ජනාධිපති සංවේදී කළ ආගමික අර්බුද දෙකක්

219

පාර්ලිමේන්තුව පැවැති සතියක් නොවුණත් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ දේශපාලනඥයන්ට අවිවේකී දින කිහිපයක් වූයේ විශේෂ ගමන් බිමන් හා බාහිර කටයුතු රැසක්ම යෙදී තිබීම නිසාය. ජනාධිපතිවරයාට විශේෂ ගමන් බිමන් කිහිපයක්ම තිබුණි. ඊට අමතරව සුප්‍රකට පුද්ගලයන්ගේ පවුල්වල විවාහ මංගල උත්සවද පසුගිය සතියේ බහුල විය. ඒ අතරට පොසොන් උත්සවය වැනි ආගමික කටයුතු ද පැමිණීම හේතුවෙන් ආණ්ඩුවේ හා විපක්ෂයේ කියා වෙනසක් නැත. සියල්ලෝම සිටියේ කාර්යබහුලවය.

ජපානයේ නිල සංචාරය නිමවා පසුගිය සති අන්තයේ ලංකාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහට හුස්මක් කටක් ගන්නටත් පෙර මහියංගනය බලා පිටත්ව යෑමට සිදුවිය. මහියංගනය පුදබිම වෙසක් මාසය ඉවර වන්නට පෙර පූජා භූමියක් බවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව තිබූ බැවින් ජනාධිපතිවරයා ගියේ ඊට සහභාගි වන්නටය. පූජා භූමියට අදාළ සන්නස් පත්‍රය ජනාධිපති අතින් විහාරාධිපති හිමියන් වෙත පිළිගන්වනු ලැබුවේය.

එදින රාත්‍රිය මහියංගනයේ ගත කළ ජනාධිපතිවරයා නැවත කොළඹ ආවේ ඊට පසුවදා ය. සඳුදා දිනය ජනාධිපතිවරයාට කොළඹ වැඩ අධික දිනයක් විය. ජනාධිපති කාර්යාලයට ඔහු පැමිණෙන විටත් ආණ්ඩුවේ දේශපාලනඥයන් රාශියක් එහි පැමිණ ජනාධිපති එනතුරු මඟ බලා සිටියහ. බොහෝ දෙනකුට අවශ්‍ය වූයේ ජපාන සංචාරයේ ප්‍රගතිය විමසා දැන කියා ගන්නටය.

ජනාධිපති රනිල්ට වඩා ඒ පිළිබඳ විග්‍රහ කරන්නට ඉදිරිපත් වූයේ වජිර අබේවර්ධන ඇමැතිවරයාය…. 2015 දී රනිල්ගේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නට ගිය ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන බොහෝ දෙනකුගේ උනන්දුවක් තිබිණි. ඒ ගනුදෙනුවේ වත්මන් තත්ත්වය සාගල පැහැදිලි කළේය.

“ලංකාව එදා එම ව්‍යාපෘතිය නතර කිරීම ගැන ජපානය ඉන්නේ කනස්සල්ලෙන්. එබඳු ව්‍යාපෘති නතර කරන්නට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන සිටිය යුතු යැයි ජනාධිපතිතුමා කරපු යෝජනාව ගැන ජපානය සතුට පළ කළා” සාගල කීවේය.

● ජනපති සංවේදී කළ
ආගමික ප්‍රශ්න දෙකක්

ඒ සාකච්ඡාව ඒ අයුරින් අවසන් විය. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබුණේ තවත් බරපතළ ප්‍රශ්න දෙකක් ගැනය. එකක් මේ රජය බුදුදහමට ප්‍රමුඛත්වයක් හා සැලකිල්ලක් දක්වන්නේ නැතැයි කියලා මිහින්තලාව රජමහා විහාරය පැත්තෙන් නැඟෙන චෝදනාවයි. මෙවර පොසොන් උත්සවයට වියදම් කිරීම සඳහා මුදල් ලැබුනේ නැතැයි කියමින් විදුලි බලය ලබා ගැනීම සඳහා මිහින්තලාවේ නායක හිමියෝ ඇතුළු මහා සංඝරත්නය මුදල් සොයා පිඬුසිඟා යන්නට පටන් ගෙන තිබිණි. ජනාධිපතිතුමා මේ පිළිබඳව සංවේදී වූවා පමණක් නොව, අග්‍රාමාත්‍යවරයාගෙන් ද බුද්ධශාසන අමාත්‍යවරයාගෙන් ද විමසා සිටියේය. එම සිද්ධිය ඇතුළාන්තයේ මූල්‍යමය ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් ඉස්මතුව ඇති බව ජනාධිපතිවරයාට වාර්තා විය. ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බලන ලෙස භාර දුන්නේ අගමැතිවරයාට ය.

ජනාධිපතිවරයා ගේ හිතට වධ දුන් අනෙක් ප්‍රශ්නය ද ආගමික ප්‍රශ්නයකි. යම් යම් කාන්තාවන් හා පුද්ගලයෝ පසුගිය කාලය මුළුල්ලේ සංවිධානාත්මකව බුදු දහමට හා බෞද්ධ දර්ශනයට නිගරු කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපෘතීන් ගැන තොරතුරු රැසක් ජනාධිපතිවරයාට වාර්තා වී තිබිණි. එවන් සිද්ධීන්වලට සම්බන්ධ කාන්තාවන් හා පුද්ගලයන් කිහිප දෙනෙක් රට හැර යන්නට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගැනීම් ද සිදු විය. එවන් සිදුවීම්වලින් ද මේ රටේ බහුතර පිරිසකගේ ආගමට එල්ල වන අභියෝග ගැනද රජය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති විය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ පිළිබඳ සාකච්ඡා කරමින් දැඩි අවධානයෙන් සිටින්නට තීන්දුවක් ගත්හ.

ඒ අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන ගැටලු රාශියක් ගැන කතාබහ කරන්නට ජනාධිපතිවරයා විශේෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවනු ලැබීය. ඒ සඳහා පැමිණ සිටියේ ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු හා ආණ්ඩුවට සම්බන්ධ දිස්ත්‍රික් නායකයන් කණ්ඩායමකි. මේ කැඳවා ජනාධිපතිවරයා පෙන්නුම් කර දුන්නේ ආණ්ඩුවේ ස්ථාවරත්වය ගැනය.

“මීට අවුරුද්දකට කලින් ආණ්ඩුව මං භාර ගන්න කොට ලොකු අභියෝග රැසක් තිබුණා. මම භාර ගත්තෙ කිසිම කෙනෙක් වගකීමක් ගත්තෙ නැති ආණ්ඩුවක්. මම බෑ කිව්වේ නෑ. එහෙත් එදා මාලිමාව වගේම සමගි ජන බලවේගයත් ලොකු ජනතා ප්‍රසාදයක් දිනා ගෙන තිබුණා. අපි මේ ආණ්ඩුව භාර අරගෙන ටිකෙන් ටික හරි පාරට අරන් ආර්ථිකය කෙලින් අතට හරවන කොට ජනතාව ඇත්ත තේරුම් ගත්තා. අද වෙනකොට මාලිමාවට වැලේ වැල් නෑ. සමගි ජන බලවේගයටත් යන එන මං නෑ. ආණ්ඩුව අවුරුද්දක් යනකොට මේ තැනට ගේන්න ඔයගොල්ලො මට උදව් කළා….”

ඒ අවස්ථාවේදී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් ද අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේය.

● කැබිනට් මාරුවක් නෑ…
ජාතික ආණ්ඩුවක්

බදාදා දිනය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට විශේෂ දිනයක් විය. ඒ තම පියාණන් වන රෙජී රණතුංග මහතාගේ 15 වැනි ගුණ සමරුව එදිනට යෙදී තිබීම නිසාය.

වෙනදා මෙම ගුණ සමරුව පවත්වන්නේ උඩුගම්පළ පිහිටි රෙජී රණතුංගයන්ගේ පාරම්පරික නිවසේය. එහෙත් ඉකුත් වසරේදී අරගලකරුවන් විසින් එම නිවස ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මෙවර එහි කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොවිණ. එහෙත් ඇමැති ප්‍රසන්න ඇතුළු පවුලේ සාමාජිකයන් උඩුගම්පළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහර දක්වන්නට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් පිරිසක් ඔවුන්ව වටකර ගත්හ..

“ඇමැතිතුමා කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවද?” ඔවුන් ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිටම සාකච්ඡා වෙමින් පවතිනවා. සියලුම දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා ජතික ආණ්ඩුවක් හදන්න එන්න කියලා. රටේ මේ අර්බුද විසඳන්න. තවත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. යම් කණ්ඩායමක් එකතු වෙනවා නම් ජනාධිපතිතුමා කල්පනා කරලා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරාවි.” ඇමැතිවරයා කීය.

ජාතික ආණ්ඩුවක් හදන්න විපක්ෂයෙන් ඇමැතිකම් ගන්න එන්නේ කවුද? ඒ මාධ්‍යවේදියායි.

බලමු, දැනටමත් ඔය නම් කීපයක් කියවෙනවනේ. පෙරහැරක වුණත් හොඳ හොඳ නැටුම් තියෙන්නේ අන්තිම හරියෙනේ.

අනතුරුව රණතුංග පවුලේ සාමාජිකයෝ රාජගිරියේ පිහිටි නිශාන්ත රණතුංග මහතාගේ නිවයට එකතුවූයේ දානමය පිංකම පැවැත්වුණේ එම නිවසේ නිසාය.

පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් රෙජී රණතුංග මහතාගේ සමකාලීන දේශපාලන ක්‍රියාකාරීන්ද සහභාගිවූ එම දානමය පිංකම අතීත දේශපාලන කතාබස්වලින්ද කිසිදු අඩුවක් නොතිබුණි. මේ අතරට විශේෂ පුද්ගලයකුගෙන් ඇමැති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි.

“ආ.. ප්‍රසන්න අද තාත්තගේ දානේ නේද?”

“ඔව්.. සර්.. වෙනද දානේ තියෙන්නේ උඩුගම්පළ, අපේ ගෙදර. ඒක ගිනි තිව්ව නිසා මේ පාර දානේ තියෙන්නේ නිශාන්ත අයියලයි ගෙදර”

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කටහඬ හඳුනාගත් ඇමැති ප්‍රසන්න කීය.

“දේශපාලනය කරනකොට අභියෝගවලට මුහුණ දෙනව වගේම, දුක සැප සමව දරාගන්නත් අපි පුරුදු වෙන්න ඕන. 77 දී රෙජීගේ ගේ ගිනි තිව්වා. නමුත් එයා හිටියටත් වඩා ශක්තිමත්ව නැගිට්ටා. බාධාවලට බයවෙලා අපි ගමන නතර කරන්න හොඳ නැහැ” හිටපු ජනපති කීය.

“තාත්තගේ හිතේ සර් ගැන ලොකු ගෞරවයක් තිබුණා” ඒ ඇමැති ප්‍රසන්නය.

“අපි අනූ ගණන්වල පාද යාත්‍ර, මිනිස් දම්වැල් කරනකොට රෙජී ඉස්සරහින්ම හිටිය කෙනෙක්. 2005දි මම ජනපති කරන්නත් එයා පුදුම මහන්සියක් ගත්තේ. මට ඒ ඉතිහාසය හොඳට මතකයි ප්‍රසන්න” හිටපු ජනාධිපතිවරයා කීවේ සංවේදීවය.

● ඉවරයක් නැති රැස්වීම් රැසක්…

බදාදා දිනයේ ද ජනාධිපතිවරයාට රැස්වීම්වලින් ඉස්පාසුවක් නොවීය. උදේ පටන් හවස් වන තුරුම අත්‍යවශ්‍ය රැස්වීම් ගණනාවකි. ඒ අතර විදේශ අමුත්තන් මුණගැසීමට ද ඔහුට සිදුවූයේ ජනාධිපතිවරයා හමුවන්නට විදේශ අමුත්තන් රාශියක් ද ඒ වන විට පැමිණ සිටි නිසාය.

එසේ පැමිණ සිටි විදෙස් අමුත්තන් අතර, චීන රජයේ විදේශ කටයුතු පිළිබඳ උප ඇමැතිවරයා, ජාත්‍යන්තර බිල් ගේට්ස් පදනමේ නියෝජිතයන් පිරිසක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් ආදී වශයෙන් බොහෝමයකි. එහෙත් ජනාධිපති රනිල් එකිනෙකට වෙනස් මාතෘකා කිහිපයක් සඳහා මේ නියෝජිතයන් හමුවීම විශේෂත්වයක් විය. බදාදා මේ හමුවීම් සියල්ල අතර ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නිලධාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ද ජනාධිපතිවරයා සමග පවත්වන්නට යෙදී තිබිණි. ඊට එහි ලේකම් වඩිවේල් සුරේෂ් පැමිණ සිටියේය. සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් සමග වඩිවේල් සුරේෂ් කතාබහ කරමින් සිටින අතර ජනාධිපති රනිල් එතනට පැමිණියේ වඩිවේල් ට විහිළුවක් කරගෙනය.

“ඔබතුමාට පක්ෂයෙන් විනය පරීක්ෂණයකුත් දාලා කියලයි ආරංචිය. මාව හම්බවෙන්න මෙතෙන්ට ආවා කියලා ආරංචි වුණොත් ඔබේ නායකයා මොනව කරල තියෙයිද දන්නේ නෑ”

“නෑ සර්… එයා ඕන දෙයක් කරපු දෙන්. මං බය නෑ එයාට. මම කරන්නේ එයාට ඕන දේ නෙවෙයි. මම කරන්නේ හරි දේ විතරයි. හරි දේ කරන මට ප්‍රශ්න ඇති කරන්න ආවොත් මම ඒක එයාත් එක්ක බලාගන්නවා..” කියමින් වඩිවේල් උත්තර දුන් ආකාරයට කාටත් හිනා ගියේය.

● ජනපති සිරිසේන හිටිවන කවියෙක්ලු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොඳ කවියෙක් බව බොහෝ දෙනා දැනගෙන සිටියේ නැතත් හොඳ රසවතෙක් බව නම් මේ රටම දැන සිටියහ. ඔහු රස කතා කියන්නට උපන් හපනෙක් බව රහසක් නොවීය.

මේ අතර පසුගිය සතියේ ඔහු රස කතා කියන්නට පමණක් නොව, රහට හිටිවන කවි කියන්නට ද හපනෙකු බව ඔප්පු වූ සිදුවීමක් විය. ඒ සිදුවීම වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයකුගේ දියණිය විවාහයට පත් විවාහ මංගල උත්සවයේ දී ය. උත්සවය පැවති අවස්ථාවේ මනමාල පාර්ශවයෙන් පැමිණි වැඩිහිටියෙක් මංගල සභාවට මනමාලයා හඳුන්වා දෙන්නට හිටිවන කවි කලාව උපයෝගී කොට ගත්තේය.

“ඔයිට වඩා ලස්සනට කවි කියන්න මට පුළුවන්. මටත් අරන් දෙනවා අපේ කෙල්ලව කවියෙන් අඳුන්වලා දෙන්න අවස්ථාවක්…” කියමින් මංගල උත්සවයේ සංවිධායකයන්ට පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අවස්ථාවක් ලබා ගෙන ඉදිරිපත් වූයේය.

කෙසේ වෙතත් එම මඟුල් ගෙදර තිබූ රසවත්ම අවස්ථාව වූයේ හිටපු ජනාධිපතිවරයාගේ හිටිවන කවි සංග්‍රහය යි. ජනාධිපතිවරයා මනමාලිය ගැන පමණක් නොව, මනමාලයා ගැන ද හිටිවන කවි වැලක්ම කියා තිබීම විශේෂත්වයක් විය. මෙම අවස්ථාව බොහෝ දෙනෙක් වීඩියෝගත කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ යම්කිසි අයෙක් එම වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කර තිබීම නිසා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරයාගේ හිටිවන කවි කීමේ හැකියාව ගැන මුළු රටටම දැනගත හැකි විය.

පසුගිය සතියම එවන් ප්‍රසිද්ධ මඟුල් ගෙවල් ගණනාවක්ම පැවැති සතියක් ලෙස ඉතිහාසගත විය. බ්‍රහස්පතින්දා දිනය හොඳ නැකැත් දිනයක් බැවින් දේශපාලනඥයන්ට සම්බන්ධ මංගල උත්සව රැසක් අගනුවර ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකම පැවැත්විණි. මේ අතරින් කැපී පෙනෙන මංගල උත්සව දෙකක් බත්තරමුල්ල ප්‍රදේශයේ තිබිණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගේ පුතණුවන් විවාහ වූයේ තවත් එවැනිම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ දියණියක් සමග ය. උත්සවය පැවැතියේ බ්‍රහස්පතින්දා බත්තරමුල්ලේ waters edge හෝටලයේ තුන්වන මහලේ සුවිසල් උත්සව ශාලාවේ ය. මාමණ්ඩිලා දෙදෙනාම ඉහළ පෙළේ පරිපාලන නිලධාරීන් දෙදෙනකු බැවින් රටේ සිටින ඉහළම දේශපාලනඥයන් පරිපාලන නිලධාරීන් හා ප්‍රභූන් රාශියක් දෙපැත්තෙන්ම ආරාධනා ලැබ පැමිණ සිටියහ. ඒ අතර හිටපු සහ සිටින ජනාධිපතිවරුන් සිව්දෙනෙක් ම පැමිණීම විශේෂත්වයකි.

● අනුෂගේ මඟුල් ගේ සජිත්ගේ පොටෝග්‍රැෆි

වෙනත් මංගල උත්සව ගණනාවකට සහභාගි වීමට නියමිතව තිබූ බැවින් විපක්ෂ නායකවරයා එදා උදෙන්ම උත්සවයට සහභාගි වෙද්දී උත්සවයේ පෝරුවේ චාරිත්‍ර සිදුකරමින් තිබිණි. මෙවැනිම හේතුවක් නිසා පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එවෙලේ පැමිණ සිටියේය. සජිත් මනමාලයාගේ පාර්ශ්වයේත් පවිත්‍රා මනමාලියගේ පාර්ශ්වයේ සිට එම අවස්ථාව නැරඹූ බැවින් මංගල උත්සවයට සහභාගි වූ බොහෝ දෙනා සිතුවේ ඒ දෙදෙනා එම පාර්ශ්වයන් නියෝජනය කරන ඥාතීන් කියාය.

ඒ අතරතුර සජිත්ගේ අවධානය යොමු වී තිබුණේ මංගල උත්සවයේ ඡායාරූප ගනිමින් සිටි ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවලට ය. මන්ද ඔහුගේ විනෝදාංශය ද ඡායාරූපකරණය නිසාය.

“මොකක්ද මල්ලි ඔය කැමරාව. ඕවා මොකද ඔච්චර පොඩි. මේ වගේ ලොකු ඉවන්ට් එකක් කරන්න ඕවයින් පුළුවන්ද…” යනාදී වශයෙන් සජිත් එම අවස්ථාවේ ඔවුන්ගෙන් ප්‍රශ්න රාශියක් අසනු ලැබීය.

“ඔබතුමා අද උදෙන්ම ඇවිල්ලා…” එතැන සිටි මාධ්‍යවේදියෙක් සජිත්ගෙන් අසද්දී ඔහු අපූරු උත්තරයක් දුන්නේය.

“දැන් වෙලාව 11ට කිට්ටු නේ. ඔයාට තාම උදේ වගේද පේන්නේ… මම හැමදාම නැගිටින්නේ උදේ පහට. එතන ඉඳලම වැඩ තමයි…” සජිත් කීවේය.

මංගල උත්සවයේ ඡායාරූප ගත්තේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායකගේ කණ්ඩායමකි. ඔවුන්ගේ අත තිබූ කැමරා ගැන උනන්දු වූ නිසා ප්‍රසන්න සජිත් හා කතා කළේය.

“අපි පාවිච්චි කරන්නේ වීඩියෝවලටයි ස්ටිල්වලටයි දෙකටම හරියන කැමරා නේ. ඒ නිසා ඉතින් සෝනි තමයි හොඳම…”

“මගේ නං ඉතින් f්ඩදරසඑැ කැනන්. මං කැමරා පාවිච්චි කරන්නේ ගොඩක්ම වයිල්ඩ් ලයිෆ් වැඩවලටනේ. ඉතින් මට ලෝන් ලෙන්ස් ඕන…” සජිත් එසේ කියමින් ඔහු පසුගියදා වනජීවී ඡායාරූපකරණය දී ලබා ගත් දුර්ලභ පින්තූර රැසක් ම ප්‍රසන්නට පෙන්වූයේ ඔහුද මවිතයට පත් කරමිනි.

“ඔයා දන්නවද… ඉක්ජන කැදච්රා ගේ පින්තූර තියෙන්නේ මගේ ළඟ විතරයි” කියමින් සජිත් රහසක් ද හෙළි කළේය. ඒ අතර පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක වැනි පිරිසක් එතනට එකතු වූ නිසා ඡායාරූපකරණය පිළිබඳ පාඩම අවසන් විය.

මේ අතරතුර මංගල උත්සවයට පැමිණි දේශපාලනඥයෝ බහුතරයක් වේලාසන පැමිණ වේලාසනින් පිටව යෑම නිසා මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් විමසා සිටියේ චම්පික ඇමැතිතුමාගේ දුවගේ මඟුල් ගෙදර යන්න තියෙනවා නේද කියාය. එහෙත් සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, රංජිත් මද්දුම බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම වැනි දේශපාලනඥයෝ කිසිවෙක්ම චම්පිකට අදාළ මඟුල්
ගෙදරක් ගැන තොරතුරු කිසිවක් දැන සිටියේ නැත.

“මොන බොරුවක්ද, චම්පික මට ඊයෙ හැන්දෑවෙත් හම්බවුණා. එහෙම කිසිම දෙයක් ගැන දැනගන්න තිබුණෙ නැහැ. තිබුණ නං කියනවා.” ඩලස් ඉතා ලොකු විශ්වාසයකින් කීවේය.

“මඟුල් ගෙවල් පහකට ගිහිල්ලා බං මං ආවේ… හරිම මහන්සියි.” ඩලස් කීවේය.

සජිත් වෙනත් කටයුත්තකට යන්නට පිටව යද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණියේය. “ඔක්කෝටම කලින් කපල් එකට සුබපතලා ඉන්න ඕන…” කියමින් වෙනත් අමුත්තන් හමුවන්නේ නැතුව ජනාධිපතිවරයා කෙලින්ම ගොස් අලුත් යුවළට සුබ පැතීය. ඉන්පසුව ප්‍රධාන මේසේ අසුන් ගත්තේය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරු රැසක් එතන සිටි බැවින් ජනාධිපතිවරයාට බොහෝ දෙනෙක් හා කතාබස් කරන්නට සිදුවිය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ආදීහු ද ප්‍රභූන් අතර සිටියහ.

එතැන සිටි දේශපාලනඥයින් හා මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් උත්සාහ කළේ ජනාධිපතිවරයා හා කුළුපගව කතාබස් කිරීමට ය. එදා හවස ජාතිය අමතන්නට සූදානම්ව සිටි නිසා කියන්නේ මොනවාද කියා කලින් දැන ගැනීමටය. එහෙත් ජනාධිපතිවරයා කිසිදු අදහසක් පිටට නොදෙන්නට වග බලා ගත්තේය. ජනපතිවරයා වැඩි වෙලා සිටියේ නැත. මට හවස නුවරඑළියෙ යන්න තියෙනවා යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණාරත්නට කියමින් ඔහු නැගී සිටියේය. ඔයගොල්ලෝ ඉඳලා විනෝද වෙලා එන්න කියමින් ඔහු පිටව ගියේය.

● රාජපක්ෂවරුන්ගේ බොඳවුණ සිතුවම

රනිල් යනවිටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අයෝමා රාජපක්ෂ මංගල උත්සවයට පැමිණියහ. වසන්ත කරන්නාගොඩ, දයා රත්නායක වැනි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු ද සිටි ප්‍රධාන පෙළේ මේසයක වාඩිවූ ඔහු අමුත්තන් හා ඉතා සුහදව කතාබස් කරමින් සිටියේය. උසාවියේ ඔහුට ලොකු පිළිගැනීමක් තිබුණි. හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග මහතා පැමිණෙන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කීර්තිමත් සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ කුමාරසිරි හෙට්ටිගේ මුහුණට මුහුණ හමුවූයේය.

“අපි ටිකක් එළියට ගිහින් කතා කරමුකෝ හෙට්ටි…” කියා ලලිත් වීරතුංග ආරාධනා කළෙන් දෙදෙනාම උත්සව ශාලාවෙන් එපිට දොරටුව අසල ආලින්දයට වී කතාබස් කරන්නට වූහ. ඒ අතර මහින්ද මහතාගේ පරණ නිලධාරියකු වූ චමින්ද කුලරත්න ද එතනට ආවේ “පරණ යාළුවො දෙන්නෙක් එක් වෙලා”යි කියමිනි.

“අපි මේ කතාබස් කරමින් හිටියේ අපිට වෙච්ච දේ ගැන. අපිට වෙච්ච දේ කියන්නේ රටට වෙච්ච දේ. මෙහෙම කතා කරලා ඉවර කරන්න බෑ.” හෙට්ටිගේ එසේ කියද්දී ලලිත් වීරතුංග ද ඊට සංවේදී විය.

“සර්ගේ හොඳම කාලයේ සර් වැඩ කළේ මේ රටේ හොඳම නායකයා එක්ක. බය නැතුව තීන්දු ගනිපු හොඳම නායකයා.”

“ඒ ගැන නම් මට පොත් ගාණක් උනත් ලියන්න කරුණු තියනවා…” ලලිත් වීරතුංග කීවේය.

“සර් ළඟ තමයි හොඳම ටික තියෙන්නේ. සර්නේ සියල්ල නිරවුල්ව දන්නෙ. ඉතින් ලියන්නකො සර්. මාරම පොතක් වෙයි.” චමින්ද කුලරත්න කියද්දි වීරතුංග මහතා මෙසේ කීවේය.

“ඇත්තටම එහෙම ලියන්න අදහසක් තිබුණා. හැබැයි දැන් ඉතින් ඒවා වලංගු නෑ. ලියනව නම් හොඳම ටික තියෙන්නෙ මේ හෙට්ටිගේ ළඟ…”

“මේ රටේ බිහිවෙච්ච ප්‍රතාපවත් ම නායකයා ගැන හොඳම වගේම ලස්සනම චිත්‍රයක් මගේ ළඟත් තිබුණා. හැබැයි දැන් ඒ ලස්සන චිත්‍රය බොඳ වෙලා. ඒ චිත්‍රය බොඳ කරන්න හේතු වුණේත් ඒ පවුලේම අය තමා.”

“ඕව ගැන දැන් කතා කරලා වැඩක් නෑ හෙට්ටි. අපි යමු ඇතුළට. මටත් ඔය චිත්‍රය බොඳ වීම ගැන වේදනාව ඔයාට තරමටම තියෙනවා…” ඒ දෙබස අවසානයේ දෙදෙනාම ඇතුළට ගොස් මංගල උත්සවයේ සතුටු වන විශේෂ ප්‍රභූන් සමග එක් වූහ.

අනුරාධපුරයේ පැවති තවත් විවාහ මංගල උත්සවයකට සහභාගි වීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණියේ තරමක් ප්‍රමාද වීය. උත්සව ශාලාවේ දී ලොකු ප්‍රබෝධයක් සමග සද්දයක් ඇති විය. මහින්ද ජනාධිපතිවරයා නව යුවලට සුභ පතන විට අන්න අන්න අපේ ජනාධිපතිතුමා ආවා… කියා කවුදෝ හයියෙන් කියනවා මුළු ශාලාවටම ඇසිනි.

මහින්ද ජනාධිපතිවරයා ඒ හැඳින්වීම පිළිගත්තේ සතුටු සිතින්… “ඔව් ඉතින් මේ වටේම ඉන්නේ මගේ කට්ටිය තමයි” කියමිනි.

මහින්ද ජනාධිපතිවරයාත් හිටපු ලේකම් ලලිත් වීරතුංග මහතාත් එකම මේසයක කුළුපග වී කතාබස් කරනු දුටු බොහෝ දෙනෙක් එතනට පැමිණ සුබ පතන්නට වූහ.

“ඔබතුමාලා සාකච්ඡාව ආයෙත් පරණ අතීතයට යන්න වගේ…” කවුද එසේ කියද්දී ලලිත් වීරතුංග කීවේ මෙසේය…

“නෑ නෑ. අපිට ආයේ කවදාවත්ම ඒ අතීතයට යන්න බෑ. ඒ වගේ නායකයෝ ආයෙ කවදාවත්ම බිහි වෙන්නෙත් නෑ…”

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මංගල උත්සවයට එක්ව සිටියේ සිය භාර්යාව හා පුතනුවන් සමගය. බන්දුලගේ පුත් සහන් සංගීත කණ්ඩායම සමඟ එක්ව අපූරු ගීත දෙකක් ගායනා කරමින් සභාව පිනවනු ලැබීය. චම්පිකගේ දියණියගේ මංගල උත්සවය ගැන මෙහිදී තොරතුරු හෙළිදරව් වුවත් බහුතරයක් දේශපාලනඥයෝ ඒ කතාව බොරුවක් යැයි කියා බැහැර කළෝය.

මේ අතර වජිර අබේවර්ධන මහතා ප්‍රධාන පෙළේ අමුත්තන් සමග කතාබස් කරමින් සිටියේය. ඔහු රංජිත් මද්දුම බණ්ඩාර සමඟ ලොකු කතාබහක යෙදෙන අතරතුර පැමිණි සමහරු විහිළු කළේ දැන් දෙපැත්තට වෙලා සිටියා ඇති… දැන්වත් දෙගොල්ලො එකතු වෙලා මේ රට ගොඩ ගන්න උත්සාහ කරන්න… යැයි ආරාධනාවක් කරන ගමන්ය.

මේ අතර එතැන සිටි බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාට ප්‍රශ්න රාශියක් පැමිණියේය… ඇයි මිහින්තලේ පන්සලට සල්ලි දුන්නෙ නැත්තේ පොසොන් උත්සවය කරන්න… යයි දකින දකින දේශපාලනඥයෝ විමසනු ලැබූහ. අන්තිමේ මේ ප්‍රශ්නය ඔහුට හිසරදයක්ම විය.

ආණ්ඩුව දීපු සල්ලි හොඳටම ඇති. හාමුදුරුවෝ බැලුවේ පොසොන් උත්සවයත් දඩමීමා කරගෙන ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම ගෙන ආ විරෝධයට අලුත් මුහුණුවරක් දෙන්න. උන්නාන්සෙ කරන්නේත් දේශපාලන ව්‍යාපෘතියක්.” එතැන සිටි දේශපාලනඥයෙක් කාරණාව පැහැදිලි කරන්නට උත්සාහ කළේය.

“මිහින්තලේ විහාරය කියන්නේ පොසොන් දවස්වලම වුණත් හොඳට ආදායම් ලබන විහාරස්ථානයක්. එතන උත්සවයක් කරන්න ආණ්ඩුවෙන් සල්ලි ඕන නෑ.” තවත් අයෙක් කීවේය.

“ඒ උනාට ආණ්ඩුවට තිබුණා මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න. ඇඟේ පතේ කුණු ගාගන්නෙ නැතුව” තවත් අයෙක් කීවේය. දෙපැත්තටම තර්ක කරන දේශපාලනඥයෝ එතැන සිටියේ අනුෂ පැල්පිට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ බොහෝ දෙනෙකුට මේ උත්සවය සඳහා ආරාධනය කර තිබූ නිසාය.

● චම්පිකගේ කතාව ඇත්තක්ද බොරුවක්ද

බ්‍රහස්පතින්දා දිනය තුළ රාහු කාලය අවසන් වන්නේ හවස 3ට බැවින් මනාල යුවල ශාලාවෙන් බැහැරව යෑමට නියමිතව තිබුණේ පස්වරු 3 ට පසුවයි. එබැවින් ඒ වනතුරු උත්සවයේ වැඩකටයුතු පවත්වන්නට සිදු විය. අමුත්තන් බොහෝ දෙනෙක් ශාලාවෙන් පිටතට වී ඒ කාලය ගතවන තුරු කතාබස් කරමින් විනෝද වෙමින් සිටියදී තවත් විශේෂ අමුත්තෙක් waters edge හෝටලයට පැමිණ වාහනයෙන් බැස කෝපි ආපන ශාලාව වෙත පිය නගනු දැකගත හැකි විය. එතැන සිටි මාධ්‍යවේදීන් ඔහු දැක පුදුමයට පත්විය. අමුත්තා චම්පික රණවක ය. පුදුමයට හේතුව ඔහුගේ දියණියගේ මංගල උත්සවය එදින ඒ මොහොතේ බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වෙමින් තිබෙනවා යයි ආරංචි වී තිබීමය”

“දුවගේ මඟුල් ගෙදර මොනාක් එකේ තියෙනව නම් මෙයා මේ වෙලාවේ waters edge coffee shop එකේ මොනවා කරනවාද…” ඇතැම් අය තර්ක කළහ.

“එහෙම මඟුල් ගෙයක් තිබිලා නෑ. තිබුණ නම් මෙතන ඉන්න හුඟක් අයට එතෙන්ටත් යන්න වෙනවා…”

“නෑ නෑ… දුවගෙ මඟුල් ගෙදර මොනාක් එකේ තිබිලා තියෙනවා. බන්දුල චන්ද්‍රසේකර එතනට ගිහින් ෆොටෝ ගහලා ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එක තමයි මේ….” කියමින් අයකු මුහුණුපොතෙන් සාක්ෂියක් එක් කළේය.

“චම්පික ඇමැතිතුමා එතන සිංදුවකුත් කියලා…

මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ලොවේ මිහිරිම වෙලාවයි… කියන සින්දුවත් කිව්වා කියල තමයි මට යාළුවෙක් කිව්වේ.”

ඒ අයුරින් මාධ්‍යවේදීන්ගේ මේ තර්ක විතර්ක කතාබස්වලට නම් ඉවරයක් තිබුණේම නැත.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment