ජනාධිපති රනිල් මුහුණ දෙන උභතෝකෝටිකය!

466

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ ආගමික ස්ථාන ගණනාවකම වන්දනා මාන කටයුතුවලට සහභාගි වීම, ඉකුත් සති අන්තයෙහි සමාජ දේශපාලන මෙන්ම වෙනත් ජනමාධ්‍යවලද ප්‍රධාන පුවත් ලෙස දැක්විණි. අපේ ආගමික නායකයන් වහන්සේලා පමණක් නොව, අන්‍යාගාමික පූජකවරුන් විසින් ද දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායක් වන්නේ රාජ්‍ය නායකයන්ට ඒ ජාතික මෙහෙවර පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ආශිර්වාද හා අනුශාසනා කිරීමය. ජනාධිපති රනිල්ගේ මෙම ඓතිහාසික පූජාභූමි වන්දනාව සිදු වන්නේ මේ රටේ සමාජ ආර්ථික දේශපාලන වසයෙන් දැඩි අවදානම් හා අනතුරුදායක අත්දැකීම්වලින් විඩාවටත් පීඩාවටත් පත්ව සිටින වකවානුවකදීය. මෙයට වගකිව යුත්තේ අදූරදර්ශී හා ළාමක දේශපාලන ක්‍රියාකාරකම් මෙන්ම අගතිගාමී හා දූෂිත පුද්ගලයන්ගේ මුග්ධ මෙහෙයුම් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙයට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය ද සිය නිල රාජ්‍ය කටයුතු සමාරම්භය සඳහා අනුරාධපුර ඓතිහාසික අග නගරය තෝරා ගෙන තිබිණි. එහෙත් එදා නාහිමිවරුන්ගෙන් ආශිර්වාද අනුශාසනා ලබා ගත් ගෝඨාභය අනුගමනය කළ සදොස් පිළිවෙත් නිසා ඔහුට එම ධුරය ද හැර දමා රටින් බැහැවීමට ද සිදුවූ බව පමණක් මෙහිදී සඳහන් කරන්නේ එය මේ වනවිට මුළු රට ම දන්නා දේශපාලන සංසිද්ධියක් වී තිබෙන නිසාය.

කෙසේ හෝ ජනාධිපති රනිල් ඒ ඓතිහාසික අනුරාධපුරයෙහි විචිත්‍ර ඉතිහාසය ද අපට සිහිපත් කර දී තිබිණි. ඔහු අවධාරණය කළේ එදා එජාපය නමැති උල්පතින් බිහිවූ ඒ දේශපාලනය අද විවිධ වර්ණය හා හැඩතලවලින් යුතු වී තිබෙන බවය. යළි එතැනට ආපසු යෑමට නොහැකි වුවත් මේ රට වෙනුවෙන් සැවොම එක්විය යුතු බව ද ඔහු සඳහන් කළේය. ජනාධිපති රනිල් නිවැරදිව පෙන්වා දුන් පරිදිම ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුවේ පළාත් පාලන ඇමැතිවරයා ලෙස එදා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මෙම අනුරාධපුර පූජා නගරය ඉදිකිරීමට මුල්විය. බණ්ඩාරනායකට එම නගරය සංරක්‍ෂණය කිරීමේ නිමිත්ත පහළ වූ ආකාරය පිළිබඳ අපූරු ප්‍රවාදයක් ද ඇත. එදා පළාත් පලාන ඇමැති ලෙස අනුරාධපුරයෙහි නිල සංචාරයක යෙදුණු බණ්ඩාරනායක රාත්‍රි නවාතැන් සඳහා ගොස් තිබුණේ ග්‍රෑන්ඩ් හෝටලයටය. ආහාර අනුභවයෙන් පසු සුව නින්දකට වැටුණු ඔහු එක්වරම අවදි වූයේ සිහනයක් දුටු නිසා ය. එසේ පිබිදුණු ඔහු දුටුවේ තම ළය මත අලංකාර බෝ පතක් රැඳී තිබෙන ආකාරයයි. එහෙත් එම බෝ මත එලෙස තැන්පත් වූ ආකාරය ඔහුට ප්‍රහේලිකාවක් වී ඇත. අවසානයේදී ඒ ඔස්සේ සිත යොමු කළ බණ්ඩාරනායක තුළ අනුරාධපුර පූජා නගරය පිළිබඳ සිතිවිල්ල ඇති වූ බව සඳහන් වේ. බණ්ඩාරනායක චරිතය ලියූ මලල්ගොඩ බන්ධුතිලක ඒ බව දක්වා තිබේ.

ජනාධිපති රනිල් මුහුණ දෙන උභතෝකෝටිකය!

අප මෙය විශේෂයෙන් උපුටා දැක්වූයේ මෙරටේ පහළ වූ හා වර්තමාන රාජ්‍ය නායකත්වය ද ඒ ඓතිහාසික අනුරාධපුර පූජා භූමියෙන් ලැබෙන කිසියම් ආධ්‍යාත්මික පිබිදීමක් ඇතැයි හැඟෙන හෙයින් විනා ආගමික උන්මාදයකින් නොවන බවද සඳහන් කළ යුතුය. ඇත්ත වසයෙන්ම මේ භූමිය අනාදිමත් ඉතිහාසය මුළුල්ලේම රාජ්‍ය පාලනය මෙන්ම රාජ්‍යත්වය පිළිබවඳ ද සාධනීය සිතුම් පැතුම් මානසික පරිවර්තන සඳහා පාලකයන්ට බලපෑම් කර තිබෙන බවද ඉතිහාසයේ සඳහන්ව ඇත. කුමක් වුවත් ජනාධිපති රනිල් තුළ ද පටු දේශපාලනය ඉක්මවූ අභිනව සමාජ ආර්ථික පෙරළියක සාධනීය ලකුණු එහිදී පළවූ අදහස්වලින් දැකගත හැකිවීම ද විශේෂත්වයකි.

ජනාධිපති රනිල් සඳහන් කරන දේශපාලන සම්මුතිය පක්‍ෂ භේද හැර රට වෙනුවෙන් එක්වීම නිසැකයෙන්ම කිසිවකුට බැහැර කළ නොහැකි වටිනා යෝජනා වේ. එහෙත් ඒ සඳහා තවමත් හරස් වන ස්වාර්ථය මත පදනම් වූ දේශපාලනයක් ද තිබේ. එහිදී අනුශාසනා කළ නායක හිමිවරුන් විසින් අවධාරණය කරන ලද්දේත් රට හා ජනතාව වෙනුවෙන් නිර්භීත තීරණවලට එළැඹිය යුතු බවය. මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරත්න හිමියන්ගේ අනුශාසනාව රාජ්‍ය නායකත්වයක වගකීම් සම්භාරය පිළිබඳ ගැඹුරු හා ප්‍රබල අදහස්වලින් සුපෝෂණය වූවකි. ජාතියක් වසයෙන් රට පත්ව සිටින දුර්භාග්‍යයෙන් විනාශයෙන් රට බේරා ගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ රටේ ඇතැම් දේශපාලන චරිත අන්ධ විශ්වාසවලින් ආතුර වී සිටින බවය. ආගමික අවබෝධය විනා ආගමික උන්මාදය ද ප්‍රබුද්ධ දේශපාලන නායකයන් අත්හළ යුතු බව පැවසීමට උන්වහන්සේ අභීත විය. බොහෝවිට මෙරටේ දේශපාලනයේදී ආගම හා ජාතිය යොදා ගත් පටු සීමාව උන්වහන්සේගේ ඒ විදග්ධ අනුශාසනාව තුළින් විවේචනයට ලක්ව තිබේ.

මිහින්තලාධිපති නාහිමියන් පැවසූ පරිදිම ජනාධිපති රනිල් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ඉතා අඩුවෙන් ආගමික භක්තිය ප්‍රදර්ශනය කළ අයෙකි. එහෙත් ඔහු ඉතිහාසය, බුදුදහම හා වෙනත් ආගම් පිළිබඳ දැනුම් සම්භාරයකින්ද යුතු දේශපාලන චරිතයකි. බටහිරට වඩාත් සමීප අයෙක් ලෙස ඔහුට පොදු වූ විවේචනයක් තිබුණත් ඔහු මෙරටේ සංස්කෘතියකින් සිටින බව ද සඳහන් කළ යුතුය. මිහින්තලා විහාරාධිපති හිමියන් එහිදී ජනාධිපතිවරයාට සිහිපත් කළේ මෙරටේ රාජ්‍ය ආයතනවල සිටින නිල හොරුන්ට ඉඩ නොදිය යුතු බවය. එසේම ජනමතය නොතකා ක්‍රියා කිරීම නිසා අගමැති හා ජනාධිපති යන දෙදෙනාටම එම ධුර අත්හැරීමට සිදු වූ ආකාරය ද උන්වහන්සේ විසින් කරන ලද අවධාරණයක් විය. මෙය මතුපිටින් පෙනෙන සරල සිහිපත් කිරීමක් ලෙස පෙනී ගියත් එහි ඇඟවීම් වඩාත් පුළුල් හා ගැඹුරු බව නිසැකය.

මේ වනවිට බොහෝ දෙනෙක් විශේෂයෙන් රාජපක්‍ෂ කඳවුර නියෝජනය කරන අය කල්පනා කරන්නේ දැන් තම පාලනයට එල්ල වූ විරෝධතා විවේචන අවසන්වී ඇති බවය. තවමත් පසුගිය මැතිවරණයෙන් තම පක්‍ෂයට ලැබුණු ජනවරම හා ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම තිබෙන බවය. එහෙත් මෙය බරපතළ මුළාවකි. ගාලු මුවදොර අරගලකරුවන් පමණක් නොව සාමාන්‍ය ජනතාව ද මේ තිබෙන පාලනය නො ඉවසති. සිවිල් සංවිධාන හා සමහර වෘත්තීය සංවිධාන ඉඳුරාම මේ පාලනය දිගටම තිබිය යුතු යැයි කල්පනා නො කරති. එහෙත් රට යළි ස්ථාවර වනතෙක් රනිල්ගේ පාලනය ඉවසිය යුතු බව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කල්පනා කරති. ඉතා ඉක්මනින්ම මහ මැතිවරණයක් සඳහා අවස්ථාව හිමිවිය යුතු බව ද ඔව්හු අදහස් කරති.

මිහින්තලා විහාරාධිපතීන් වහන්සේ අනුශාසනා කළේත් මේ තිබෙන දුඛිකිත සමය නිමවන තුරු ජනාධිපති රනිල්ට සියලුම පක්‍ෂවල සහාය හිමි විය යුතු බවය. ඇමැතිවරුන්ට විශේෂ වරප්‍රසාද සුඛෝපභෝගී වාහන ලබා නොදිය යුතු බවද උන්වහන්සේගේ උපදේශය විය. රටේ ජනතාව අන්ත අසරණව සිටිද්දී දේශපාලනඥයන් වී-8 :ඪ-8* වැනි වාහන භාවිත නොකළ යුතු බව පැවසූ උන්වහන්සේ යෝජනා කළේ ඇමැතිවරුන් සඳහා ඩබල් කැබ්රියක් වඩාත් උචිත බවය.

මෙය ඉතා වැදගත් මෙන්ම කාලීන යෝජනාවක් ද වේ. මේ රටේ ඇමැතිවරුන්ට පමණක් නොව, ප්‍රාදේශීය දේශපාලඥයන්ට හා රාජ්‍ය ආයතනවල සභාපති වැනි ඉහළ නිලධාරීන්ට ද මේ සුපිරි වාහන පිස්සුව තිබෙන බව රට ම දනී. රථගාය ලෙස හැඳින්වෙන මේ සඳහා බදු ගෙවන ජනතා මුදල් කෝටි ගණිනන් වැය කර තිබේ. පොදු ප්‍රවාහනයේ වැඩිපුරම ඇත්තේ බස් කබල් හා පහසුකම් නොමැති දුම්රිය මැදිරි සහිත අනාරක්‍ෂිත තත්ත්වයකි. ජීවිතයත් මරණයත් අතර හිරවී කාර්යාලයට වෙනත් ගමන් බිමන්වලට යොමුවන ජනතාව මේ රටේ මැති ඇමැතිවරුන්ගේ වාහන සංදර්ශන නො ඉවසන බව උන්වහන්සේලාත් ඉඳුරා දනිති.

නිදහසින් පසු රටේ රාජ්‍ය පාලනය අතට ගත් ස්වදේශීය ප්‍රභූවරුන්ට මේ රටට වුවමනා සමාජ ආර්ථික දේශපාලනයක් ගොඩ නඟා ගත නොහැකිවූ බව මේ ස්වාමීන් වහන්සේලා මෙන්ම මෙරටේ ප්‍රබුද්ධ හැම පුරවැසියෙක්ම අද වටහා ගෙන සිටියි. වසර 2500කට වැඩි අභිමානවත් ජාතික සංස්කෘතික උරුමයන් සියල්ලක්ම අද විනාශ මුඛයේය. අපට කලින් නිදහස ලැබුණු ඉන්දියාව අද මෙම කලාපයේ ප්‍රබල රටකි. අද අපට හුස්ම ගැනීමට පවා ඉන්දියාවේ ආධාර උපකාර අවශ්‍යවී තිබේ. ඒ ඒ දේශපාලනඥයන්ගේ සදොස් හා දූෂිත ආර්ථික ප්‍රතිපත්ති මේ රටට කළ විනාශය සුළුපටු නොවේ. අපේ රට අගාධය කරා යන ගමන වේගවත් කළ ප්‍රධාන චූදිතයා මේ දේශපාලනඥයා බව පමණක් සඳහන් කරමු. දින කීපයකට පෙර පුවත්පතක පළ වූයේ මැති ඇමැතිවරුන් 60ක පමණ පිරිසක් ජල බිල්පත් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටියකට පොලු තබා ඇති බවය. එහෙව් වංචනිකයන්ගෙන් රටක් ගොඩ නැඟිය හැකිද?

මහජන මුදලින් නඩත්තු වන ජීවිතයේ කිසිම දිනක රැකියාවක හෝ ව්‍යාපාරයක නිරත නොවූ බිලියනපතියන් වූ දේශපාලනඥයෝ ද මෙරටේ සිටිති. අද දේශපාලනයට පිවිසීමේ වරම් ලබාගත හැක්කේ ද ධනකුවේරයන්ට පමණි. සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වුවද මහ මැතිවරණයකට වැය කරන මුදල කෝටියකට අඩු වෙතොත් සුළු වසයෙනි. එසේ මුදල් වීසි කරන දේශපාලනඥයා ඊළඟට ඒ මුදල මෙන් තුන් හතර ගුණයක් උපයා ගනිති. ඒ සඳහා ඔහුට සියලු බලය, ශක්තිය තිබේ. නීතිය ඔහුගේ දෙපයට පෑගෙන දූවිල්ලකි. ඔහු වෙනුවෙන් මැරයෝ ද චෞරයෝ ද යුහුසුළුව ක්‍රියා කරති. වනාන්තර, ගංගා පමණක් නොව, රක්‍ෂිත ඇතුළු ජාතියේ බොහෝ සම්පත් ඒ දේශපාලන නිලයට බලයට යටත්ව ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඉලක්කම් බවට පත්ව තිබෙන ආකාරය කවුරු නො දකින්ද?

අපේ නායක හාමුදුරුවන් වහන්සේලා මොන ආකාරයේ අනුශාසනා සිදු කළත් මෙරටේ දේශපාලනයට සුජාත භාවයක් ලබාදිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ජාතිය හා ආගම දේශපාලනය වෙනුවෙන් විකුණන, භාවිත කරන අලජ්ජී දේශපාලනඥයෝ කොපමණ සිටිත්ද? මේ දේශපාලනයේ ප්‍රමුඛතාව නැතහොත් ප්‍රධාන අරමුණ බලයත් ඒ බලය යොදා ගනිමින් උපයන ධනයත්ය. දේශපාලනඥයන්ගේ වත්කම් ධනය පිළිබඳ සමාජයේ පාවෙන සියලු තොරතුරු සත්‍ය නොවන්නා සේම අසත්‍යය ද නොවේ. නැව් හිමියෝ ද ගුවන්යානා හිමියෝ ද මහා ධනකුවේරයෝ ද ඒ දේශපාලනඥයන් අතරම සිටිති. මේ දේශපාලනය පවුල් වාදය, ධනවාදය සමග මුසු වූ ග්‍රාම්‍ය ව්‍යාපාරයක් වැන්න. එහි සිරිත දුසිරිතය. එහි නීතිය අනීතියයි. බලය තර්ජනය හා මර්දනයයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු එහිදී පාලකයන් මුවාවන ආවරණයක් පමණි.

මේ යථාර්ථය බෞද්ධ නාහිමිවරුන් පමණක් නොව, අන්‍යාගමික නායකයෝ ද දනිනි. මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් මේ දේශපාලන නායකයන්ට මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට ද එල්ල කර තිබෙන විවේචන ඉතා නිර්දය හා ප්‍රබල බවද මෙහිලා සඳහන් කිරීම වටී. ඒ කෙබඳු තත්ත්වයක් යටතේ වුවද අදත් ඒ බොහෝ දෙනෙක් අපේක්‍ෂා කරන්නේ වරප්‍රසාද, ප්‍රතිලාභ හා වරදානයන් වීමද කනගාටුදායක සිද්ධියකි.

කෙසේ හෝ ජනාධිපති රනිල් අපේක්‍ෂා කළ සර්වපාක්‍ෂික ආණ්ඩුව පිළිබඳ අදහස අද සිහිනයක් පමණි. විපක්‍ෂ නායක සජිත් ස්ථීරවම පවසා ඇත්තේ ද ඇමැතිධුර තම පක්‍ෂයට අනවශ්‍ය බවත් සර්ව පාකෂික එකඟතාවක් අනුව රජයේ හොඳ වැඩවලට සහාය ලබා දෙන බවත්ය. ඒ හැර මේ වනවිට පොහොට්ටුවෙන් කැඩී ගොස් සිටින කිසිම කණ්ඩායමක සහාය ජනාධිපති රනිල්ට නො ලැබෙන බවද හැඟේ. ඇතැම් විට පක්‍ෂවලට අයත් කීපදෙනෙක් ආණ්ඩුවට එක් කර ගැනීමට ද බැරි නැත. මේ අතර ජී. එල්. හා ඩලස් සමග එක්ව සිටින කිසිදු මන්ත්‍රීවරයකුට ආණ්ඩුවේ කවර හෝ කමිටුවක නියෝජනයක් ලැබේ ද යන්නත් අවිනිශ්චිතය. ඩලස් පැහැදිලිවම පොහොට්ටු දේශපාලනයේ විවේචකයකු බවට පත්ව සිටිය.ි පසුගිය දිනවල අනුරාධපුරයේ ආගමික වන්දනාවක නිරත වූ ඩලස් ප්‍රමුඛ කණ්ඩායම විසින් එහිදී පත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පවුල් වාදය පිටු දකින දූෂිතයන්ට දඬුවම් දෙන ඥාති සංග්‍රහය අහෝසි කරන අභිනව දේශපාලන ආමන්ත්‍රණයක් තම කණ්ඩායම ජනතාවට කරන බවය. මෙහිදී මහාචාර්ය ජී. එල්. සඳහන් කළේ ආණ්ඩුව දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගෙන වසන්ත මුදලිගේ වැනි ශිෂ්‍යයන් මර්දනය කරන බවය.

වත්මන් ජනාධිපති රනිල්ට හතර අතින්ම එල්ල වන ප්‍රධානතම චෝදනාව වන්නේද ඔහු විසින් දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. මේ වනවිට වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් ත්‍රස්තවාදී පනත අනුව රෑඳවුම් නියෝගය උපයෝගී කර ගනිමින් රඳවා ගනු ලැබ සිටියි. මෙය මෙරටේ සිවිල් සංවිධානවල මෙන්ම ජගත් ආයතන කීපයක ද කනස්සල්ලට හේතු වී තිබෙන්නකි. ඇමෙරිකානු තානාපතිනිය මෙන්ම යුරෝපා සංගමය ඇතුළු සංවිධාන මෙම රඳවා තබා ගැනීම නොකළ යුත්තක් ලෙස ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව පමණක් නොව, ආචාර්ය සංගම්වලින් ද ආණ්ඩුවට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. පසුගියදා නුගේගොඩ පැවැති ජ. වි. පෙ. ජන රැළියක තේමාව වූයේද මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හකුළා දැමීමට එරෙහිව නැඟී සිටීමය. සාමකාමී අරගලයකට ත්‍රස්තවාදී හංවඩුව ගැසීම හෙළා දකින බව විපක්‍ෂ නායක සජිත් ද පවසා ඇත.

මේ සියල්ල අවධානයට ගනිමින් රටේ සමාජය ආර්ථික දේශපාලනය න්‍යාය පත්‍රය සකස් කරගැනීමට ජනාධිපතිවරයා සමත් විය යුතුය. එය පසුගිය දිනක ජානාධිපතිවරයා විසින්ම මාධ්‍යයට ප්‍රකාශ කරන ලද පරිදි සියලු පක්‍ෂ සතුටු කරන අලුත් ක්‍රමයක් නොව, මෙරටේ ලක්‍ෂ දෙසිය විස්සක් වූ ජනතාව උදෙසා වන ක්‍රියාත්විතයක් විය යුතු බව පමණක් මෙහිලා සඳහන් කළ යුතුය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment