ජපානය සමග කරට කර සිටි ශ‍්‍රී ලංකාව දැන් ඇෆ්ගනිස්ථානය ගාණට වැටිලා – රනිල් කියයි

533

ජපානය සමග ආර්ථිකමය වශයෙන් සම තත්ත්වයක සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්තානයේ සිටි හමුදාව ඇමරිකාව විසින් ඉවත් කරගත් නිසා ඇෆ්ගනිස්ථානයට වඩා ශ‍්‍රී ලංකාව පහළ යන එකක් නැතැයි ද හිටපු අගමැතිවරයා සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ සූම් තාක්ෂණය මගින් පැවැති හමුවක දී පැවසීය.

වැඩිදුරටත් හිටපු අගමැතිවරයා මෙසේද කීය.

රටේ තියෙන තත්ත්වය දීර්ඝ වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. ආර්ථික වශයෙන් කඩා වැටිලා. පරිපාලනමය වශයෙන් කඩා වැටිලා. දේශපාලන තීන්දු ගන්න බැරිවෙලා තියෙනවා. පාර්ලිමේන්තුව පැත්තකට දාලා. ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ සම්බන්ධතා ඉතා දුර්වල වෙලා තියෙනවා. මේ තත්ත්වය හැමදාම කතා කරන එකක්. එතන ඉඳන් ඉදිරියට යන එකක් තමයි කතා කරන්න අවශ්‍යය. අපට විසඳුම් සොයා ගන්න නම් අලූත් යුගයක ඉන්න ඕනෑ. පරණ දේශපාලනය සමග ඉදිරියට යන්න බැහැ.

පොහොට්ටුවයි, වියත්මගයි මේ රටේ තියෙන ජාතිවාදී දේශපාලනය අන්තෙටම ගෙනිච්චා. දැන් ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය කොයි පැත්තෙන් ආවත් ජනතාවට එපා වෙලා තියෙන්නේ. ප‍්‍රතිපත්තියක් නැතිව පොරොන්දු දීලා බලයට පැමිණි ආණ්ඩුව ජනතා විශ්වාසය කඩ කරලා තියෙනවා.

අපිට අනාගතය ගැන වැඩසටහනක් තියෙනවා. පරණ ක‍්‍රමයට ඉදිරියට යන්න බැහැ. පෙරමුණු ගැහුව කියලා දිනන්නත් බැහැ. ජනතාවට ඕනේ කොහොමද අපි ගොඩ එන්නේ කියලා කියන වැඩපිළිවෙළක්.

අපි කොවිඞ් නැති කරන්න මුල්තැන දෙන්න ඕනෑ. සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දීලා වෛද්‍ය කමිටුවකුත්, පරිපාලන කමිටුවකුත් පත් කරන්න ඕනෑ. මෙහි පාලනය කැබිනට් මණ්ඩලයට ගන්න ඕනේ. එන්නත් ගන්න අපිට සල්ලි නැහැ. විදේශ විනිමය නැහැ. මේ මාසෙ විදේශ ණය ගෙව්වාම ඩොලර් කෝටි 300 ඉතුරු වෙන්නේ. තෙල් සංස්ථාවේ ණය, වාණිජ බැංකුවලට ගෙවන්න තියෙන ණය තියනවා. මේ වසර අවසන් වන විට බැඳුම්කර ණය සඳහා ද ගෙවීම් කරන්න අවශ්‍යයි. ඒක නිසයි අපි කියන්නේ අයි.එම්.එෆ්. එකෙන් ණයක් ලබාගන්න කියලා. එම ආයතනයෙන් ලැබෙන සහතිකය මත අනෙකුත් රටවලිනුත් අපිට ණය ලබා ගන්න පුළුවන්.

සංචාරක ව්‍යාපාරයට කොරෝනා නිසා විශාල ලෙස පහර වැදී තිබෙනවා. එම ක්ෂේත‍්‍රයේ විශාල පිරිසකට රැුකියා අහිමි වුණා. මුදල් තියෙන රටවල් එවැනි පිරිස්වලට ආධාර ලබා දුන්නා. අපිට එවැනි ආධාර දෙන්න මුදල් නැහැ. ඒ අපි බංකොලොත්භාවයට පත්ව සිටින නිසායි. පොහොර ගේන්නත් සල්ලි නැහැ. ඉන්ධන ගෙන ඒමටත් අර්බුද මතු වෙලා තියෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment