ජපානයෙන් ඩො. මි. 1.8 ක්

251

ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබාදීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාර ජපන් රජය විසින් ලබා දී තිබේ.

මෙම අරමුදල මගින් ලක්‍ෂ 6 කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටද හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරුවන් දැඩි ලෙස බලපෑමට ලක්වී ඇත. ඉන් වැඩි පිරිසක් දුප්පත් පවුල්වල සහ වැඩි අවදානමක් සහිත පවුල්වල දරුවෝ ය.

මේ වන විට දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම ඉතා අසීරුකාරී තත්ත්වයක් බවට පත් වී තිබේ. සබන් යොදා අත් සේදීම හරහා සනීපාරක්‍ෂාව පිළිපැදීම පිළිගත් කාරණයක් වුවත් අවදානමට ලක් වූ දරුවන් අතර මෙය නොපිළිපැදීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇත.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මානුෂීය සහන සැපයීමට ජපාන රජය තීරණය කර ඇතැයි සතුටින් ප්‍රකාශ කර සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති එච්. ඊ. මියුකොෂි මහත්මිය පැවසුවාය.

පසුගිය වර්ෂයේ ආර්ථික අර්බුදය ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් හරහා ලබාදුන් මුළු ආධාර ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇති අතර, ජපානය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය දක්වන බවට දන්වා තිබේ.

එවකට රටේ පැවති දරිද්‍රතාවය, කොවිඩ් ව්‍යාප්තිය සහ ආර්ථික අර්බුදයට මුහුණපා සිටින අවස්ථාවන්වලදී ශ්‍රී ලාංකීය දරුවකුගේත්, දැඩි ලෙස අවධානයට ලක් වූ පවුල්වල පුද්ගලයන්ගේත් අවශ්‍යතා සපුරාලීම සඳහා යුනිසෙෆ් සංවිධානයට දායකත්වය ලබා දී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment