ජපන් හිටපු අගමැති ඝාතනය කෙරේ

195

ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි හිටපු අගමැතිවරයකු වන ශින්ෂෝ අබේ ඊයේ (08දා) එරට නාරා නගරයේ දී තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

67 වැනි වියෙහි පසු වූ හිටපු ජපන් අගමැතිවරයාට ප්‍රථමාධාර ලබා දෙමින් රෝහල්ගත කර තිබූ අතර ඔහු හෘද ස්පන්දනය නතර වීමේ (කාඩියෝපුල්මොනරි ඇරෙස්ට්) තත්ත්වයෙන් පෙළුණ බව ටෝකියෝ නගරයේ හිටපු නගරාධිපති යොයිචි මසුසොයේ මාධ්‍යයට පවසා තිබිණි. හිටපු ජපන් අගමැතිවරයාට වෙඩි තැබූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් අබේට දෙවරක් වෙඩි තබා ඇති බවත් ඉන් එක් වෙඩිපහරක් පමණක් ඔහුගේ පසුපස ප්‍රදේශයට වැදී ඇති බවත් අනාවරණය වී තිබේ. වෙඩි පහර වැදීමත් සමගම හිටපු ජපන් අගමැතිවරයා බිම ඇද වැටී ඇති අතර ඔහු වහා රෝහල්ගත කර තිබේ. හිටපු අගමැතිවරයා නාරා නගරයේ මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයකුට සහය පළ කිරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි තැබූ සැකකරු ජපන් නාවික ආත්මාරක්ෂක හමුදාවේ හිටපු සාමාජිකයකු ලෙස හඳුනාගෙන ඇති අතර වෙඩි තැබීමට මුල් වූ හේතුව තවමත් අනාවරණය වී නැත. සැකකරු විසින් ස්වයං නිෂ්පාදිත තුවක්කුවක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර තිබෙන බව පොලිසිය පවසයි. අබේ 2006 වසරේ වසරක කාලයකුත් 2012-2020 කාලයේ වසර අටක් වශයෙන් වසර නවයක කාලයක් ජපානයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment