ජනාධිපති සමග ආණ්ඩුව වගේම ජනතාවත් විරසකයි – මහාචාර්ය චරිත හේරත් (පො.පො)

129
කඩා වැටුණු ආර්ථිකය නඟාසිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත
මුළු සමාජයම පතුල නොපෙනන අගාධයකට රැගෙන යනවා – විමල් වීරවංශ (පො. පෙ)
ජනාධිපතිට ඇමැතිකම් දෙන්න සුදුසු අය ආණ්ඩුවේ නැද්ද? – හෙක්ටර් අප්පුහාමි (සජබ)

දිගින් දිගටම පැවැති ප්‍රශ්න හා කොවිඩ් වසංගතය හේතුවෙන් දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් රැසක ආර්ථිකය කඩා වැටී ඇති බවත් ලංකාවේද ඒ තත්ත්වය ඇතිවූ නමුත් ආණ්ඩුව ආර්ථිකය ගොඩනැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙන්කෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (08දා) පෙරවරු 9.30 ට රැස්විණි.

ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා පෙත්සම්, වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ඉදිරිපත් කළ කල්තැබීමේ විවාදය ආරම්භ කෙරිණි.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

වතු ප්‍රදේශවල පාසල් යෑම අඩුයි. ආහාර ලබා ගැනීමේ අපහසුව නිසයි එය සිදුව ඇත්තේ. දිවා ආහාර ලබාදීමේ ඉලක්කයට අපි යමින් සිටිනවා. චීනයෙන්, ලෝක ආහාර වැඩසටහනින් ලැබුණු සහල් හා භාණ්ඩ බෙදා හරිමින් සිටිනවා. පාසල් දරුවන්ගෙන් සියයට 50 කට පමණ ලබාදීම අපේ ඉලක්කයයි.

සංචාරක කර්මාන්තය වැටුණා. විදේශ ප්‍රේෂණ අපනයන ආදායම බිඳ වැටුණා. රට වසා තැබීම නිසා දල දේශීය නිෂ්පාදනය වැටුණා. ණය අරගෙන ණය ගෙවලා වැඩක් නෑ. මුදල් අච්චු ගැහුවා. මේවා නිසා ගැටලු වැඩි වුණා. විවේචනය කරන්න පහසුයි ප්‍රශ්නවලට විසඳුම් කියන්න.

පෙළ පොත් මුද්‍රණය තුන් ගුණයකින් ඉහළ ගිහින්. අත්‍යවශ්‍ය පොත් හා උපකරණ මිල ඉහළ ගිහින්. මේ ප්‍රශ්න සාමූහිකව කතාකර විසඳාගත යුතුයි. ලංකාවේ පමණක් නොව ආර්ථික ප්‍රශ්න නිසා ලෝකයේ රටවල් රැසක්ම අර්බුදයට පත්වෙලා.

පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්‍රනාන්දු

ඩොලරයේ අගය ක්‍රමයෙන් වැඩි වුණා. මේ තුළ භාණ්ඩ මිල සමතුලිතව පවත්වාගෙන යෑමට මම විශාල පරිශ්‍රමයක් දැරුවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කළා. මේ තුළින් බඩුමිල අඩු කරගන්න හැකිවුණා. මේ රටට අවශ්‍ය ආහාර පාන ලබාදීම හැකි පමණින් සිදු කළා.

අපිගත් පියවර නිසා භාණ්ඩ මිල යම් ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා. අල, ලූනු, සීනි පිටි, සහල්, මිරිස් ආදියේ මිල අඩු කළා. උද්ධමනය ගිය මාසයේ අඩු වුණේ ඒ නිසයි.

තිරිඟු පිටි මිල වැඩි වුණේ ඉන්දියාව පිටි අපනයනය නැවත්වූ නිසයි. ඒත් අපි වෙනත් වෙළෙඳපොළවලින් තිරිඟුපිටි ලබාගත්ත නිසා මිල අඩු කිරීමට හැකි වුණා.

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

මම වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති කාලේ පොල් අපනයනයෙන් ඩොලර් මිලියන නමසීයක් ලැබුණා. එදා ලැබුණේ ඩොලර් මිලියන 20 ක් පමණයි. මේ වසරේත් ඩොලර් මිලියන 90 ක් පමණ ලැබී තිබෙනවා.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

කොවිඩ් නිසා රටවල් වහන්න සිදුවුණා. එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි රටවලටත්, රට වහපු නිසා ආර්ථික අර්බුද ඇතිවෙලා. අපට විතරක් නොවෙයි අද රට යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.

ඉන්ධන, ගෑස්, විදුලිය, යථා තත්ත්වයට පත්වෙමින් යනවා. අද අඩුපාඩු පෙන්වමින් යන අය රටේ තිබුණු තත්ත්වය ගැන සිතන්න. ජනතාවට සුරංගනා ලෝක මවමින් විපක්ෂය ඉන්නවා. ඡන්ද බලාගෙන ජනතාව අන්දවන එක මහා විනාශයක්. හැමෝම වගකීම අරගෙන ක්‍රියාකළ යුතුයි. ජනතා විශ්වාසය ඇතිකරගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩු කාලයේ තමයි වැඩි පොලියට බැඳුම්කර ගත්තේ මේවාට විශාල ලෙස විදේශ විනිමය ගලා ගියා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැ. මහ බැංකු අධිපති මූල්‍ය අරමුදල කියන විදිහට ක්‍රියා කරනවා. රට දැන් යන්නේ ආර්ජන්ටිනාව යන මාර්ගයේ. පීඩාව දෙගුණ තෙගුණ කරලා දැන් රබර් කිරි මිල බැහලා. එයට හේතුව පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රිවරයකු වසරකට අවශ්‍ය රබර් කිරි ගෙන්වීම නිසයි. ඒවාට ඩොලර් කොහෙන්ද? මුළු සමාජයම පතුල නොපෙනෙන අගාධයකට රැගෙන යනවා. මොළ හතානෝ උද්දච්ච විදිහට ක්‍රියා කළා. අපි ඒ ගැන කතා කළාම ඇමැතිකම්වලින් එළියට දැම්මා. අපි අර්බුදය ගැන කිව්වහම කිසිම අර්බුදයක් නැහැ කිව්වා. අවසානයේ ජනාධිපතිට රටින් පලා යන්නත් වුණා. අසංවේදී ප්‍රවේශයකින් රටට පිළිතුරු හොයන්න බෑ.

අපේක්‍ෂා රෝහලට පරිත්‍යාගශීලීන්ගේ ඖෂධ ලබා ගන්න විදිහක් නැහැ. ඒවා නොකර වෙනත් දේට ඩොලර් වැය කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

මේ ආර්ථික අර්බුදය අපිට විතරක්ම ඇති වූවක් නොවෙයි. ලෝකයේ තවත් රටවල් රැසක පවතින බව පේනවා. දැන් හැමෝම දන්නවා.

පහුගිය අප්‍රේල් මාසෙ රට දැඩි අර්බුදයකට ගියා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. අද වනවිට තෙල්, විදුලිය, ගෑස් ජනතාවගේ අවශ්‍යතා පරිදි ලබා දෙමින් පවතිනවා. අද හාල් රුපියල් 160 ට ගන්න පුළුවන්. පිටි මිල අඩුවෙලා. ඉදිරි මාස දෙක යනවිට තවත් භාණ්ඩවල මිල අඩු වෙනවා.

අද අපි ණය නොගෙවන රටක්. අපට කවුරුත් ණය දෙන්නේ නැහැ. ජනතාව බදු ගෙවීම අඩුයි. ඒ නිසා අපි මූල්‍ය අරමුදලට ගියා. තවත් රටවල් ගණනාවක් එක්ව දෙසැම්බර් වනවිට ජපානය, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ආධාර දෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි (සජබ)

වර්තමාන ආණ්ඩුවේ හොඳම ඇමැතිකම් තියෙන්නේ ජනාධිපති යටතේයි. ඒ ඇමැතිකම් දෙන්න සුදුසු අයෙක් ආණ්ඩුවේ අද නෑ කියන එකයි ඒකෙන් කියැවෙන්නේ.

අද සමුපකාරය හොර වංචා ගුහාවක් වෙලා. ගමේ ජනතාවට හොඳට සේවාවක් දෙන්න පුළුවන්. සමුපකාර ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක කර නැහැ. විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සල්ලි ඉල්ලමින් යනවා. ජාත්‍යන්තර හෝ ජාතික ග්‍රාමීය වශයෙන් රජය කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නෑ.

අයි. එම්. එෆ්. කියන හැම එකටම එකඟ වීමට අපි විරුද්ධයි. රටට හොඳ වැඩපිළිවෙළක් අපි ළඟ තියෙනවා. අවස්ථාව ලැබුණු විට අපි එය ක්‍රියාත්මක කරනවා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් පුෂ්ප කුමාර

අද පවතින තත්ත්වයට රට පාලනය කරන අයත් කරපු අයත් නොකරපු අයත් වගකිව යුතුයි. රටේ විවිධ කැරලිවලදී විනාශ වූ දේපළ හා ජීවිතවලට ඔවුන් වගකිව යුතුයි.

රාජ්‍ය නායකයා තම දිස්ත්‍රික්කයට පමණක් නොව රටටම සේවය කළ යුතුයි. ණය අරන් තමන්ගේ දිස්ත්‍රික්කවලට විතරක් කරලා වැඩක් නෑ.

පත් කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත්

අපේ රටේ ජනතාව විඳින පීඩාව සභාව මීට වඩා සංවේදීව කටයුතු කළ යුතුයි.

අපි එදා පත් වුණේ රට හා ආර්ථිකය හරි දිශාවකට ගෙන යෑමට. එහෙත් අවාසනාවන්ත ලෙස දුන් පොරොන්දු ඉටු කළ නොහැකිව රටත් ආර්ථිකයත් කඩා වැටුණා. සිදු වූ දේ ගැන පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරු ස්වයං විචාරණයක් කරගත යුතුයි.

අද විවාදය ගෙන ආ යුතුව තිබුණේ ආණ්ඩුවේම අයයි. කෘෂිකර්මාන්තය වැටුණේ වැරදි තීන්දු නිසයි. අපේ අර්බුදය ස්වභාවිකව ඇති වූවක් නොවෙයි. හදපු එකක්. ආර්ථික අර්බුදය සමග ගැට ගැසුණු දේශපාලන අර්බුදයක් තියෙනවා. ජනාධිපතියි ආණ්ඩුවයි විරසකයක් තියෙනවා. ජනාධිපතියි ජනතාවයි අතර විරසකයක් තියෙනවා. මේවා ගැලපෙන්නේ නැහැ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ)

දිගින් දිගටම අයවැය පරතරය වැඩිවීමත් ගෙවුම් ශේෂ පරතරය වැඩිවීමට පිළිතුරු නොසොයා විසඳුම් හොයලා වැඩක් නෑ. ඉන්දියාව මීට ආසන්න තත්ත්වයට ආවා. ඒ වෙලාවේ ඒ රටේ නායකයෝ ආර්ථික විශේෂඥයන්ගෙන් උපදෙස් ගත්තා. එදා ඉඳලා ආණ්ඩු කොපමණ වෙනස් වුණත් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වුණේ නෑ. ඉදිරියේදී දියුණුම රටක් බවට ඉන්දියාව පත්වෙනවා. වහාම ආණ්ඩුව උපාය මාර්ග සැලැස්ම කියන්න අපේ සහාය දෙන්නම්.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානක්‍යන් රාසමානික්කම්

මේ ආර්ථික ප්‍රශ්නයට 1948 සිටම රට පාලනය කළ හා දේශපාලනය කළ සියලු දෙනා වගකිව යුතුයි. දැන්වත් සිංහල ජනතාවට ඇත්ත කියන්න. තවද ජනතාවට සාධාරණ විසඳුමක් නැතිව මේ ප්‍රශ්න විසඳන්න බෑ. සංචාරක ව්‍යාපාරයෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳන්න බෑ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක (සජබ)

එදා අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති නිසා ආර්ථිකය වැටුණා. කෘෂිකර්මයට වැරදි තීන්දු ගත්තා. රට වැටෙන්නේ ආණ්ඩුවේ පාලකයන් උද්දච්චව කටයුතු කළා. එදා ආර්ථිකය විනාශ කරපු අයමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. හොරු ඔක්කොම ජනාධිපති නමැති පලිහෙන් හැංගිලා ඉන්නවා.

අද වනවිට ආර්ථිකය හදන්න මොන පියවර ගන්නවා කිව්වත් ජනතාව මත බදු බර පටවනවා හැර වෙනත් කිසිදු පියවරක් ගෙන නෑ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රි වීරසුමන වීරසිංහ (ශ්‍රිලපොප)

අද රාජ්‍ය සේවකයා තෘප්තියකින් නොවෙයි සේවය කරන්නේ. නිසි වැටුපක් නැහැ. අධ්‍යාපන ක්‍රමය කඩා වැටිලා. පාසල්වල දරුවන් යවන්න, කෑම දෙන්න දෙමාපියන්ට මුදල් නැහැ. ගුරුවරුන්ගෙ සාරියක එල්ලිලා වෙන දේවල් කතා කරනවා.

රටේ විනයකින් තොරව කටයුතු කිරීම නිසා රට අප කීර්තියට පත්වෙලා. ඇත්ත සිද්ධි තිබියදී වෙන වෙන සිද්ධි මතුවෙලා. සැබෑ ගැටලු අවධානයට ලක්නොවී වෙන වෙන දේ ගැන රටේ කතා කරනවා. අපේ රටට අපනයනයෙන් නිසි ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවාද සංචාරකයන්ගෙන් නිසි ලෙස ඩොලර් ප්‍රමාණය ලැබෙනවාද කියා සොයා බලන්න.

රටට අවශ්‍ය නිසි නීති පද්ධතියක් හදන්න වංචා දූෂණ වලක්වන්න නීති ගේන්න. ටයිටැනික් නැවට වු විනාශයට වඩා විනාශයක් රටට සිදුවෙනවා.

පාර්ලිමේන්තුව අද (9) පෙරවරු 9.30 යළි රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment