ජ’පුර රෝහලේ ඉඩම් ආයෙත් මැන්නේ ඇයි? වගකිවයුතු අය කවුද? – කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි

139

2015 වර්ෂයේදී රජයේ සර්වේජනරාල්වරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉඩම් ප්‍රමාණය මිනුම්ගත කර තිබියදී නැවත පෞද්ගලික මිනින්දෝරුවකු යොදවා රෝහලේ ඉඩම මිනුම්ගත කළේ කුමක් සඳහාද? යන්න ගැන හා ඊට වගකිවයුතු නිලධාරීන්ගේ නම් සහිත සවිස්තරාත්මක වාර්තාවක් වහාම දෙන ලෙස කෝප් කමිටුව රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් මීට වසර 5කට පෙර සිදු කරන ලද විගණන වාර්තා පදනම් කරගෙන කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම දැනුම්දීම කර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් රැස්වූ අවස්ථාවේ එම විගණන වාර්තාව ගැන කරුණු සාකච්ඡා කර තිබේ.

2030 වනවිට දකුණු ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරිම සඳහා ගත හැකි උපායමාර්ගික සැලසුම් මාස 2 ක් තුළ ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය හා රෝහල් බලධාරීන්ට කමිටුව උපදෙස් දී තිබේ.

විගණකාධිපතිගේ විගණන වාර්තාවේ දැක්වෙන පරිදි, විවිධ උපදේශන සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මුදල් ගෙවා ඇති නමුදු සේවා නිම නොකළ ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ මුදල් නැවත අය කරගැනීම සඳහා පියවර ගැනීමට කෝප් කමිටුවෙන් නිර්දේශ කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සියලුම වැදගත් අංශ ආවරණය වන පරිදි විශේෂ විගණන වාර්තාවක් පිළියෙල කරන ලෙස විගණකාධිපතිට කෝප් කමිටුව විසින් දැනුම් දෙන ලදී.

ස්නායු ශල්‍ය ඒකකය සඳහා රු. මිලියන 4.2 ක් වියදම් කර මිලදීගෙන තිබුණ ශල්‍ය ද්‍රව්‍යවලින් 80% ක් කල්ඉකුත්වීමට වගකිව යුතු නිලධාරීන්ට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් විමසා සිටින ලදී. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ කමිටුවකින් සිදුකළ පර්යේෂණ වාර්තාව මීට දින කිහිපයකට පෙර රෝහලට ලැබුණ බව රෝහල් නිලධාරීහු පවසා සිටියහ. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් කමිටුවෙන් නිර්දේශ කරන ලද්දේ ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකර සති 2 ක් තුළ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටයි.

මෘදුකාංගයක් සඳහ රු. මිලියන 1.8 ක් ද, ලේඛන ස්කෑන් කිරීම සහ අප්ලෝඩ් කිරීම සඳහා 2019 වර්ෂයේදී රු. මිලියන 19.7 ක් ද වැයකර තිබීම සම්බන්ධයෙන් විගණන විමර්ශනයට අදාළව පරීක්ෂණයක් සිදුකර සති 2 ක් තුළ එහි වාර්තාව කෝප් කමිටුවට දන්වන ලෙස ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරයා ඇතුළු කළමනාකාරීත්වයට නිර්දේශ කෙරිණි.

මාස 3 ක් ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමට කෝප් කමිටුව වෙත නැවත කැඳවීමට තීරණය විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එම්. එම්. මුෂාරෆ්, ජගත් කුමාර සුමිත්‍රාරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නීතිඥ මධුර විතානගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.

එසේම විගණකාධිපතිවරයා, සෞඛය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment