ජපානයේ ගොඩනැගිල්ලක ගින්නෙන් 27 දෙනෙක් මරුට

129

ජපානයේ ඔසාකා නගරයේ පිහිටි ගොඩනැගිල්ලක සිවු වැනි මහලෙහි ඊයේ (17දා) උදෑසන හටගත් ගින්නකට කොටු වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 28 දෙනෙකු තුවාල ලැබ රෝහල්ගත කර තිබේ. මිය ගිය පිරිස හුස්ම හිරවීමෙන් හා හදවත නතර වීමෙන් මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ඔසාකා නගරයේ වාණිජ දිස්ත‍්‍රික්කයක පිහිටි ගොඩනැගිල්ලක සිවු වැනි මහළෙහි පැවති මානසික රෝග පිළිබඳ විශේෂඥ සායනයකට සහභාගී වූ පිරිසක් මෙම ගින්නට කොටු වී මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම ගින්න හටගත් මොහොතේ දී මහළෙහි සිටි කාන්තාවක් උදව් ඉල්ලා කෑ ගැසූ අයුරු තමන් දුටු බව එම අවස්ථාවේ ගොඩනැගිල්ල අසලින් ගිය පුද්ගලයකු මාධ්‍යයට පවසා ඇත. ගින්න හටගෙන සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණි ඔසාකා ගිනි නිවන දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවන භටයන් පිරිස පැය භාගයක් ඇතුළතදී ගින්න නිවා දමා තිබේ. ගින්නට කොටු වී සිටි පිරිසක් ඉනිමං ආධාරයෙන් බිමට බැස්වීමට ද ඔවුහු පියවර ගෙන ඇත. ගින්න හටගත් සිවු වැනි මහළේ ජනෙල් වීදුරු ගින්නෙන් නැගුණු දුම හේතුවෙන් කළු පැහැ ගැන්වී තිබී ඇති අතර කළු දුමාරයකින් එම මහළ පිරී ගොස් තිබූ බව ගිනි නිවන හමුදා භටයන් විසින් ප‍්‍රකාශ කර තිබේ. ගින්නෙන් ගොඩනැගිල්ලේ සෙසු අංශවලට හානි සිදුව නොතිබූ අතර මෙම ගින්න අනතුරකින් ඇති වූවක් ද නැතිනම් කිසිවකු විසින් ඇති කරන ලද්දක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment