ජනාධිපති හීනයේ ඉන්න නාමල්ට මේ රටේ අහිංසක මනුස්සය වෙනුවෙන් කට අරින්න බැරිද?

129
  • සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් එදාට ජනතාව මහ පාරට බහින්න සූදානමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (17 දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

‘රටේ ජනතාව අන්දලා, බොරු කියලා, ජනතාවගේ ඔලුව විකෘති කරලා, තමන්ගේ ගමන යන්න මේ සැරේ ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මැතිවරණයක් තියන්න කොමිසමේ සභාපතිවරයා මේ වෙනකොට කැමැත්ත පළ කරල අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. මැතිවරණයක් ජනතාව ඉල්ලන්නේ ඇයි මේ වෙලාවේ? පාර්ලිමේන්තුව තුළවත්, ප්‍රාදේශීය සභා තුළවත් ජනමතයක් මේ ආණ්ඩුවට නෑ.

රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන මේ අගාධයෙන් රට ගොඩ ගන්න අවශ්‍ය තමන්ගේ නිවැරැදි තීන්දු ගන්න. ඒක සමගි ජන බලවේගයද, පොදු ජන පෙරමුණද වෙනත් මොකක්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි ජනතාවගේ අයිතිය ලබා දෙන්න.

මේ වනවිට මැතිවරණ කොමිසමේ සභාපති අයින් කර දාලා වෙනත් කෙනෙක් ගේන්න සූදානම් වෙනවා. තමන්ට හොඳ හෙංචයියෙක් දාගෙන තව ටික කාලයක් අදින්න තමයි සූදානම. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමනි, ජනාධිපතිතුමනි මේ සෙල්ලමට ලෑස්ති වෙන්න එපා. මේ කරන අරගල වගේ නෙමෙයි රටේ ජනතාව බලෙන් මේ වෙනකොට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කර පාරට බහින්නේ. අනිවාර්යෙන්ම ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් ජනතා ජයග්‍රහණයන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පෙරමුණ අරගෙන අප කටයුතු කරනවා. ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මහත්තයා හරි ඇමැතිවරයෙක් හරි කවුරුහරි හිතාගෙන ඉන්නව නම් අපි ප්‍රාදේශීය සභාව කල්දානවා කියලා ඒවා ලෙහෙසි වෙන්නේ නැහැ කියන එක මතක් කර දෙනවා.

පාස්පෝට් එක 20,000 දක්වා වැඩි කරලා. රියැදුරු බලපත්‍රය ලබා ගැනීම වැඩිකරලා. රාජ්‍ය ඇමතිවරු තිස් අටක් පත් කරගෙන මේ තිස් අටදෙනා පෝෂණය කරන්න කෝටි ගාණක් වියදම් කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් දිනේෂ් ගුණවර්ධනට. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් රාජපක්ෂලාට. හීන මවාගෙන ඉන්න සහ ජනාධිපති හීනයේ ඉන්න නාමල් රාජපක්ෂට මේ රටේ අහිංසක මනුස්සයා වෙනුවෙන් සාධාරණයක් කරන්න කට අරින්න බැරිද? මේ තිස්අට දෙනා තියන් ඉන්නේ තමන්ගේ දේශපාලන ඉත්තෝ විදියට. ඒ අයගෙන් මම අහනව එක රාජ්‍ය ඇමතිවරයෙක් කියන්න මම මේ වැඩේ කරනවා කියලා. මට ප්‍රතිපාදන හම්බවෙලා තියෙනවා අමාත්‍යංශයේ වැඩ කරන්න කියලා. කිසිම ඇමති කෙනෙක්ට ප්‍රතිපාදන ලැබිල නැහැ. රාජ්‍ය ඇමතිවරුන්ට තියෙන්නෙ වාහන ටික ගන්නවා, තෙල් ටික ගන්නවා. නිලධාරි ටික

අරගෙන තමාගේ ළඟම ඉන්න කණ්ඩායමක් දාලා පඩි ටික ගන්නවා. ඒ වෙනුවෙන් රාජපක්ෂ මහත්තයට, රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යනවා. ඒ කඩේ යෑම වෙනුවෙන් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ හයිය හදාදීම වෙනුවෙන් තමයි මේ රාජ්‍ය ඇමතිකම ලැබිලා තියෙන්නෙ.

ඊයේ පෙරේදා අභියෝගයක් කළා සනත් නිශාන්ත මහත්තයා, මා වෙනුවෙන් ලක්ෂ 40කට වැඩිය වියදමක් යනවා නම් අයින් වෙනවා කිව්වා. මම දැන් ඒ අභියෝගයට උත්තර දුන්නා. සනත් නිශාන්ත මහත්තයා වෙනුවෙන් ලක්ෂ 40ක් නෙමෙයි ලක්ෂ සීයකට වැඩිය යනවා. ඇයි අමාත්‍යංශ කාර්යාලයේ සේවක මණ්ඩලය, වාහන ටික එතුමට දීලා තියෙන, සේවා දුරකථන පහ මේ ඔක්කොම එකතු කරලා බැලුවම බිලියන 10 ක විතර මහා වියදමක් යනවා. සනත් නිශාන්ත මහත්තයලා කරන වැඩ මොනවද කියල මේ රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ක්‍රමය රනිල් වික්‍රමසිංහ මහත්තයා අනුගමනය කරමින් නාමල් රාජපක්ෂට පාර හදන්න තවත් මෙලෝ වැඩක් නැති රටට කිසිම වැඩක් නැති රාජ්‍ය ඇමැතිවරු තිස් අටක් දාලා, මේ රටේ මිනිස්සුන්ට කියනවා උඹලා පාස්පෝට් එකට වැඩියෙන් ගෙවාපල්ලා, සෙස් බදු ගෙවන්න ලෑස්ති වෙයල්ලා, ලක්ෂයට බදු ගෙවන්න ලෑස්ති වෙයල්ලා, භාණ්ඩවලට වැඩිකරන එක දරාගන්න ලෑස්ති වෙයල්ලා කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment