ජපනති හෙළි කළ කොමිසමේ ලොක්කාගේ පැටිකිරිය

351

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලිබිල වැඩිකිරීමට නොදෙන්නේ ඔහුට අයත් විදුලිය වැඩියෙන් පාවිච්චි කරන ට්‍රිලියම් සමගාමේ ද විදුලි බිල වැඩිවන නිසා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන් වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ විදුලි මිල ගණන් පිළිබඳ උපදේශයන් නිකුත් කළ හැක්කේ ඇමැතිතුමාට බවත්, එම ප්‍රතිපත්තීන් බදු ව්‍යුහ සිද්ධාන්තයකට අනුව හෝ වෙනත් සිද්ධාන්තයකට අනුව සැකසිය හැකියි. පනතේ 30 වන වගන්තියේ, 2 වන උප වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳි සිටිනවා. කිසිවෙකුට මෙයට පරිබාහිරව ක්‍රියාත්මක විය නොහැකියි. මහජන උපයෝගීතා කොමිසමේ කෙටුම්පත එදා සකස් කළේ මම. එහි තිබෙන බලතල කා සතුව ද තිබෙන්නේ කියා මම හොඳින් දන්නවා.

මම දන්නේ නැහැ ඇයි සභාපතිතුමා ජනතාව නොමග යවන්නේ කියලා. සභාපතිතුමා කරපු ප්‍රකාශය පිළිබඳවත් මට පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මෙතුමා සඳහන් කරලා තිබෙනවා විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එතුමා තමයි ට්‍රිලියම් සමාගමේ සභාපති. ට්‍රිලියම් සමාගම තමයි වැඩියෙන් විදුලිබලය ලබා ගන්නේ. එතුමා පිළිබඳ එක් එක් සංවිධාන විසින් ලබාදුන් ලිපි මා සතුව තිබෙනවා. ට්‍රිලියම් රෙසිඩන්ස්, ට්‍රිලියම් හැව්ලොක් රෙසිඩන්ස්, ට්‍රිලියම් රෙසිඩන්ස් කොළඹ 07, ට්‍රිලියම් රෙසිඩන්ස් මීගමුව වගේ ව්‍යාපාර රැසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නේ විදුලි බිල වැඩි වුණම එතුමාගේ වියදම් වැඩි වෙනවා. එතුමාට කරන්න තිබුණේ ඒක කොමිසමේදී කියන්න, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මේ විදුලිබිල වැඩි වුණොත් ඒක මට බලපානවා. ඒ නිසා කරුණාකරලා මම මේ රැස්වීමට එන්නේ නැහැ කියලා. මටත් එහෙම සමාගම් තිබෙනවා නම් මමත් කැමති නැහැ විදුලි බිල වැඩි කරනවට.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment