ජපානයේ දරුණු කුණාටුවකින් මිලියන 9කට බලපෑම්

232

පසුගිය දශක කිහිපය තුළ ජපානයට හමා ආ දරුණුතම හා විශාලතම සුළි කුණාටුව සේ සැළකෙන “නැන්මඩෝල්” කුණාටුව ඉකුත් ඉරිදා උදෑසන ජපානයේ කියුෂු දූපතට පතිත වීම හේතුවෙන් හටගත් ජල ගැලීම් හා මඩ තට්ටු කඩා වැටීම් නිසා පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් අනූදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම කුණාටුව පතිත වූ ප්‍රදේශවල වෙසෙන මිලියන නවයක ජනතාවකට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර කුණාටුවත් සමගම හටගත් ජල ගැලීම් හේතුවෙන් නිවාස තුන්ලක්ෂ පනස් දහසකට අධික සංඛ්‍යාවක විදුලි බලය ඇන හිට ඇති බව වාර්තා වී තිබේ. ජල ගැලීම් හේතුවෙන් දුම්රිය විශාල සංඛ්‍යාවක් අවලංගු කර තිබේ. සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 234ක වේගයකින් හමා යෑම නිසා නිවාස, මාර්ග හා ව්‍යාපාර ස්ථාන රැසක් විනාශ වී ගොස් පුද්ගලයන් විශාල පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (20දා) වන විට මෙම කුණාටුවට හසු වූ එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටි අතර ඉදිරි පැය 24 තුළදී මිලි මීටර් 400ක පමණ තද වැසි කුණාටුව බලපා ඇති ප්‍රදේශවලට පතිත වනු ඇති බවට කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment