ජනාධිපති සමාව යටතේ දුමින්ද නිදහස් කිරීම වහාම අවලංගු කරන්න

679

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම වහාම අවලංගු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා යන මහතවරුන් ඇතුළු නීතිඥවරු ඊයේ (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

හිටපු ජනාධිපතිවරයා විසින් එම පොදු සමාව ලබාදී ඇත්තේ යමකුට ජනාධිපති සමාවක් ලබාදීමේදී අනුගමනය කළ යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන හෙයින් එම පොදු සමාව නීති විරෝධී බවද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවද අධිකරණය හමුවේ පැවති පෙත්සම් විවාදයට එක්වෙමින් නීතිඥවරු කියා සිටියහ. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා අධිකරණ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කොට තිබිණි. වගඋත්තරකාර පාර්ශ්වයේ වාචික දේශන මාර්තු 20 වැනිදා ආරම්භ කිරීමට ප්‍රීති පද්මන් සුරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල නියෝග කළහ.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ අධිචෝදනාවලට වරදකරුවකු කර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ ආර්. දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම

අභියෝගයට ලක්කරමින් සුමනා ප්‍රේමචන්ද්‍ර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නීතිඥ ගසාලි හුසේන් යන මහත්ම මහත්මීන් විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment