ජන විරෝධතා හඬට දැන්වත් කන්දිය යුතු රාජපක්‍ෂ නඩය

408

මෙවර මැයි දිනයේ තේමාව බවට පත්ව තිබුණේද මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය. ස. ජ. බ. මැයි රැලිය අමතා සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ රටට වින කරන ආණ්ඩුව අපි ගෙදර යවනවා යනුවෙනි. ජ. වි. පෙ. අනුර කුමාර අවධාරණය කළේත් ජනතාව පිළිගන්නා නව ආණ්ඩුවකට අවස්ථාව දීම එකම විසඳුම බවය. වාමාංශික මැයි දින රැලිය ඇමතූ මහාචාර්ය තිස්ස විතාරණ කීවේ අධිරාජ්‍යවාදී ගැති මේ ආණ්ඩුව ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ යන්නය. පොහොට්ටුවේ වෘත්තීය සමිති මැයි රැලියට එක්වූ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පැහැදිලිවම සඳහන් කළේ අපි ආණ්ඩුව හැදුවේ ගෙදර යන්න නෙමෙයි යනුවෙනි. ජා. නි. පෙ. විමල් වීරවංශ ඉල්ලා සිටියේ මේ අර්බුදයෙන් රට බේරාගන්න ප්‍රඥාවෙන් මෙහෙයවන අරගලයක් සඳහා රට යොමු විය යුතු බවය. මැයි වේදිකාවල රැව්දුන් ආණ්ඩුව ගෙදර යැවිය යුතුය යන හඬ මැයි දිනයට පෙර එනම් අප්‍රේල් 30 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදීත් නැගුනි.

ජන විරෝධතා හඬට දැන්වත් කන්දිය යුතු රාජපක්‍ෂ නඩය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වුණු සංඝ සමුළුවට එක්වූ ඕමල්පේ සෝභිත හිමියන් වදාළේ ජනාධිපති හා අගමැති ඉවත් නොවුවහොත් සංඝ සම්මුතියකින් ඔවුන්ට ශාසනික ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවන බවය. ඇත්ත වශයෙන්ම මේ රටේ රාජ්‍ය බලය හිමි පාලකයන්ට මහා සංඝයාවහන්සේගේ පොදු එකඟතාවකින් කිසියම් ශාසනික විරෝධයක් දැක්වීම සුළු හෝ සරල ප්‍රතිචාරයක් නොවේ. එය මෙරටේ දීර්ඝ කාලීන ශාසනික සම්ප්‍රදායකි.

ලංකා ඉතිහාසයේ සඳහන් වන පරිදි රජුන් ශාසනික ප්‍රතිපදාවන්ට එකඟව ක්‍රියා කර ඇත. භික්‍ෂු අණට පිටුපෑමට රජුට (පාලකයාට) නොහැකිය. මහාවංශයට අනුව එදා දාඨෝපතිස්ස රජුට පත්තනි කුජ්ජන කර්මය පනවා ඇත. එහිදී සිදුවන්නේ භික්‍ෂුන් වහන්සේ රජු පිරිනමන දානය ප්‍රතික්‍ෂේප කිරීම සඳහා සිය පාත්‍රය මුනින් අතට හැරවීමකි. එදා රාජ්‍යත්වය සඳහා ශාසනික අනුමැතිය අවශ්‍ය වූ අතර මහාසංඝයාගේ අභිමතයට උඩින් ක්‍රියා කිරීමට රජුට බලයක් ද නොවීය ලජ්ජතිස්සට රජකම අහිමි වූයේ මහා සංඝයාගේ විරෝධය නිසා බවද මහාවංශය කියයි. මේ ප්‍රබල ශාසනික සම්ප්‍රදාය දුර්වල වූයේද අපේ දේශපාලනඥයන් වෙනුවෙන් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පෙනීසිටි හෙයිනි.

මෙවර ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ වෙනත් ප්‍රධාන ස්වාමීන් වහ්නසේලාද සෘජුවම ආණ්ඩුවට එරෙහි වූ ජනතා විරෝධය අනුමත කරති. මේ වන විට මල්වතු මහානාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකිය නොහැකි බවය. මෙම ශාසනික ප්‍රතිචාරය අතිශය ප්‍රබලය. තමන් වහන්සේලාට කන් නොදෙන රාජපක්‍ෂවරුන්ට එබඳු ප්‍රතිචාරයක් දැක්වීම මෑත ඉතිහාසයේ අපි නුදුටු දෙයකි. ශාසනයේ ගෞරවය හා අභිමානය සුරකිමින් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනීසිටීමද (යුක්ති සහගත කරුණු අරබයා) අපේ ඓතිහාසික සම්ප්‍රදායකි. මේ සම්ප්‍රදාය බිඳ වැටුණේද ඇතැම් භික්‍ෂූන් වහන්සේලාගේම දුබලතාවන් නිසාය. දේශපාලනඥයන්ගේ හැම ක්‍රියාවක්ම අනුමත කරමින් ඔවුන්ට සෙත් පිරිත් දෙසීම ශාසනික සම්ප්‍රදාය නොවන බව අද මෙබඳු ක්‍රියාවලින් උන්වහන්සේලා තහවුරු කරති. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක්ද ඇත. ඒ පසුගිය දිනවල අරලියගහ මන්දිරය අබියස විරෝධතාකරුවන්ගේ හඬ දුබලකිරීමට පිරිත් දේශනා අඛණ්ඩව ප්‍රචාරය කිරීමට එරෙහිව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් දක්වන ලද විවේචනයයි. උන්වහන්සේ වදාළේ පිරිත වැනි උතුම් සූත්‍ර ධර්මයක් පටු දේශපාලන අරමුණකින් භාවිත කිරීම අනුචිත බවය. පසුව ඒ පිරිත් ප්‍රචාරය නතර විය. මේවා නිසැකයෙන්ම භික්‍ෂුත්වයේ අභිමානය තහවුරු කරන ක්‍රියාදාමයන්ය. අද කිතුනු ප්‍රජාව වෙනුවෙන් පෙනීසිටින මැල්කම් රංජිත් කාදිනල් තුමන් ප්‍රමුඛ පූජකයන් වහන්සේලාද මේ රජයේ ක්‍රියාමාර්ගය අනුමත නොකරති. ගාලුමුවදොර විරෝධය නොතකා හැරීමට පාලකයන්ට නොහැකි බව උන්වහන්සේලාගේද අවධාරණය වී තිබේ.

ජන විරෝධතා හඬට දැන්වත් කන්දිය යුතු රාජපක්‍ෂ නඩය

මෙයට පෙරද අප විසින් සඳහන් කරන ලද පරිදිම වත්මන් පාලකයෝ තමන් වෙත එල්ල වී තිබෙන චෝදනා පත්‍රවලට මෙන්ම දවසින් දවස උත්සන්න වන මහජන විරෝධය සමනය කර ගැනීමේ සියුම් මෙහෙයුම්වල නිරතව සිටිති. මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වී සිටින පක්‍ෂ නායකයන් සමග යළි සම්මුතියකට ඒම ආණ්ඩුවේ උත්සාහය වී තිබේ. ඔවුන්ගේ යෝජනාවලියේ අඩංගු වූ සර්වපාක්ෂික හෝ අන්තර්වාර පාලනය හෝ සමග ආණ්ඩුව පවත්වාගෙන යෑම ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේද අභිමතය බව පෙනේ. එහෙත් මේ වනවිට ඒ යෝජනාව ඇල්මැරී ගිය එකක් බවට පත්ව තිබේ. එයට හේතුව පාර්ලිමේන්තුව නියේජනය කරන විපක්‍ෂය ඇතුළු වෙනත් කිසිදු පක්‍ෂයක් ජනාධිපතිවරයා හා අගමැති සිටින සර්වපාක්ෂික තාවකාලික රජයකට හෝ එකඟ නොවීමය. විපක්‍ෂනායක සජිත් එය හඳුන්වා ඇත්තේ දේශපාලන සූදුවක් ලෙසය. ජ. වි. පෙ. ප්‍රශ්න කරන්නේ මේ හැම අර්බුදයකටම මුල්වූ රාජපක්‍ෂ පාලනයත් සමග කිසිදු ගනුදෙනුවක් තමන්ට නැති බවය. මේ අතර තවමත් ජනාධිපති සමග සාකච්ඡා කරමින් සිටින පිරිසක්ද සිටිති. ඒ විමල්, උදය, ඇතුළු කණ්ඩායමයි. ඉකුත් සඳුදා තිබුණු සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ විමල්, උදය, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන හා ටිරාන් අලස් පමණි. මේ අර්බුදයේ චූදිතයා ලෙස හැඳින්වූ බැසිල්ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා වටයට එක්ව සිටීමද විමල්ලාට මුහුණ දීමට සිදුවූ සරදමකි. කුමක් වුවත් ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක්වූ අවලස්සන ඇමෙරිකානුවා ලෙස හැඳින්වූ බැසිල් යළිත් ආණ්ඩුවේ ඉරණම වෙනස් කර ගැනීමට එක්ව සිටියිද? මෙම සාකච්ඡාවට මෛත්‍රී, වාසු මෙන්ම තිස්ස විතාරණ එක් නොවීමද කැපී පෙනුණි. මෙවන් පසුබිමක ඇතිවිය හැකි දේශපාලන එකඟතාව කුමක්ද? ඒ කුමක් වුවත් පාර්ලිමේන්තුව තුළද සිදුවිය හැක්කේ සෘජුවම ආණ්ඩුවට විරුද්ධ දේශපාලන ක්‍රියාදාමයකි. ආණ්ඩුව විශ්වාසභංගයකින් පරාජය කිරීමට පමණක් නොව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමටද විපක්ෂය සූදානම්ය. මෙහිදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන යැයි පවසන කණ්ඩායම්වල ප්‍රතිචාරය කුමක් විය හැකිද? ඒ සඳහා තව දින කීපයක් ඇතුළත අපට නිගමනයකට එළඹිය හැකිය.

ආණ්ඩුව සිය පැවැත්ම පිළිබඳව අතිශය තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙන බව මේ සියල්ල තුළින් පැහැදිලි වේ. එසේම තමන්ට එල්ලවූ විවේචන සමග කිසියම් නිහඬතාවක සිටි බැසිල්ද සිය සහෝදරයන් සමග එක්ව සිටීමද සුවිශේෂී සිදුවීමකි. ඔහුගේ දායකත්වය ජනාධිපතිට මෙන්ම අගමැතිටද ශක්තියක් වනු ඇතැයි දැනට කල්පනා කළ හැකිය. එහෙත් භූමියේ දේශාපාලනය ඉතා ජවසම්පන්නව ආණ්ඩුවට අභියෝග කරන බවද පෙනේ. ආණ්ඩුව ගාලුමුවදොර විරෝධතාකරුවන් පරික්‍ෂා කිරීමට සූදානම් බව හැඟේ. විරෝධතාකරුවන් අබියසට පොලිසියේ කැරලි මර්දන බලකායක් එවන්නේ ඒ සඳහාය. එහෙත් පොලිසියට පසුබැසීමට සිදු විය. මේ අතරම මිරිහාන විරෝධතාවට එක්වූ පසුව නිදහස් වූ පිසෙන් 15ක් රහස් පොලිසිය වෙත කැඳවීමේ සිද්ධියක්ද වාර්තා විය. ඒ පිළිබඳ අදහස් දැක්වූ නීතිඥයන් විසින් ප්‍රකාශ කරන ලද්දේ එය කිසිදු තේරුමක් නැති ක්‍රියාවක් බවය. කුමක් වුවත් ගාලුමුවදොර විරෝධතාවට ප්‍රතිචාර දැක්වීමේදී ආණ්ඩුව ඉතා ප්‍රවේශම්ව හා බුද්ධිමත් ලෙස ක්‍රියා කළ යුතු බව පෙන්වා දිය යුතුය. රඹුක්කන සිද්ධිය වැනි අවාසනාවකට මේ දේශපාලනය ඇදී යා යුතු නැත.

දැන් ආණ්ඩුව පමණක් නොව මෙරටේ සියලුම දේශපාලන නායකයන් විසින්ද වගකීමෙන් ක්‍රියා කළ යුතු අවස්ථාවක් උදාවී තිබේ. මේ පවතින දේශපාලන ක්‍රමයම ප්‍රතික්‍ෂේප කළ තරුණ පිරිසක් ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් බව ඒ කව්රුත් තේරුම් ගත යුතු වෙති. පාර්ලිමේන්තුව ඇතුළෙත් මේ තරුණ විරෝධයට යම් ආකාරයක හෝ සාධනීය පිළිතුරක් ලබාදිය යුතුය. තම දේශපාලන පැවැත්ම, පක්‍ෂවල ජනප්‍රියත්වය රැක ගැනීම වැනි පටු ආකල්ප මෙහිදී බැහැර කළ යුතුමය. ඇත්ත වශයෙන්ම නිදහසින් පසු මෙරටේ බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ප්‍රබුද්ධ දේශපාලන විරෝධතාවක් ලෙසද මෙය හැඳින්විය හැකිය. නිර්පාක්‍ෂික විරෝධතාවක් වුවද එය අතිශය සංවිධානාත්මක හා ශක්තිමත් බලවේගයක් බවද තහවුරු කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රජාව, ප්‍රබුද්ධ කලාකරුවන්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ, විවිධ වෘත්තිකයන් ආදීහු මෙම අරගලයට ආශිර්වාද කරති. ත්‍රෛනිකායික මහානාහිමිවරු අන්‍යාගමික ප්‍රභූවරු, වැඩකරන ජනතාව, ඈත ග්‍රාමීය ජනකොටස් ආදී විවිධ නියෝජනයන්ද මේ විරෝධතාව සමග දැක ගත හැකිය. එනිසා ප්‍රජාතන්ත්‍රවාදීව, ව්‍යවස්ථානුකූලව මෙන්ම යුක්තියේ හා සාධාරණත්වයේ සීමා මායිම් නොඉක්මවීමද මෙම විරෝධතාවට ප්‍රතිචාර දැක්වීමේදී අත්‍යවශ්‍ය වනු ඇත.

ජන විරෝධතා හඬට දැන්වත් කන්දිය යුතු රාජපක්‍ෂ නඩය

මොනවා වුවත් රාජපක්‍ෂවරුන්ට දේශපාලන කරළියෙන් බැස යන ලෙස ගාලුමුවදොර විරෝධතාවේ අණට කීකරු වීමට සිදුව තිබේ. ජනාධිපති අගමැති ප්‍රමුඛ රාජපක්‍ෂ නඩයම ඒ ඇමතුමට යටත් විය යුතු බව පැහැදිලිය. ගාලුමුවදොර විරෝධතාව විසින් ඉල්ලා සිටිනු ලබන නිදහස්, නිවහල්, නිර්මල දේශපාලන සංස්කෘතියත්, හිස කෙළින් තබා යුක්තිය, ධර්මය අගයන සමාජයක ජීවත්වීමේ අයිතියත් නොමැනවැයි කිසිවකුට කිව හැකිද? එසේම රාජපක්‍ෂලාගෙන් ගිලිහෙන ඒ වැඩවසම් දේශපාලනය යළිත් ප්‍රතිසංස්කරණය කිරීම හෝ අණ්ඩ තමා කෙළින් කිරීමට හෝ කිසිවකුට ඉඩක් නැති බවද අප තේරුම් ගත යුතුය.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment