ජනාධිපති රනිල් රකින්නේ පන්තිය හා ක්‍රමය ද යුක්තිය හා සත්‍යය ද?  

369

ජාත්‍යන්තර හා දේශීය වශයෙන් එල්ල වූ විවේචන හා නිර්දය දෝෂාරෝපණ නමැති ඊතල කිසිවකින් පසුනොබසිමින් සංග්‍රාම භූමියකට ඇතකු මෙන් ජනාධිපති රනිල් තවමත් ඉදිරියට යමින් සිටින බව බැලු බැල්මට පෙනී යැයි මේ වනවිට ඔහුට චීනය, රුසියාව මෙන්ම ඉන්දියාවේ රාජ්‍ය නායකයන්ගේ සුබ පැතුම් ද හිමිවී ඇත. රනිල් එම ධුරයට පත්ව පැය 24 ක් ඉක්ම යද්දීත් ඒ කිසිදු රටකින් ඔහුට සුබ පැතුමක් සිදු නොවීම ද විශේෂ සිද්ධියක් ලෙස දේශපාලන විචාරකයෝම සඳහන් කළහ. මේ අතර ජනාධිපති රනිල්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට හිමිවන මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ නිල පිළිගැනීම ද ලැබී ඇත. ඉකුත් 30 වැනිදා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය ජනාධිපති රනිල්ට එම විහාරවලට අයත් උපෝස්ථාගාරවලදී මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය හිමිවීම ද සුවිශේෂත්වයකි.

පසුගිය මාස කීපයක් මුළුල්ලේම අපේ මහ නාහිමිවරුන් හා රාජ්‍ය නායකත්වය අතර වුවද යහපත් සබඳතාවක් නොවීය. එයට හේතු වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය, මහ නාහිමිවරුන්ගේ අනුශාසනා නොතකා ක්‍රියා කිරීමය. එනිසාම උන්වහන්සේලා කිසිදු දේශපාලන නායකයෙක් හමු නොවන දැඩි පිළිවෙතකට ද එළැඹ සිටියහ. එහෙත් ජනාධිපති රනිල්ට රාජ්‍ය නායකයකු ලෙස හිමිවිය යුතු සාම්ප්‍රදායි පිළිගැනීම ලබාදීමට මහ නාහිමිවරු ක්‍රියා කළහ. එමතු නොව මේ රට වැටී සිටින අනතුරුදායක තත්ත්වයන්ට විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයාට හැකිවනු ඇති බවට උන්වහන්සේලා විශ්වාසය ද පළ කළහ. එසේම රට වෙනුවෙන් පෙරමුණට පැමිණි තරුණයන්ගේ අදහස් හා සහාය ද ලබාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම දෙය බව ද අස්ගිරි මහ නාහිමියෝ අවධාරණය කළහ.

ජනාධිපති රනිල් රකින්නේ පන්තිය හා ක්‍රමය ද යුක්තිය හා සත්‍යය ද?  

ජනාධිපති රනිල් එහිදී මහ නාහිමිවරුන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණ දී සිටින සමාජ, ආර්ථික, දේශපාලන අභියෝග ජය ගැනීම තම අරමුණ බවය. එසේම ඒ සඳහා නව මාවතක් තෝරා ගත යුතු බවට විශේෂ අවධාරණයක් ද ජනාධිපතිවරයා කර ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන ද මහනුවරදීම ජනාධිපතිවරයාගේ අදහස තහවුරු කර තිබුණි. අගමැති දිනේෂ්ට අනුව පාර්ලිමේන්තු පළමු සැසිවාරය විවෘත කිරීමේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධ ක්‍රියා මාර්ගය ද හෙළි කරනු ඇත.

පාර්ලිමේන්තු පළමු සැසිවාරය අද විවෘත වන අතර ජනාධිපතිවරයා එහිදී සිය ආර්ථික, දේශපාලන ක්‍රියාදාමය විස්තර කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ හෝ මේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ සංවාදය දැන් සෑහෙන කාලයක් මුළුල්ලේ එහාට මෙහාට පාවෙමින් තිබෙන, එහෙත් යථාර්ථයක් බවට පත් නොවුණු මායාවක් වැන්න. ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය ද මේ යෝජනාව අතේ තබාගෙන කල්මැරුවේය. පොහොට්ටුවේ සන්ධානයේ පාර්ශ්වකරුවන්ව සිටි සියලුම පක්‍ෂවල නායකයන්ගේ ප්‍රබල ඉල්ලීම වූයේ ද රට ගොඩනැඟීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගත යුතු බවය. එහෙත් එවක ජනාධිපතිව සිටි ගෝඨාභය ඒ සම්බන්ධයෙන් අවංක මැදිහත්වීමක් කළ බවක් නොපෙනේ. ඔහු පක්‍ෂ නායකයන්ට ඇරයුම් කළ බව පෙනුණි. එහෙත් ඒ එපාවාහෙට හොදි බෙදන ආකාරයේ ප්‍රතිචාර බව රහසක් නොවේ. විපක්‍ෂ නායක සජිත් හා ජ. වි. පෙ. අනුර කුමාර ඒ සඳහා දැක්වූ ප්‍රතිචාර ගෝඨාභයගේ අභිමතයට පටහැනි වූ බව ද එම සිදුවීම් පෙළගස්වා බලන විට වටහා ගත හැකිය. ඒ වනවිටත් බිඳවැටෙමින් තිබුණු රාජපක්‍ෂ බල ව්‍යාපෘතිය රැක ගනිමින්ම, සර්ව පාක්‍ෂික නමින් කැඳහැළියක් හදාගැනීම ගෝඨාභයට අවශ්‍ය වූ බව පෙනුණි. ඔහු සජබෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් හා ශ්‍රීලනිපයෙන් තවත් දෙදෙනෙක් ද බිලිබාගෙන ඇමැති මණ්ඩල සංශෝධනයක් ද සිදු කළේය. එහෙත් එය එවක තිබුණු මහ පොළොවේ දේශපාලනයට පිළිතුරක් නොවීය.

ජනාධිපති ගෝඨාභයගේ විවාදාත්මක දේශපාලන ප්‍රතිචාරය වූ රනිල් අගමැති ධුරයට පත් වූයේ ඉනික්බිතිවය. රනිල්ට එම ධුරය පිරිනැමීම පසුපස රාජපක්‍ෂ කඳවුරේ සෙවණැලි තිබුණු බව නිසැකය. එහෙත් සමහරුන්ගේ අදහස වූයේ රනිල්ට ජාත්‍යන්තර සහය ලබාගෙන මේ ආර්ථික අවුල ලිහාගත හැකි බවය. එහෙත් එය සිදු නොවීමත්, ගාලුමුවදොර අරගලයේ දැවැන්ත විරෝධතා එල්ලවීමත් නිසා ගෝඨාභයට ජනාධිපති ධුරය අත්හැර රටින් පැනයෑමට ද සිදු විය. අගමැති රනිල් බලාත්මක වන්නේ එතැන් සිටය. ඒ තොරතුරු යළිත් කිව යුතු නැත.

කෙසේ හෝ ජනාධිපති රනිල් යනු දැන් මෙරටේ ලක්‍ෂ දෙසිය විස්සකට නොඅඩු ජනතාවකගේ භාරකරුය. ඒ ජනතාවගේ ඉරණම, හෙට දවස පිළිබඳ ගරු වගකීම දැන් ඔහු සතුය. සත්තකින්ම අද රට ඉල්ලා සිටින දේශපාලනය මේ පවතින ගර්හිත, යල්පිනූ ක්‍රමය නොවන බව ජනාධිපති රනිල් ඉඳුරා දනී. ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතය ඒ යෞවන ප්‍රාර්ථනාවන් විකසිත කරවන්නක් විනා ජරපත් දේශපාලන බමුණන් රකින කෙමනක් විය යුතු නැත. රාජපක්‍ෂවරුන් ඉලක්ක කරගත් සමාජ දේශපාලන විරෝධයට වුවමනා නව භූමිය සකස් කිරීමේ නියමු වගකීම ජනාධිපති රනිල් සතුය. දේශපාලන ප්‍රතිවාදීන්ගේ මෙන්ම ගාලුමුවදොර අරගලකරුවන්ගේ විරෝධතා, විවේචන ජනාධිපතිට එල්ල වුවත් ඒවා යම් ප්‍රමාණයකට හෝ සමනය කර ගැනීමට රනිල්ගේ දේශපාලන ක්‍රියාන්විතයට හැකි විය යුතුය.

මහ නාහිමිවරුන් විසින් අනුශාසනා කරන ලද්දේත් මේ දේශපාලන නවීනත්වයට දොර විවර වන අතරම තවමත් ජනතාව විඳවන මූලික ප්‍රශ්න කීපයකට හෝ ක්‍ෂණික විසඳුම් ලබා දිය යුතුය යන්නයි. ජනාධිපති රනිල්ගේ දේශපාලන සුජාතභාවය ප්‍රශ්න කිරීමට ඉදිරිපත්ව සිටින අයට වුවද දිය හැකි එකම පිළිතුර සිය අභිනව සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය බල ගැන්වීමය. හැත්තෑ හතරකට නොඅඩු ඉතිහාසයක් විසින් නඩත්තු කරන ලද ජරපත් ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින කිසිවකුගෙන් මේ සමාජ දේශපාලන අර්බුදවලට විසඳුම් අපේක්‍ෂා කළ නොහැකි බව නිසැකය. එහෙත් ඒ සම්මතය බිඳ, සිස්ටම් චේන්ජ් එකක් හෙවත් අනිවාර්ය වෙනසක් සිදු කළ හැක්කේ මේ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට පමණි. ඒ වගකීම ඔවුන්ට පැහැර හැරිය නොහැකි වන්නාක් මෙන්ම එසේ වුවහොත් කුමක් සිදු නොවිය හැකි ද යන අනතුරුදායක සංඥාත් අප අබියස තිබේ.

ජනාධිපති රනිල් එක් අතකින් තරුණයන්ට උදව් කරමින් අනෙක් අතින් ඔවුන් පෙළීම සඳහා නීතිය හා බලය යොදා ගන්නා බවට විවේචනයක් ද ඇත. මේ වනවිට අරගලකරුවන් ලුහුබඳිමින් ඔවුන් දඩයම් කිරීමේ ක්‍රියාන්විතයක් දියත් වන බව ද සැඟවිය නොහැක. අරගල පිළිබඳ හෙළිවී තිබෙන ඇතැම් තොරතුරු යහපත් නොවන බව සත්‍යයකි. නීතිය හා යුක්තිය මෙන්ම අරගල කිරීමේ අයිතිය ද ආරක්‍ෂා විය යුතුය. ජනාධිපති මැඳුරට සිදුවූ හානිය හා අරගලයේ දිගුවක් ලෙස සමහරුන් හඳුන්වන ප්‍රචණ්ඩත්වය මර්දනය ගැන අපට ද වැටහීමක් තිබේ. එහෙත් ඒ බොහෝ අමන ප්‍රතිචාර අරගලයට රිංගාගත් අවස්ථාවාදීන්ගේ දුෂ්ට ප්‍රතිචාර බව අරගලයේම පාර්ශ්වයක් පුනපුනා කියති. ඒවා ගැන ද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. හිටපු ජනාධිපතිවරයාගේ ධජය අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින්නේ ස. ජ. බ. වෘත්තීය සමිති නියෝජිතයකු බවට හෙළිවිය. එබඳු මුග්ධයන්ට දඬුවම් දීමට පියවර ගැනීම අතිශය වැදගත්ය. එසේ අරගලයේ නමින් සුපිරි හෝටල්වල බලහත්කාරයෙන් ලැගුම් ගත් කීපදෙනෙක් ගැන ද වාර්තාවක් ඇත. ඒවා නිවැරදි තොරතුරු බවට තහවුරු කිරීම ආණ්ඩුවේ ආරක්‍ෂක අංශවල වගකීම වේ.

මේ අරගලයේ පාරිශුද්ධභාවයත් එයට දායකත්වය ලබා දුන් අව්‍යාජ අකටිල තරුණ ශක්තිය මෙන්ම පොදු ජනයා පිළිබඳ අපට සැකයක් නැත. ඔවූහු ගාලුමවදොර නිරුවත් බිම සීතල විඳිමින් ද එහි රළු දූවිලි, කුණාටු ඉවසමින් ද දුෂ්කර ක්‍රියා කළහ. ඒ අතරට කඩාවැදුණු කිසියම් අපතයකු, අප්‍රබුද්ධ පාදඩයකු නිසා සමස්ත අරගලයේ චිත්‍රයම අශෝභන, අශ්ලීල ග්‍රාම්‍ය එකක් ලෙස හැඳින්වීම නොමනා බවද අපගේ අවධාරණය වේ. ලෝක ඉතිහාසයේ විශිෂ්ට අරගල, විප්ලව ලෙස හැඳින්වෙන අවස්ථාවල පවා එබඳු නීච පැහැරීම් සිදු වී තිබේ.

මෙම අරගලයට සාපේක්‍ෂව සිදු වූ විනාශකාරී දේවල් මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව අරගල නායකයන්ගෙන් දැඩි විරෝධතාවක් ප්‍රකාශයට පත් නොවීම ද අඩුවකි. ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දීම ලෙස ඇතැම් ක්‍රියා අනුමත කළ නොහැක. පොලොන්නරුවේ මහජන මන්ත්‍රී අතුකෝරළ ඝාතනය ඉතා තුච්ඡ ක්‍රියාවක් වුවද අරගල භූමියෙන් එයට සංවේගයක් තරම්වත් පළ නොවීය. එදා අරලියගහ මැඳුරෙන් දියත් වූ ප්‍රචණ්ඩත්වය මේ සියල්ලටම පදනම බව රහසක් නොවේ. එහෙත් දැන් ඒ ප්‍රචණ්ඩත්වය වැපිරූ අයම අරගලයට ත්‍රස්තවාදී හා ෆැසිස්ට්වාදී ලේබල් ඇලවීම ද අපට අනුමත කළ නොහැක. ජනාධිපති රනිල්ගේ පෞද්ගලික නිවස ගිනි තැබූ අය මෙන්ම එබඳු හානි සියල්ල අපි එකහෙළා පිටුදකිමු. එහෙත් ඒ දුෂ්ට අමන ක්‍රියා සියල්ල ගාලු මුවදොර අරගල ගිණුමට බැර කිරීම සාධාරණ නැත.

අද මේ ආණ්ඩුවට එරෙහිව නැඟෙන ප්‍රබල චෝදනාවක් වන්නේ අරගලකරුවන් දඩයම් කිරීම, ඔවුන් හඹායෑම සිදු කෙරෙන වේගවත් ක්‍රමවේදය මේ රට වනසන හා වැනසූ දුෂිතයන් වංචනිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවය. ජනාධිපති මැඳුරේ ස්ත්‍රික්කයක් සොරාගත් එකා කුදලාගෙන ඒමට දක්වන උනන්දුව, මහජන සම්පත් වනසමින් දිස්ත්‍රික්කයක් පාළු කළ අමන දේශපාලනයට නොමැති වීම ප්‍රශ්නකාරී බව අමුතුවෙන් කිව යුතුද? හොරුන්, තක්කඩියන්, දුෂිතයන්, වංචනිකයන් ආදී ජනතා විරෝධීන් ගැන කෝප්, කෝපා කමිටුවලින් හෙළිවී තිබෙන කරුණු ඉබේම අහෝසි වන මේ දේශපාලනය ගැන කවර කතා ද?

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානි සමන්තා පවර් පසුගිය දිනෙක ඉන්දියාවේ පැවැත්වුණු සමුළුවකදී ප්‍රකාශ කර තිබුණේ ලංකාව බංකොලොත් වූයේ ඵලදායි නොවන චීන ණය ව්‍යාපෘති නිසා බවය. රටට එබඳු විනාශයක් කළ බවට කෙරෙන චෝදනා ලිස්සා හරිමින්, තෝරාගත් කොටසකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම කවර යුක්තියක් ද. පසුගිය දිනෙක මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් විවෘතවම චෝදනා කළේ දේශපාලන බලවතුන් නීතිය අවභාවිත කරන බවය. ආණ්ඩුවේ ආරක්‍ෂක අංශ දෙව්මැඳුරු තුළ බෝම්බ අටවන බව ද කාදිනල්තුමාගේ බරපතළ චෝදනාවකි.

ඇත්ත වශයෙන්ම අද වාර්තා වන පාතාල අපරාධ සුළුපටු නොවේ. මහ දවල් අවිගත් මැරයෝ මිනීමරා ඉගිලී යන දර්ශන රූපවාහිනී නාලිකාවල දැකගත හැකිය. පාතාලය මේ තරම් බලවත්ද? ආරක්‍ෂක ලේකම්වරයා ද ජන ජීවිත සුරක්ෂිත කිරීමට බැඳී සිටියි. එහෙත් අද මැර රජදහන් තෙල් පෝලිම්වල ද වෙනත් තැන්වල ද ක්‍රියාත්මක වේ. එනිසා අරගලකරුවන්ට දක්වන නීති ප්‍රතිචාර මුළු සමාජයටම පීඩා කරන සියල්ලන්ටම පොදු විය යුතුය. දේශපාලන පක්‍ෂ කාර්යාලවලට කඩාපනින නිර්භීත පොලිසිය ඒ මැරයන්ට බිය විය යුතු නැත.

මේ අතර විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් පාලනය අරගල ක්‍රියාකාරීන් මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දකින බවය. එසේම වික්‍රමසිංහ – පොහොට්ටුව ආණ්ඩුව මේ වනවිට ගමන් කරමින් සිටින්නේ ලේ වැගිරීම්වලින් කෙලවර වන භයානක සහ කුරිරු මාවතක බවට ද ඔවූහු චෝදනා කරති.

කෙසේ හෝ ජනාධිපති රනිල් මේ සියල්ලට පිළිතුරු දිය යුත්තේ සිය අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණවලින් විනා මර්දනයෙන් නොවන බව ද සිහිපත් කළ යුතුය. එසේම ගෝඨා ගෝ හෝම් සටන් පාඨය රාපක්‍ෂවරුන්ට පමණක් නොව අප ඉහත ද දැක්වූ පරිදි මේ ජරපත් දේශපාලන කුණපයටම එරෙහි ප්‍රබුද්ධ ජනතා නැඟිටීමක් බව ද ආණ්ඩුව තේරුම් ගත යුතුය. විපක්‍ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ චෝදනාවක් වූයේ රාපක්‍ෂලා එලවා දැමු අය කූඩුවේ දමා ඔවුන්ව සතුටු කිරීමට මේ ආණ්ඩුව ක්‍රියා කරන බවය. එසේම මේ අරගලය ඔවුන්ට විහිළුවක් වී තිබෙන බව ද ඔහුගේ චෝදනාවකි.

මේ පසුබිම තුළ ජනාධිපති රනිල් සිය දේශපාලන සිතියම සකසා ගත යුතුය. ඔහු සුරැකිය යුත්තේ රටත්, ජනතාවත් විනා ඔහු ද අයත් පන්තිය හෝ ක්‍රමය හෝ නොවේ. එය අසීරු විය හැකිය. තමන්ට පුටුව ලබා දුන් රාජපක්‍ෂවරුන්ට පිටුපෑමක් ද විය හැකිය. එහෙත් භගවත්ගීතාව කියවා තිබෙන රනිල්ට කළ යුත්ත හා එහි විපාක ගැන අවබෝධයක් ද තිබිය යුතුය. ගාලුමුවදොර අරගලය සතු ඓතිහාසික ගෞරවය කිසිවකුට උදුරා ගත නොහැක. එනිසා මේ තීරණාත්මක අවස්ථාවේ රට පළමුව, ජනතාව පළමුව යන තේමාව ඔහුට බැහැර කළ නොහැකිය. සර්ව පාක්ෂික නමින් වරප්‍රසාද තනතුරු හිමිකම් ප්‍රදානයක් නොව මේ ජාතික ව්‍යසනයෙන් රට බේරා ගත හැකි පාලනයක් ගොඩනැඟිය යුතුය. මජර දේශපාලන දොලදුක් පසිඳලීමට එහිදී ඉඩක් නැත. මේ පාර්ලිමේන්තුවට ලබා දුන් මහජන වරම අද නැති බව ද කිව යුතුය. එහෙත් ජනාධිපති රනිල්ට මහජන විශ්වාසය වුවමනාය. එය නොමැතිව ඔහුට ජනාධිපති පටුවේ හිඳගත නොහැකිය. අගෝස්තු 08 වැනිදා කොළඹට ජනතාවට එන ලෙස විවෘත ඇරයුමක් ද තිබේ. ඒ සියල්ලටම පිළිතුර ජනාධිපති රනිල් සතු සමාජ දේශපාලන න්‍යාය පත්‍රය බව ද අවසන් වශයෙන් සඳහන් කරමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment