්ථාවේ දී මෙම නඩුකරවල 01, 02 සහ 03 විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට සැල කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව බහා තබන්නේ නම් මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තැබිය යුතු බවයි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු බහා තැබීමට කරනු ලබන ඉල්ලීම හබ නොකරන නමුත් අනෙක් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා පවත්වාගෙන යෑමට කිසිදු නෛතික බාධාවක් නොමැති බැවින් 01, 02 සහ 03 වන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ඒ අනුව මෙම කරුණට අදාළ විමසීම ලිඛිත දේශන මගින් සිදුකිරීමට නියෝග කළ මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ඊයේ (15 දා) දින එයට නියෝගය නිකුත් කළේය.

මෙම නඩුකර සඳහා පැමිණිලිකරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු, නදීෂා පෙරේරා සහ ඈන් සෙනෙවිරත්න යන නීතිඥ මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන්ත ද අල්මේදා, නීතිඥ ඉර්ෆාන් බාචා, නීතිඥ ඉන්දික බණ්ඩාර අබේකෝන් සමගින් ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් උදානි කරුණාරත්න මහත්මියගේ උපදෙස් මත ට්‍රවෝ ප්‍රනාන්දු, තුන සහ හතර විත්තිකරුවන් වෙනුවෙන් ලක්ශිකා බක්මීවැව සහ පහ සහ හය විත්තිකරුවන් වෙනුවෙන් ධම්මික සිල්වා යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක සහ මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment