ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා හකුළා ගත යුතුයි

183
  • පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.

ජාතික ජන බලවේගය ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හේරත් මහතා මෙසේද කීය.

අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කරමින් ජනතාවට ජීවත්වෙන්න බැරි දැඩි පීඩාකාරී තත්වයක් දිනපතා ඇති කෙරෙමින් පවතිනවා. ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විකුණන්න පිඹුරුපත් සකස් කර අවසන්. ලාභ ලබන ආයතනත් විකුණන බව ප්‍රසිද්ධියේම කියනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය විශාල ලාභයක් ලබන අතර සේවකයින් දහස් ගණනක් රැකියා කරනවා. ඒ ආයතන විකුණා මේ රටේ ජනතාව තව තවත් පීඩාවට පත්කරන්න පසුබිම හදනවා. ගෙවා ගන්න බැරි ණය අර්බුදය තවත් තීව්‍ර කරමින් අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. ඊට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඩපවත්වන්න ත්‍රස්ත විරෝධී පනත නමින් ඇත්තටම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගැසට් කර තිබෙනවා. ඇත්තටම කළ යුතු වන්නේ මේ ජන පීඩක පනත වහාම හකුළා ගැනීමයි.

තමන්ට විරුද්ධව නැගෙන හඬ යටපත් කරන්න බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම මෙම පනත පාවිච්චි කළා. ප්‍රති ත්‍රස්ත පනත 2015 – 2019 කාලයේ හඳුන්වාදීමට ගියත් දැන් ත්‍රස්ත විරෝධී පනතක් ලෙස නැවත ගෙනැවිත් තිබෙනවා. ත්‍රස්තවාදයේ වරද පිළිබඳව දී තිබෙන නිර්වචනය අතිශය බරපතළයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යම් අර්ථ දැක්වීම් සහ නිර්ණායක තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නිර්ණායකවලටත් විරුද්ධව මේ පනත ගෙනැවිත් තිබෙනවා. මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ජාත්‍යන්තර සම්මුතියකින් ශ්‍රී ලංකාව බැඳී සිටියත් ඊට එරෙහිව යන නිර්වචන මීට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව යම් අදහස් දැක්වීමක්, ප්‍රකාශනයක් නිකුත් කිරීමක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමක් ත්‍රස්තවාදය යටතට පැවරෙන ආකාරයට අර්ථ දැක්වීම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව වෘත්තීය සමිති පවත්වාගෙන යාම සහ සාමාජිකත්වය ගැනීම මූලික අයිතිවාසිකමක් හැටියට පිළිගෙන තිබෙනවා. ඊට පටහැණිව මේ කෙටුම්පත සකස් කර, ත්‍රස්තවාදී වරද නිර්වචනය කර තිබෙන්නේ ආණ්ඩුව කරන වැඩක් වැරදියි කීමත්, එය නවත්වන්න කීමත්, ඊට විරුද්ධව යමක් කිරීමත් ත්‍රස්තවාදය යනුවෙනුයි. යෝජිත පනතේ 3(1) වගන්තිය අනුව අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධ යම් යටිතල පහසුකම් සැපයීමකට හෝ ප්‍රවාහන පහසුකමකට යම් අලාභ හානි සිදුකිරීම හෝ බාධා ඇති කිරීම වෙනුවෙන් මැදිහත් වීම ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී සාමාන්‍ය තත්වයෙන් සේවා පවත්වාගෙන යන්න බැහැ. මේ වැනි අවස්ථාවක අදාළ වෘත්තීය සමිතියත් එහි ක්‍රියාකාරිකයිනුත් ත්‍රස්තවාදීන් ලෙස නම් කර වසර 20 දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වගන්ති තිබෙනවා. පැහැදිලිවම වෘත්තීය සමිති මර්දනය කරන්න ආණ්ඩු්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගෙනත් තිබෙනවා. මේක වැඩ කරන ජනතාවට එරෙහිව දැඩි මර්දනයක් දියත් කිරීමට ගෙන ආ පනතක්.

යම්කිසි ආයතනයක වැඩවර්ජනයකට සේවකයන් ඒකරාශී වීමක් ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වයට බාධා කළා යන චෝදනාවලින් ත්‍රස්තවාදියෙකු ලෙස සලකා දඬුවම් කළ හැකියි. වැඩවර්ජනයක් සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍යයෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාර්ගයක් හරහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබෙනවා. මේ අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අත්පත්‍රිකා බෙදීම, ට්විටර් පණිවිඩයක් යැවීම, වට්ස්ඇප් පණිවිඩයක් යැවීම, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම්කර තිබෙනවා. යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් වාර්තා කළහොත් ඔහුත් අත්අඩංගුවට ගත හැකියි. ඒ කියන්නේ කවුරුන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන කතා කළොත් එයත් ත්‍රස්තවාදීයෙකු ලෙස නම්කර තිබෙනවා. යම් ක්‍රියාමාර්ගයක් සියලු‍ ජනතාව එකතු වී ගත්තත් ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි වගන්ති තිබෙනව.

මාධ්‍ය නිදහස අමු අමුවේම උල්ලංඝනය කිරීමත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බිය ගැන්වීමත් මේ තුළ අඩංගු වෙනවා. ජනාධිපතිගේ තනි කැමැත්තට යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කිරීමේ හැකියාවක් තිබෙනවා. විධායක ජනාධිපතිගේ අත්තනෝමතික විකාර සිතුවිලි මත සංවිධාන තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින්ම විරුද්ධයි.

advertistmentadvertistment
advertistmentadvertistment